“කූඹියෝ” තේමා ගීතය සහ අන්ර්ග්‍රාන්ථිකත්වය (ප්‍රභාත් අගම්පොඩි)

“කූඹියෝ” තේමා ගීතය සහ අන්ර්ග්‍රාන්ථිකත්වය (ප්‍රභාත් අගම්පොඩි)

කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි

“කූඹියෝ” 𝗟𝗜𝗩𝗘 𝗜𝗡 𝗖𝗢𝗡𝗖𝗘𝗥𝗧 එක පෙබරවාරි 02 බිෂෝප් එකේ තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුනා. ලකාගේ වැඩේ ප්‍රේක්ෂාගාරය ගොඩක් ආකර්ෂණය කළා වගේම script එකේ ඉඳන් title belt එක දක්වා ම අලුත් හැඩයක් අරගෙන තිබුණා. අචලගෙ තේමා ගීතයත් ඒකට අයිතියි. ටෙලිය හුඟක් කල් උනත් තාමත් music track එක අහනකොට ටෙලිය මතක් වෙනවා. සිංහලෙන් කිව්වොත් feel වෙනවා.🙂 “දඩුබස්නාමානය, භාග්‍යා, ගජමන්නෝනා, රේඛා, වෙද හාමිනේ, ඉර පායා” වගේ ටෙලි නාට්‍ය ටෙලිකාස්ට් වෙලා දශක ගණන් ගත වුණත් තාමත් තේමා ගීතය අහන කොට scenes මතක් වෙනවා.

“පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස්කරයි කූඹියෝ”

Photo by Internet

තේමා ගීතය ආරම්භයේදීම මගේ අවධානය ග්‍රහණය කරගත්තු පළවෙනි පොයින්ට් එක මේක. ඒක අතීතයක් එක්ක බැඳුණු මතකයක්. මතකයේ තිබුණේ මෙහෙම

“පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්ට දේ රැස්කරත් කූඹියෝ”

සරණගුප්ත අමරසිංහ විසින් රචිත “SINHALESE SONGS FOR CHILDREN” නම් වූ ළමා ගීි එකතුවෙන් තමයි වචන ටික පැහැදිලිව තහවුරු කර ගත්තේ. අවස්ථා දෙකෙහි වචනවල යම් යම් වෙනස්කම් සිදු වී තිබුණත් පැරැණි නිර්මාණ පිළිබඳ මතකය නැවත වර්තමාන සමාජය කරා අලුත් විදිහකට ගෙනල්ල තියෙනව. මම කොහොමත් මේ වැඩේට කැමතියි. ඒ කිව්වේ පැරැණි නිර්මාණවල අවස්ථා ආයේ ආයේ පාවිච්චි කරන fun වැඩේට. මේ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මගේ “පශ්චාත්නූතන සිනමාව” පර්යේෂණාත්මක ග්‍රන්ථයේ දෙවන පරිච්ඡේදයේ තියෙනවා. “වියසිදුරු” චිත්‍රපටිය ඇතුළෙත් අපි ඕක යූස් කළා. ඒක සරල විදියට අරගෙන මේක පැහැදිලි කරගමු.

Photo by Internet

විමල් දිසානායකයන් ඔහුගේ කෘතීන් කිහිපයක අන්තර්ග්‍රාන්ථිකත්වය යනුවෙන් හඳුන්වන ඉහත සංකල්පයේ මුඛ්‍යාර්ථය වන්නේ සෑම නිර්මාණයකම ඊට පෙරාතුව නිර්මාණය කරන ලද නිර්මාණවලින් උපුටා ගත් පාඨ, යෙදුම්, චින්තන රටා, දෝංකාර හා අනුරාව ඇති බවයි. මෙම සංකල්පය අන්තර්පඨිතත්ත්වය, අන්තර්වියමන්කරණය, අන්තාර්පාඨාන්තරීයත්වය යන වචනවලින් විවිධ තැන්හි විද්වතුන් විසින් හඳුන්වා ඇත. නිර්මාණ ශිල්පියා කුසලතා පූර්ණ වන තරමට තමාට පෙර නිර්මිත කෘතිවලින් හා සම්ප්‍රදායවලින් විවිධ ආලෝකයන් ලබමින් තමාගේ අපූර්ව නිර්මාණ කුසලතාවය දියුණු කරගන්නා බව මෙයින් නිරූපණය වෙයි. එයින් නව්‍ය හා සුවිශේෂී රසයක් ගොඩනැගෙන අතර කූඹියෝ තේමා ගීතය ඇසුරින් ප්‍රේක්ෂකයාට සම්මුඛ වන්නේ මෙයයි. ළමා ගීතයක් ව පැවතීමේ දී පැවැති මුහුණුවර සහ උත්පාදනය කළ හැඟීම් මෙම නූතන භාවිතය තුළ වෙනස් මුහුණුවරක් අරගෙන තියෙනවා. එහි ස්වභාවය එය පිහිට වූ සන්දර්භය හා ඉදිරිපත් කළ ආකෘතිය මත නව්‍ය ලෙස ග්‍රහණය කරගැනීමට හා වින්දනය කරගැනීමට ප්‍රේක්ෂකයාට ආරාධනා කරලා තියෙනවා.

උදාහරණ ටිකක් බලමු. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය කෙරෙහි අවධානය යොමු කළහොත්, එහි කුමරි සින්දුව ඇරඹෙන්නේ පහත ආකාරයෙනි.

“ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා”

Photo by Internet

එය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සංදේශයේ දූත වර්ණනාව රචනා කිරීමේ දී මෙලෙස යොදාගෙන තිබුණි.

“ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි”

තවදුරටත් විමසා බැලුවොත් මනමේ නාටකයෙහි එන,

“පිපි තබරන, නඳ බමරන, පිය රැව්දෙන, ලිය කිඳුරන‍”

එය කාව්‍යශේඛරයේ මෙලෙස සඳහන් වී තිබුණි.

“ලියගී දනු මඳු රන
ලිය කිදු රන
ගුමු ගුමු නද බම රන
පිපි තඹ රන
පියරැව් ලන සියු රන
මත මියු රන”

එමෙන්ම ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියකු වන මාර්සෙල් ඩුචම්ප්ගේ “L.H.O.O.Q.” නැමැති නිර්මාණය සඳහා පාදක කර ගත්තේ ලියනාඩෝ ඩා වින්චි විසින් නිර්මාණය කළ ලෝකප්‍රසිද්ධ මෝනාලිසා සිතුවමයි.

Photo by Internet

මේ සංකල්පය කියවා ගන්න පුළුවන් ජනප්‍රිය සහ පහසු නිදර්ශනය වන්නේ 2003 දී ක්වෙන්ටින් ටැරන්ටිනෝ විසින් නිර්මාණය කරපු “Kill Bill” චිත්‍රපටයයි. “The Guardian” ට අනුව “Kill Bill” චිත්‍රපටය තුළින් ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ “Marnie (1964)” චිත්‍රපටයේ සිට “Goke, Body Snatcher from Hell (1968)” දක්වා චිත්‍රපට 80 පමණ ලක්ෂණ නිරූපණය වෙනවා. පැරැණි නිර්මාණවල කොටස් නව්‍ය සිදුවීම් පෙළක් මත පිහිටුවීමෙන් එහි පැරණි රසය වෙනුවට නව්‍ය රසක් ගොඩනැගෙන බවට ඕනෑ තරම් උදාහරණ චිත්‍රපටය තුලින් හඳුනාගත හැකියි. ප්‍රංශ දාර්ශනික ජූලියා ක්‍රිස්තේවාගේ අදහස තවදුරටත් මෙය විග්‍රහ කර ගැනීමට යොදාගතහොත් එයින් කියැවෙන්නේ, මෙම ක්‍රියාවලිය මගින් පැරණි පඨිතයන්හි පැවති ඓතිහාසික, කලාත්මක, සමාජීය හා දෘෂ්ටිවාදීමය ලක්ෂණ සහ ඒවා හිමි කරගෙන තිබූ වටිනාකම් බිඳී නව සංකල්ප බිහිවන බවයි. කූඹියෝ ටෙලි නාට්‍යයේ ගොඩනැගෙන අපූර්ව අවස්ථා සඳහා මෙම ගීතය නැවත නැවත යොදා ගැනීමේ දී ප්‍රේක්ෂකයා එය වඩාත් තදින් වැළඳ ගන්නේ ගන්නේත්, එය වර්තමානයේ රස විඳින කොට ග්‍රහණය කර ගන්නේත්, එය ඉතිහාසය වන නිසා ම පමණක් නෙමෙයි, ඉතිහාසය පිළිබඳ මිනිසා තුළ පවතින නොනිත් ආශාවේ ප්‍රතිඵලයක් ද විදිහටයි කියලා මට හිතෙන්නෙ. එනිසා ම මේක ලයිව් විඳලා බලන්න ම ඕනා. ජය !

(සටහන කථිකාචාර්ය අගම්පොඩිගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගන්නා ලදී. ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *