කුඩා කල පසු කළ ‘සිබිල් මතක’

කුඩා කල පසු කළ  ‘සිබිල් මතක’

කේ.ඩී. දර්ශන

කිසියම් අභාග්‍යයක් නිසා මගේ කුඩා කාලයේ ‘සිබිල් මතක’ මට නැත. සිබිල් අනන්‍යතාවය සහිතව මා ඇගේ සිතුවම් හඳුනාගන්නේත් උසස්පෙළ පංතිවලදී පමණය. කතා පොතක් කියවා ඇත්තේ පළමු උපාධිය හමාර කළාටත් පසුවය. ඒ ගැන පසුතැවීමක් මට නැතත් එසේ වීම ගැන පුදුමයක් ද ඇත. ඒ නිසා ම මා මෙසේ ලියන්නේ කුඩා කළ ‘සිබිල් මතක’ ඇත්තෙකු ලෙස නොව, කුඩා කල පසු කළ පසු සිබිල් නැන්දාට ආදරය කළ, ඇය ඇසුරු කරන්නට ලැබීමේ කාව්‍යමය ආස්වාදයත්, ඇයගේ වියෝවෙන් පසු නැගුණු මතක රූපාවලියත් නිසාය.

මා ඇම්.ඩී.ගුණසේන සමාගමේ ප්‍ර‍කාශන අංශයේ සිටිය දී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතාන්දර පොත් විස්සකට වැඩි සංඛ්‍යාවක(24ක් වගේ මතක) සෝදුපත් බැලීම සඳහා අපූරු වාසනාවක් උදා විය. ලොකු අකුරු හා වර්ණ සිතුවම් පිරි කතා පොත්වල සෝදුපත් බලා වැරදි නිවැරදි කර ගැනීම සඳහා නුගේගොඩ ගම්සභා හංදියේ ඩයස් පෙදෙසේ පිහිටි ඇගේ නිවස වෙත ගෙන ගොස්, ඈ අභියස ම හිඳ වැරදි සැකසීමටත්, ඒ වෙනුවෙන් ඇය සිතුවම් කළ බිස්ටල් බෝඩ් ප්‍රමාණයේ ලොකු සිතුවම් ගුණසේන සමාගම වෙත ගෙන ඒමටත් අවස්ථා කිහිපයක දී ම ම විසින් සිදු කෙරුණි. ඇතැම් සිතුවම් මා යන විටත් ඇය නිම කරමින් සිටියෙන්, ඈ එය හැඳ නිම කරන තෙක් එදෙස බලා සිටිමේ භාග්‍යය ද උදාවිය.

තවත් වරක් ඇගේ සිතුවමින් සැරසුණු පොත් පෙළක් කිරීමේ ජගත් මට්ටමේ යෝජනාවක් අනුව, එවැනි පොත් පෙළකට ගුණසේන සමාගම හා එම සංවිධානය අතර එකඟතාවයක් ඇති වී සිබිල් නැන්දා ඒ සඳහා ද කතා ලියමින් සිත්තම්කරණයේ නියැළුණාය. මට එම සංවිධානය කුමක් ද කියා මතක නැත. සමහර විට එක්සත්ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ කිසියම් ආයතනයක් විය හැකිය. ඉංග්‍රීසි බසින් නිම වෙමින් පැවති එම පොත් පෙළ කුමන හෝ හේතුවක් නිසා ප්‍ර‍කාශයට පත් නොවිණි. 

සිබිල් නැන්දා හමුවීමේ සතුටත්, මගේ ළමා කාලය ඇගේ පොත්වලින් සැරසී නොතිබීමත් යන උභය කාරණා නිසාම දෝ මුලින් ම ඈ දුටු දින මට කඳුළු ආවේය. මම ඒ බව ඇයට ද කීමි. ඒ මතක එසේ ය.

තමාගේ මරණින් මතු ජීවිතය ගැන අදහසක් ඇය රූපවාහිනී වැඩසටහනක දී පවසා, මේ දිනවල එය විකාශනය වනු දක්නට ලැබෙයි. එය හරි අපූරු කියමනකි.

“මේ මහ පොළොවට ආයෙත් එන්න නෙවේ මගේ වාසනාව තියෙන්නෙ. මගේ ආත්මය උඩ පාවෙන්න ඕනෙ…”

ඒ අදහස ඇගේ සිතුවම් හා කතාන්දරවල එන අදහසක් මෙනි. ඇය ම පවසන ආකාරයට ළමුන් වෙත ලිවීම සඳහා ඇයට ද ළමා ලෝකයේ සිතිවලිවල සැරිසරන්නට සිදු වෙයි. සිබිල් නැන්දාගේ ඒ සමාරෝපය, සමාරෝපයකටත් එහා ගිය ආවේශයකැයි යන්න මගේ අදහසයි. මනෝවිශ්ලේෂණයේ දී කතා කරන අන්දමට අලුත උපන් ළමයා යනු භාෂා ලෝකයට එහෙම  පිටින්ම ආගන්තුක වූවෙකි. සංකේත ලෝකය පිළිබඳ කිසිවක් නොදන්නා ළදරුවා ටිකෙන් ටික භාෂා ලෝකයට ඇතුළත් වෙමින් ප්‍ර‍බන්ධ ගොඩ නැගීමේ ක්‍රියාවලියෙහි නිරත වෙයි. සංකේත ලෝකය අල්ලා ගන්නා ළමුන් හොඳ ප්‍ර‍බන්ධකරුවන් වන නමුදු වැඩිහිටියන් මෙන් කෛරාටික නොවේ. එහෙයින් ළමා ලෝකයට සමාරෝපය වීමට වැඩිහිටියන්ට නොහැකිය. එසේ විය හැක්කේ රංගනයක් සඳහා පමණි. මේ ගැන දැක්විය හැකි කදිම ම උදාහරණය නම් කුඩා දරුවන් ‘මම’ ගොඩනගා ගන්නේ කාලයාගේ ඇවෑමෙන් වීමයි. ළමා ලෝකයට මම(සාමූහිකත්වය වෙනුවට රැලෙන් කැඩුණු ආත්මාර්ථකාමී ‘මම’) සංකල්පය පිවිසෙන්නේ පිටතිනි. මා හොඳින් නිරීක්ෂණය කළ කාරණයක් නම් සිබිල් නැන්දාගේ කතාවල මේ ‘මම’ ගලවා තිබෙයි. (ඒ සඳහා නිදසුන් දැක්වමින් ලිපියක් ලිවීම සඳහා මා කරුණු සොයමින් සිටිය ද එය මගහැරුණි. ඉදිරියේ දී එය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙමි) එවැන්නක් දිගටම කිරීම හදිසි ආවේශයකින් කළ නොහැකිය. පූර්ණකාලීනව ළමා සිතිවල නිමග්න වෙමින්, ඒ කෙරෙහිම රැදෙමින් කල්ගත කළ යුතුය. මරණයෙන් පසු ජීවිතය පිළිබඳ ඇගේ කතාවට මට නම් ආදරය හිතෙන්නේ ඇගේ මේ ලක්ෂණය මා සමීපව නිරීක්ෂණය කර ඇති නිසාය.

අවන්ත ආටිගල ඇඳ තිබූ පරිදි ඇය අහසේ පාවෙන්නේ නිකන්ම නොව ළමාකැල ද රැගෙනය.

පියල් උදය සමරවීර හෙවත් මල්මාමා ද සිබිල් නැන්දාට සාතිශය සංවේග පළ කොට තිබිණි.

තවත් බොහෝ චිත්‍ර‍ශිල්පීන් හා කාටූන් ශිල්පීන් ඇගේ වියෝව නන් අයුරින් සිතුවමට නගා තිබුණි. එහෙත් මේ දෙක තරම්, එයිනුත් මල් මාමාගේ සිතුවම තරම් වෙනත් කිසිදු සිතුවමක් මා සිත් නොගත්තේය. එහෙයින් ආදරණීය සිබිල් නැන්දා වෙත මල්මාමා පළ කළ සංවේගයද, සදාකාලික නිද්‍රාව හා සුළගක් ලෙස අහස වෙත යන්නට ද හැකි වේවායි ප්‍රාර්ථනා කරමි!

කේ.ඩී. දර්ශන

Related Articles

1 Comment

Avarage Rating:
  • 0 / 10
  • Tharindu , October 8, 2022 @ 6:23 pm

    Great

Leave a Reply

Your email address will not be published. Required fields are marked *