“මොකක් හරි එකක් නවත්තනකොට පීක් එකේ නවත්තන එක හොඳයි” -අශෝක හඳගම-

“මොකක් හරි එකක් නවත්තනකොට පීක් එකේ නවත්තන එක හොඳයි” -අශෝක හඳගම-

සංවාදය – කේ. ඩී. දර්ශන

අශෝක හඳගමගේ මූලික ප්‍රකාශන මාධ්‍ය සිනමාව වුවද, ඔහු වේදිකා නාට්‍යකරුවෙකි. ටෙලි නාට්‍යකරුවෙකි. ඇතැම් විට කවියෙක්, කෙටිකතාකරුවෙක් ද වෙයි. 80, 90 දශකවල ‘හෙණ’, ‘භූමිකා’, ‘මාඝාත’ යනාදී වේදිකා නිෂ්පාදන හරහා සිය ප්‍රේක්ෂාගාරය ඇමතූ හඳගම වසර තිහකට පසු ‘ඇන්ටික් කඩයක මරණයක්’ නම් සිය අලුත්ම වේදිකා නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයා අමතයි. 2024 මාර්තු 10 වන ඉරිදා හඳගම සිය ඇන්ටික් කඩය වසා දැම්මේය. වසර තුනක් පුරාවට අඛණ්ඩව රඟදැක්වුණු ‘ඇන්ටික් කඩයක මරණයක්’ හදිසියේම නතර කරන්නට හේතු වුණ කාරණා පිළිබඳ හඳගමගෙන් ම විමසා බැලීම මේ සාකච්ඡාවේ අරමුණයි.

01. පාරිභෝගිකයො අඩුවෙලත් නෑ, ඇයි ඔබ ‘ඇන්ටික් කඩය’ වහන්නෙ?

කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි නාට්‍යයක් කියන්නෙ සජීවී දෙයක්නෙ. දැං අපේ කොළඹ නගරය ගන්නකො. කොළඹ නගරයේත් තියටර් දෙකක විතරයි මේක පෙන්නන්න පුළුවන්. පිටපළාත්වල අරං යන්න බෑ. ඉස්සර අපි නාට්‍යයක් කරනකොට සිකුරාදා බස් එකට නැග්ගාම, සිකුරාදා හැන්දෑවෙ නාට්‍ය පෙන්නල, සෙනසුරාදා ඉරිදත් පෙන්නල, සඳුද උදේට තමයි බස් එකෙන් බහින්නෙ.

අශෝක හඳගම

මේ නාට්‍යයේ ආකෘතිය, විශාලත්වය හින්දා ඒක පෙන්නන් පුළුවන්කම තියෙන්නෙ කොළඹ තියටර්ස් දෙකක විතරයි. ලයනල් වෙන්ඩ්ට් එකෙයි, එල්ෆින්ස්ටන් එකෙයි. ඒ දෙකේ අවුරුදු තුනක් තිස්සෙ පෙන්නුවා කියන්නෙ එක අතකින් ප්‍රමාණවත්. අනිත් එක මම නිරීක්ෂණ කළ දෙයක් තමයි මේක නැවත නැවත බලන්නෙ එකම පිරිසක්. සමහර අය මට හම්බෙනවා ලයනල් වෙන්ඩ්ට් එකේ තිබුණු හැම ෂෝ එකක්ම බලපු. එහෙම ගුණයක් මේ නාට්‍යයේ තියනවා. ඒ වුණත් ඉතිං එක ම පිරිසක් එක්ක, එකම නාට්‍යයක් පෙන්නන එකේ ඒකාකාරී බවක් තියනවනෙ. ඒක හින්ද මේක නවත්තන්න ඕනෙ කියල හිතුණ.

අනිත් එක තමයි මේ නාට්‍යය මගේ අන්තිම නාට්‍යය වෙනව නම් ඔහේ ගියාට කමක් නෑ. මේ නාට්‍යයෙන් ගැළවෙන්න නම් මේක නවත්තන්න ඕනෙ. ‘ඇන්ටික් කඩයක මරණයක්’ ඔළුවෙන් අයින් කරන්න එපැයි.  ඔළුවෙන් අයින් කරන්න නම් මේක කිසියම් තැනක නවත්තන්න ඕනෙ කියල මට හිතුණා. මොකක් හරි එකක් නවත්තනකොට පීක් එකේ නවත්තන එක හොඳයි.

සෞම්‍ය ලියනගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ රංගනයේ

02. ‘ඇන්ටික් කඩයක මරණයක්’ ඔබ නම් කරන්නෙ ‘විනෝද ජනක ශෝකාන්තයක්’ කියල. ශෝකාන්තයක විනෝදයක් තියෙන්න පුළුවන්ද?

ඒක මෙහෙමයි. මිනිස්සුන්ට අද කාලෙ වෙනකොට ඒකත් විනෝදයක් තමයි. ශෝකයත් එක්තරා විදියක විනෝදයක් ලබන අත්දැකීමක් තමයි. මට හිතුණා මේක නාට්‍යයක් හින්දා මේක ඇතුළෙ සිද්ධ වෙන සිදුවීම් කිසියම් ඛේදාන්තයක් කරා දිවෙන අතරෙ ඒක විනෝදයෙන් යනව නේද කියල. මේකෙ තියන සින්දු ගන්නකො. ‘ගල් කාලේ ගීතය’, ‘ජීවිතයේ කුණු ජරාව ගැන ගීතය’… ඒකෙන් ජීවිතේ තියන ජරාජීර්ණකම ගැන කියනව. ඒත් බොහොම සතුටින් ඒක විඳිමින්.

නාට්‍ය පුහුණුවීම් කරලා එළියට එනකොට මට හිතුණ විනෝද ජනක ශෝකාන්තයක්’ කියන එක ටැග්ලයින් එකක් හැටියට යොදන්න හොඳයි කියල.

03. සෞම්‍ය ලියනගේ සෑහෙන කාලෙකට පස්සෙයි ‘ඇන්ටික් කඩයක මරණයක්’ ඔස්සේ වේදිකාවට ගොඩවෙන්නෙ. පිටපත ලියලත් ඔබ සෑහෙන කාලයක් නාට්‍ය නොකර හිටියෙ සෞම්‍ය එනකල් ද? ඔබේ කාර්යබහුලත්වය අඩු වෙනකල්ද?

ඒ දෙකම. අපි මෙහෙම හිතමුකො. ‘අක්ෂරය’ චිත්‍රපටය කරලා, පෙන්නන්න බැරි වුණාට පස්සෙ (තහනම් කළා කියන වචනෙ පාවිච්චි කරන්න මම කැමති නැහැ) මං කලාත්මක වැඩවල නිරත නොවූ කාලයක් ආවනෙ. චිත්‍රපටි නොකර මගේ ජීවිතේ තිබුණා අවුරුදු පහක් විතර. ඒ කාලෙ ඇතුළත මට හිතුණ වේදිකා නාට්‍යයක් ලියන්න. අක්ෂරයෙන් පෙන්නන්න, කතා කරන්න නොහැකි වුණ දේ වෙන මොකක් හරි මාධ්‍යයක් ඇතුළෙ සමාජ කතිකාවක් බවට පත් කරන්න වුවමනාවක් තිබුණ.

සෞම්‍ය සහ හඳගම අක්ෂරය චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර

මම ඒ දවස්වල සෞම්‍යට කතා කළා. එතකොට සෞම්‍ය හිටියෙ ආචාර්ය උපාධිය කරන්න යන්න සූදානම් වෙලා. ඒ නිසා කෙරුණෙ නෑ. ආචාර්ය උපාධිය කරල ආවට පස්සෙ සෞම්‍ය, ගිය සෞම්‍යට වඩා බොහොම වෙනස් චරිතයක්. සමහරු ආචාර්ය උපාධි කරල එනකොට හොයන්න බැහැනෙ පීඑච්ඩී කළාද නැද්ද කියල. (සිනහ සෙමින්) ගිය විදියටම තමයි එන්නෙත්. සෞම්‍ය එහෙම නෙවෙයි, ඔහුගෙ පැසුණුකමක් මම දැක්කා. ඒ එක්කම සෞම්‍යට වුවමනාවක් තිබුණෙ නෑ නැවතත් වේදිකාවෙ රඟපාන්න. අන්තිමට ඉතින් කොහොම හරි සෞම්‍ය නැතිව කරන්නත් මං එක සැරයක් උත්සහා කළා. එහෙම කරන්න කල්පනා කරල ආයෙත් අතෑරල දැම්මා.

ඇන්ටික් කඩයක මරණයක් අවසානයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ප්‍රෙක්ෂකයන්ට ආචාර කරමින්

ඊට පස්සෙ පහුගිය කාලෙ කොරෝනා ඇවිත් අපි ගෙවල්වල හිරවුණානෙ. එතකොට ‘ඇල්බොරාදා’ චිත්‍රපටයෙ පිටපත ලියලත් ඉවරයි. ඒකට ලොකේෂන් බලන්න ගිහින් එනකොට තමයි ලොක්ඩවුන් එක වුණේ. කරන්න දෙයක් නෑ මාස තුනක් විතර ගෙදර ඔහේ ගත කරන්න වුණා. ඒ අතරෙ තමයි Bear without Alcohol (ඇල්කොහොල් නැති බියර්) චිත්‍රපටය කළෙත්. මට හිතුණ අර වේදිකා නාට්‍ය පිටපත අරගෙන නැවත ලියන්න. ඒ ලියපු පිටපත තමයි ඇන්ටික් කඩයක මරණයක් කියල කළේ. ඒ වෙලාවෙ සෞම්‍යට කතා කළාම සෞම්‍යත් හා කිව්ව. සෞම්‍ය, ශාරදා, පසන්, ස්ටෙෆාන් එකතු කරගෙන පටන් ගත්තා. එහෙම කරපු එක මං හිතනව වඩා හොඳයි කියලා. අර දවස්වල කළාට වඩා, පැසුණු, දැවැන්ත වැඩක් විදියට එළියට ආවා.

වේදිකාවෙ වුණත් මට ඕනෙ වුණේ නැහැ තවත් කෙරෙන විදියෙම නාට්‍යයක් කරන්න. කොහොමත් මට අදහසක් තිබුණෙ නැහැ අවුරුදු තුනක් තිස්සෙ පේනනන්න. පළවෙනි දවස් තුනේ විතර කරල ඉවර කරල දානව කියල හිතන් හිටියෙ. ඒ වුණාට ඉතින් ඉල්ලුමත් තිබ්බ, සෙනග එනව වගේත් දැනුණ. ඊට පස්සෙ අපි මාසෙකට සැරයක් විතර නාට්‍ය කරන්න තීරණය කළා. හැම දර්ශනයකටම සෙනගත් හිටිය. විශේෂයෙන්ම සෙනග හිටිය කියන්නෙ රිපීට් ඕඩියන්ස් එකක් තමයි මේක නිතර නිතර බැලුවෙ.

04. ඇන්ටික් කඩයක මරණයක් සඳහා නළුනිළියන් තෝරාගැනීම විශිෂ්ඨයි කියලයි මම හිතනව. සෞම්‍ය, පසන්, නිපුණි, ස්ටෙෆාන්…. මේ හැමෝම නාට්‍යයට විශාල දායකත්වයක් දෙනවා. දර්ශන වාර ගණනාවකින් පස්සෙහැරිල බැලුවම ඒ නළුවරණය ගැන ඔබේ අදහස මොකක්ද?

පසන් රණවීර, නිපුනි ශාරදා ඇන්ටික් කඩයක මරණයක් රංගනයේ

ඒ නළුවරණය මං හිතනව හොඳයි කියල. ඒ අය නිකම්ම ඔළුවට ආපු නළුනිළියො නෙවෙයි. අවුරුදු දහයක් විතර පුරාවට මම රාජ්‍ය නාට්‍ය උළෙලෙ විනිශ්චය මණ්ඩලවල හිටිය. ඒ ඒ තැන්වල දැක්ක නළුනිළියො තමයි ඔය ඉන්නෙ. ස්ටෙෆාන් තිරිමාන්නව තෝරගත්තෙ ‘අතරමැදියා’ කියන නාට්‍යය බලල. ඒක බලල මට හිතුණ මෙයා මේකට ගන්න ඕනෙ කියලා. පසන් රණවීරගෙ රංගනය මං දැකල තියෙනවා. ‘සින්තටික් සිහින’ ටෙලිනාට්‍යයේ දැක්කට පස්සෙ, සෞන්දර්ය විශ්වවිද්‍යාලෙදි නිපුණි ශාරදාගෙ කටහඬ හොඳ බව දැක්ක. ඒකෙන් තමයි එයාව තෝරගත්තෙ.

සෞම්‍ය ලියනගේ, ස්ටෙෆාන් තිරිමාන්න ඇන්ටික් කඩයක මරණයක් රංගනයේ

ගායක කණ්ඩායම පැත්තට හැරුණාම චින්තක ජයකොඩිගෙ මියුසික්වලට මම ආසයි. මට හිතුණ නාට්‍ය සඳහා සංගීතය සපයන්න චින්තකට පුළුවන් කියල. අනිත් එක තමයි නාට්‍යයේ සින්දු ටික මං ලිව්වෙ නාට්‍ය පුහුණුවීම් යද්දි. මේකට සින්දු ඕනෙ කියල එකක් හිතුන්නෑ. ශාරදාටයි, ස්ටෙෆාන්ටයි, සෞම්‍යටයි හොඳට සින්දු කියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් හතර දෙනෙක් තියාගෙන නිකං ඉන්න එකේ තේරුමක් නෑ කියල මට හිතුණා.

05. ට්‍රම්පට් එක ඔබේ නාට්‍යයේ කැපී පෙනෙන සංගීත භාණ්ඩයක්. ඇන්ටික් කඩයක මරණයක්  සංගීතය පිළිබඳව ටිකක් කතා කරමුද?

ඉස්සර, අපි නාට්‍යවලට පිවිසෙන කාලෙ, හෙණ, භූමිකා කරන කාලෙ, නාට්‍යයට සංගීත කණ්ඩායමක් කියල කොටසක් විශේෂයෙන්ම හිටිය. ඒ කියන්නෙ සජීවී සංගීතය සපයන්න සංගීත කණ්ඩායමක් හිටිය. ඊට පස්සෙ පටිගත කළ සංගීතය ආවනෙ. ඒක ආවට පස්සෙ අර සජීවීකම එහෙමම යට ගියා. ඒ හින්ද මට අවශ්‍යම වුණා සජීවී සංගීත කණ්ඩායමක් යොදාගන්න.

එතනදි මට හිතුණ ට්‍රම්පට් එකට පොඩි ඉඩකින් විශේෂ යමක් කරන්න පුළුවන් කියල. ට්‍රම්පට් එක ගහපුවාම මුළු ශාලාවම දෙදරන ගතියක් තියෙනවා. අනිත් එක මට ඕනෙ වුණේ නෑ සංගීතය කියල බෆල් දෙපැත්තෙ දාලා රෙකෝඩඩ් මියුසික් තියෙන හඬක් ප්‍රේක්ෂකයන්ට දෙන්න. ඒ වෙනුවට අර කණ්ඩායමේ සංගීතය එන්නෙ කොතනින්ද, එතනින් තමයි සද්දෙ මතුවෙන්නෙ. චින්තත් (චින්තක ජයකොඩි) එක්ක කතාකරගෙන ඒ අත්හදාබැලීම කළා. එහෙම කරල සජීවී සංගීත වාතාවරණයක් අපි මේක ඇතුළෙ හදාගත්ත. ඒක වැඩ කළා ඉතිං.

සංගීත කණ්ඩායමේ අය ඉඳගෙන හිටියට නාට්‍යයෙන් වෙන් වෙන්නෙ නෑ. සංගීත කණ්ඩායමේ සමහරු ඉන්නව (සිනහ වෙමින්), විශේෂයෙන්ම බිත්තිය අයිනෙ ඉඳන් ගිටාර් එක වාදනය කරන පාලි, ඌ කවදාවත් නාට්‍ය බලල නෑ. දකින්න විදියක් නෑනෙ (හොඳටම සිනසෙයි). එයා ප්‍රේක්ෂාගාරය දිහා බලාගෙන ඉන්නෙ. චින්ත විතරයි සාමාන්‍යයෙන් නාට්‍ය බලං ඉන්නෙ. සංගීත කණ්ඩායමේ කවුරුවත් නාට්‍ය දැකල නෑ. ඒ කට්ටිය නාට්‍යයේ රඟපාන්න ඉන්නව මිසක්, නාට්‍ය බලමින් සංගීතය සපයනව නෙවෙයි.

06. නාට්‍යයේ ජනප්‍රියම ගීතය නේද ‘ගල්කාලේ ගීතය’…?

ඒක මන්දන්නෑ… ඩ්‍රාමා එක තියනව ඒක ඇතුළෙ. සමහර විට ඒකෙ තියන විනෝදකාමී බව හින්දත් වෙන්න ඇති. ඒක මොකක්ද මං දන්නෑ. ඒකෙ තමයි නාට්‍යයේ හිට් එක තියෙන්නෙ. මුළු කණ්ඩායමමත් ඒකෙ ඇක්ට් කරනවනෙ.

සෞම්‍ය ලියනගේ ඇන්ටික් කඩයක මරණයක් රංගනයේ

07. ඔබේ කලාත්මක ප්‍රකාශනය යම් යම් අවධීන්හි පුපුරනසුළුයි. ‘හෙණ’, ‘මාඝාත’ වැනි නාට්‍ය වගේ ම ‘තනිතටුවෙන් පියාඹන්න’, ‘අක්ෂරය’ වැනි චිත්‍රපටඊට හොඳ උදාහරණ. ‘ඇන්ටික් කඩයක මරණයක්’ එන්නෙත් කෝවිඩ් වසංගතය විසින් ප්‍රේක්ෂාගාරය නිවෙස්වලට ගුලි කරපු මොහොතක. ඔබ අභියෝග තරණය කිරීමෙන් අපූරු විනෝදයක් ලබනවද….?

අභියෝග තරණය කරනවා කියන බලාපොරොත්තුවෙන් මම නිර්මාණ කරන්න එනව නෙවෙයි. නිර්මාණයක් කරනකොට ඒක පවතින තත්වයන් එක්ක හැප්පෙනවා. ඒ තත්වයන්ට එහා ගිහිල්ලා නැවත මායිමක් හදනවා. දැන් මේ නාට්‍ය ගමුකො. මේ නාට්‍යය කරන වකවානුව වෙනකොට කවුරුත් නාට්‍යයක් කරන්න හිතල තිබ්බෙ නෑ. එහෙම හිතල තිබුණෙ නැති කාලෙක තමයි අපි පුහුණුවීම් පටන් අරං නාට්‍ය දර්ශන පැවැත්වුවේ. පළවෙනි නාට්‍ය දර්ශන කිහිපය පැවැත්වුවට පස්සෙ ආයෙ ලොක්ඩවුන් වුණා. පළවෙනි දර්ශන තුන ලයනල් වෙන්ඩ් එකේ තිබ්බ, ඊළඟ සතියෙ එල්ෆින්ස්ටන් එකේ තිබ්බ, ඊළඟ සතියෙ රට වැහුවා.

රාජිත දිසානායකගේ ‘2019 ජූලි මාසේ දවසක්’ නාට්‍යය

රාජිත දිසානායකගෙ නාට්‍යයේ පුහුණුවීම් පටන් ගත්තෙ මේකට කලින්. ඒ වුණාට පළවෙනි දර්ශනේ තිබ්බෙ මේකට පස්සෙ. ඒක මොකක් හින්දද දන්නෑ. මං වැඩ කරන විදිය අනුව වෙන්නත් පුළුවන්. උදාහරණෙකට මම පළවෙනි රිහසල් එකට එනකොට, ලයනල් වෙන්ඩ්ට් එක වෙන් කරල, මංගල දර්ශනය සඳහා දිනත් දීල තිබුණෙ. අපි ඉලක්කයක් තියාගෙන තමයි වැඩ කළේ. එහෙම තමයි මං හුරු වෙලා තියෙන්නෙ.    

08. ඔබේ නිර්මාණ විචාරය සඳහා මනෝවිශ්ලේෂණය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියනව. එක අතකට මනෝවිශ්ලේෂණය හඳගමයානු කලාව පිළිබඳ අධිපති කතිකාව නියෝජනය කරනව කියන්නත් පුළුවන්. නිර්මාණකරුවෙක් විදියට ඔබේ නිර්මාණ සඳහා ඇති වී තිබෙන විචාර අවකාශයන් ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

3mana සඟරාවක පළවූ ඡායාරූපයක්

මනෝවිශ්ලේෂණය මගේ නිර්මාණ කියවන්න, විචාරන්න ප්‍රවේශයක් විදියට යොදාගන්නවාය කියන එක මගෙන් පරිබාහිර දෙයක්නෙ. ඒක විචාරකයන් විසින් කරන දෙයක්. එහෙම වුණ පළියට මේක මනෝවිශ්ලේෂණය නොමැතිව විචාරය කරන්න බැරිකමක් නැහැ. විශේෂයෙන්ම මනෝවිශ්ලේෂණය කියන විෂය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මමත් ඒක හදාරන්න පටන් ගත්තෙ මගේ නිර්මාණවලට ඒවා කියවීම සඳහා මිනුම් දණ්ඩක් හැටියට භාවිත කරන්න පටන් ගත්තට පස්සෙයි. විශේෂයෙන්ම දීප්ති කුමාර ගුණරත්න ඇතුළු කණ්ඩායම. දීප්ති, විදර්ශන කන්නංගර, භූපති නලින්, සමන් වික්‍රමාරච්චි අලුත් කලා විචාරයක් ගෙනාවනෙ ලංකාවෙ කලාව කියවන්න.  ඔවුන් මතු කළ අදහස් හදාරණකොට ඒ ඔස්සේ තමයි මං මනෝවිශ්ලේෂණය හෝ ඊට අදාල දේවල් කියවන්න පටන් ගත්තෙ. ඊට කලින් මට එහෙම අවබෝධයක් තිබ්බෙ නෑ.

දීප්ති කුමාර ගුණරත්න, සමන් වික්‍රමාරච්චි, විදර්ශන කන්නන්ගර, බූපති නලින්

ලංකාවෙ කලාව අලුත් මානයකට විවර කළේ ඒ කණ්ඩායම් විසින්. ඒක අපි පිළිගන්න ඕනෙ. ඒක ලංකාවෙ කලාව පෝෂණය කරන්න කිසියම් විදියක මෙහෙවරක් කළා. දායකත්වයක් සැපයුවා. මට විතරක් නෙවෙයි, ඊට පසුකාලීනව නිර්මාණ කරන්න ගත්ත අයටත් කලාව සම්බන්ධයෙන් හිතන්න අලුත් අවකාශයක් නිර්මාණය වුණා. ඒ අතරතුර අපිත් නිර්මාණ කරනව, අර ගොල්ලො විචාරය කරනවා…  දෙක අතර අන්තර් පෝෂණයක් ඔස්සේ ඒක වැඩිලා ඉස්සරහට යනවා.

09. සෑහෙන කාලයකට පස්සෙ ‘ඇන්ටික් කඩය’ ඔස්සේ ඔබ නැවත වේදිකාවට ගොඩවුණා. නැවතත් ටෙලිනාට්‍ය දිහාවට හැරෙන්න අදහසක් නැද්ද?

ඔබේ මේ ප්‍රශ්නය නිසාම, වේදිකා නාට්‍යයට ආයෙත් පිවිසුණේ ඇයි කියන එකට මම උත්තරයක් දෙන්න ඕනෙ. 1989 මාඝාත කළාට පස්සෙ වේදිකා නාට්‍යයක් කළේ නෑ තමයි. 89 ඔක්තෝබර්වල මාඝාත කළා, 90 මහබැංකුවට ගියා, 93 පශ්චාත් උපාධියට විදේශගත වුණා, ගිහිල්ලා ආවට පස්සෙ කාලෙ ඇතුළත ‘ඇන්ටික් කඩයක මරණයක්’ වෙනකල්ම වේදිකා නාට්‍යයක් කළේ නැහැ. ඒ වුණාට විවිධ අවස්ථාවල්වල මම රාජ්‍ය නාට්‍ය උළෙල් විනිශ්චය මණ්ඩලවල නාට්‍ය නරඹමින්, ඒවාට කිසියම් ඇගයීම් ඉදිරිපත් කරමින් හිටිය.

ඒ අතරතුර මට චෝදනාවක් ආවා, “හඳගම නාට්‍ය බලනව විතරයි, නාට්‍යයක් කරපු අත්දැකීමක්වත් තියෙන මිනිහෙක් නෙවෙයි, එහෙම මිනිස්සු නාට්‍ය විනිශ්චල මණ්ඩලවල ඉන්නෙ කොහොමද” කියල. අන්න ඒ ප්‍රශ්න කිරීම ආපුවාම තමයි මට හිතුණෙ මේ කියන කතාව තුළ අපේ දැනුම පිළිබඳ සැකයක් ඇති නේද කියල. අපේ දැනුම පිළිබඳ අලුත් පරම්පරාව තුළ යම් කුකුසක් ඇති කියන තීරණයේ ඉඳගෙන තමයි මට හිතුණෙ වේදිකා නාට්‍යයක් කරන්න ඕනෙ කියල. ඒකත් ඇන්ටික් කඩේ නාට්‍යය කිරීමේ වුවමනාවට ලොකු බලපෑමක් කරපු කාරණයක්.

දැන් ටෙලි නාට්‍ය ගැන. මම දෙදහස් ගණන්වල ටෙලිනාට්‍ය දෙකක් කළානෙ ‘මේ පාරෙන් එන්න’ සහ ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ කියල. අන්තිමට කළේ 2004 අවුරුද්දෙ. ‘අක්ෂරය’ චිත්‍රපටයට කලින්. ඒක කළාට පස්සෙ ඉතින් ආයෙ ටෙලිනාට්‍යයක් කිරීමේ අදහසක් ඇතිවුණේ නෑ තාම. ඒක හේතුව මම දිකින්නෙ ටෙලිනාට්‍යයක් කරන්න යන මහන්සියම තමයි මට චිත්‍රපටියක් කරන්න යන්නෙත්. චිත්‍රපටයක් කරන එක සාපේක්ෂව මට වැඩි තෘප්තියක් ගෙන දෙන වැඩක්. ඒ හින්දම වෙන්න ඇති ටෙලි නාට්‍ය නොකළෙ.

‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ ටෙලි නාට්‍යයේ රූපරාමුවක්
‘මේ පාරෙන් එන්න’ ටෙලි නාට්‍යයේ රූපරාමුවක්

අනිත් එක ඉතිං ටෙලි නාට්‍යයක් විකාශනය වෙන ආකෘතිය තියනවනෙ. ටෙලි නාට්‍ය ඉතා කෙටි අවකාශයකනෙ තියෙන්නෙ. පුංචි තිරයක එහෙන් මෙහෙන් හතර අතේ දැන්වීම් දාන අස්සෙ තමයි ටෙලිනාට්‍ය පෙන්නන්නෙ. ටෙලිනාට්‍ය අනිත් දැන්වීම් පෙන්නගන්න අතුරු අංගයක්. ඒක ප්‍රධාන අංගය නෙවෙයි. එහෙම නැතුව පැයක විතර එපිසෝඩ් එකක් තියෙන, වෙළඳ දැන්වීම් නැති, ඒ කියන්නෙ මුලයි, අගයි, මැදයි ඕනෙ නම් තිබුණට කමක් නැහැ. එහෙම කවුරු හරි කෙනෙක් ආරාධනා කළොත් මං නොසලකා ඉන්න විදියකුත් නැහැ ඉතිං. දැනට මේ තියෙන ආකෘතිය තුළ පෙන්නන්න, ටෙලි නාට්‍යයක් කිරීමේ මගේ බලාපොරොත්තුවක් නැහැ.

10. ‘ඇන්ටික් කඩයක මරණයක්’ සාර්ථක ප්‍රේක්ෂක සහභාගීත්වයක් පෙන්වපු නාට්‍යයක්. ඉතා පැහැදිලියි ඔබව බලාපොරොත්තු වන ප්‍රේක්ෂාගාරයක් ඉන්නව. ඇන්ටික් කඩයෙන් පස්සෙ ඔබ වේදිකාවට සමුදෙන්නෙ නැහැ නේද?

එහෙම සමුදෙන්න බලාපොරොත්තුවෙන් නෑ.

ලංකාවෙ නාට්‍යකරණයේදී මට තියෙන ප්‍රශ්නයක් තමයි අපි නාට්‍යයක් කරනකොට රඟහල විසින් රංගාවකාශය පාලනය කරනවා. රංගනය විසින් රඟහල පාවිච්චි කරනව නෙවෙයි. ඔබට තේරුණාද දන්නැහැ මං කියන එක?

‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා පසුතලය

රඟහල විසින් පනවන සීමාවන් යටතෙ තමයි වේදිකා නාට්‍ය තීරණය වෙන්නෙ. වෙන රටවල්වල වේදිකා රඟහලකට ගියාම ඒ රඟහල සමහර වෙලාවට අනිත් පැත්ත හරවනවා රංගනය සඳහා. එවැනි නම්‍යශීලීත්වයක් අපේ රඟහල් විසින් සපයන්නෙ නැහැ. ඒක විසින් අපට පනවන සීමා යටතේ නාට්‍යයක් කරනව කියන එක ගැන හිතනකොට හරි බයක් දැනෙනවා. කණගාටුවක් දැනෙනවා.

ඉස්සර මට මතකයි අපි ‘පුන්තිලා’ නාට්‍ය බැලුවා ලයනල් වෙන්ඩ් එකේ. පුන්තිලා කළේ හෙලේනා ලෙහ්තමකි කියන පින්ලන්ත ජාතික නාට්‍යවේදිනියක්. ඒ ගොල්ලො නාට්‍ය වේදිකාවෙ වගේම ප්‍රේක්ෂාගාරයේ කොටසකත් රඟදැක්වුවා. එතකොට ප්‍රේක්ෂකයො ශාලාවෙ පැත්තෙන් වෙන්න හිටියෙ. එහෙම රඟදැක්වීම් කරන්න තරම් දැන් බැහැ. නීති වැඩියි.  නාට්‍යයක් පෙන්නකොට නාට්‍යයේ රංග සීමාව කියන එක මුළු ප්‍රේක්ෂකාගාරයම වෙන්න පුළුවන්. එහෙම නිදහස තියෙනකොට තමයි පරිකල්පනය විසින් නාට්‍යකරුවාගේ ඔළුවට අලුත් අදහස් ගේන්නෙ.  එවැනි සීමාකාරී තත්වයන්ට දැන් මුහුණ දෙන්න වෙලා තියෙනවා.

11. අවසාන වශයෙන් මම අහන්න කැමතියි 80, 90 දශකවල හෙණ, භූමිකා වේදිකාවට ගෙන ආ කාලෙ ප්‍රේක්ෂාගාරය සහ ඇන්ටික් කඩයක මරණයක් වේදිකාගත කරන කාලෙ ප්‍රේක්ෂාගාරය ගැන ඔබේ නිරීක්ෂණය මොකක්ද?

ඒ කාලෙ ප්‍රේක්ෂාගාරය මීට වඩා පුළුල්. හිතන්කො මේ නාට්‍ය බලන්න එකම පිරිසක් එන්නෙ ඇයි? එහෙම ටිකට් එකක් අරං නාට්‍යයක් බලන්න සාමාන්‍ය මැද පංතියට දැන් හැකියාවක් නැහැ. ඒ හින්දා තමයි දැන් නාට්‍ය ඒ ගොල්ලන්ගෙන් අතෑරිලා තියෙන්නෙ. ඉස්සර එහෙම නෙවේ ගුරුවරු, රජයේ සේවකයො ඒ ගොල්ලන්ගෙන් තමයි ප්‍රේක්ෂාගාරය පිරිල තිබ්බෙ. දැන් වෙනකොට එන්නෙ එක්කො නාට්‍ය ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය, එහෙම නැත්නම් කිසියම් විදියකට නාට්‍ය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න පුළුවන් කොටස්. එල්ෆින්ස්ටන් එකේ ‘ප්‍රේක්ෂා නාට්‍ය උළෙල’ කියල එකක් තියනවන. ඒකෙ තමයි සාමාන්‍ය මිනිස්සු පිරෙන්නෙ.  එහෙම නැතුව ලයනල් වෙන්ඩ්ට් එකේ වගේ එහෙම පිරිසක් එනව කියල මම විශ්වාස කරන්නෑ. මට හම්බවෙලා නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *