දියුණී ද සිල්වා
කාල වර්ණයම පිරි කවයක් ඇතුළත ,
කාල වර්ණයෙන්ම සැරසුණු මා හා ,
කාල වර්ණ තුරු ලතාවෝ ද ,
ඒ මත්තේ ,
සුන්දරව පිපි කාල වර්ණම වූ අනේක මල් වර්ගයෝද ,
මැවී පෙනේ !
රාත්‍රිය නොවේ !
මේ දහවල යැයි විශ්වාසය
අන්ධකාරය ,
ජීවිතය සොරාගෙනය !
හෝරාවන් සියල්ල අඳුරුය !
හිරු එළිය හෝ අනෙකුත් වර්ණයන් ප්රතික්ෂේපය !
මිනිස් පුළුටක් නැතිය..
නැත ,
මිනිස් පුළුටක් ඇවැසිම නැතිය !
ජීවිතයේ ප්‍රේමයක් වන්නේද ,
කාල වර්ණය
ඒ නුඹම වන්නේය !
ඉදිරියේදි ,
ප්‍රේමයෙන් නෙළාගන්නා සියලු තප්පර ,
තනිකමෙන් හා අන්ධකාරයෙන් නිසැකවම හැඩ වන්නේය !
ඉදින් ,
දිගින් දිගටම ,
පියවර තබන්නෙමි..
පියවරක් පියවරක් පාසා ,
කුමක් හෝ අහිමි වන නමුදු ,
තව තවත් අඳුර කරා එලඹෙන නමුදු ,
ඒ එකිනෙක අහිමිවීමෙන් ලබනා අමෘත සැහැල්ලුවකින් හදවතම පිරී යන්නාක් මෙන් දැනේ !
තවද ,
කාල වර්ණයේද ,
දෑස් විනිවිදින කළු පැහැයක්ද ,
මධ්‍යයේ කළු පැහැයක්ද ,
අඳුරුතම , දරුණුතම කළු පැහැයක්ද ඇති බවත්….
තව තවත් මෙලෙසින්ම ඉදිරියට යන්නේ නම් ,
තවදුරටත් ,
කාල වර්ණයේ නොයෙකුත් පැහැයන්ද…
නොයෙකුත් හැඩතලද හමුවෙන්නේමයි කුතුහලෙන් ජීවිතයම දැවෙන්නාක් මෙන් දැනේ !
ගිලී යන්නෙමි !
අහේතුකවම ,
කාල වර්ණය හා හද පත්ලෙන් ප්‍රේමයෙන් වෙලී ඉන්නෙමි !
හදවතින්ම ,
මිනිස් ප්‍රාණීන් පිළිකෙව් කරමින් ,
අන්ධකාරයේ ගැඹුරට මරණීයව ප්‍රේම කරමින් හිඳින්නෙමි !
උම්මන්තියක් බව මා හොඳින්ම දන්නෙමි
කාල වර්ණී මා ,
අන්ධකාරයේ උම්මන්තියක බව ඉත සිතින් පිළිගන්නෙමි !
එමෙන්ම ,
මිනිස් ඇසුරින් ,
බොහෝ සේ දුරස්ව ඉන්නෙමි !
කිසිඳු කමකට නැති ,
ඇහුම්කන් දීම් හා කියවීම් ,
තරයේ ප්‍රතික්ෂේප කොට මඟ හරිමින් ,
මේ වෛවර්ණ වූ කුරිරු ලෝකයෙන් වෙන්වී ,
දුර ඈත දිව යන්නෙමි !
මාගේ කාල වර්ණය අස්සේ ,
නිස්කලංකයේ තනිවන්නෙමි !