“මම මගේ සිහිනය තුළම ඉන්නව කියලයි මට හිතෙන්නෙ” (දොන් මායා)

“මම මගේ සිහිනය තුළම ඉන්නව කියලයි මට හිතෙන්නෙ” (දොන් මායා)

මම මගේ සිහිනය තුළම ඉන්නව කියලයි මට හිතෙන්නෙ. කරන වැඩේ නේද සිහිනය කියලත් වෙලාවකට හිතෙනවා. සමාජ ක්‍රියාකාරිකයෙකු, අරගලකරුවෙකු ලෙස සිහිනය තුළම ඉඳිමින් ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාකාරී වීම ඒ සිහිනයේ යථාර්ථය කියලයි මට හිතෙන්නෙ.

සංවාදය – කේ.ඩී. දර්ශන

01. දොන් මායාව (Don maya) මේ වෙද්දි ගොඩක් දෙනා නම් කරන්නෙ, අරගලයෙන් උපන් යූටියුබර් කෙනෙක් විදියට. අරගලයෙන් උපන් සමාජ මාධ්‍යවේදීන් කීපදෙනෙක් ම ඉන්නව. නමුත් මායා ටිකක් සීරියස් වගේ හැඟීමක් මට එන්නෙ…! මොකක්ද ‘දොන් මායා‘ ඔබේ යූටියුබ් භූමිකාව?

කොහොම නමුත් අරගලේ  ඇරඹුණා. මම බේකරිය කට්ටියේ කණ්ඩායමත් එක්ක ගෝල්ෆේස් එකේ පළවෙනි දවසට සම්බන්ධ වුණා. එතන දිගටම රැඳුණා. වැඩිපුරම දිගටම කළේ ෆෝන් එකෙන් ලයිව් දීම තමයි. ඒ දෙන ලයිව් මහ පාන්දර, පිටරටවල පවා අරගලයට උනන්දු පිරිස් බැලුවා. ඊට අමතරව එතන සහ අවට සිදු වුණු සංස්කෘතික ක්‍රියාකාරකම් ආදිය ආවරණය කළා. ෆෝන් එකේ ෂූට් කරල තියාගත්තා. පසුව ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද කියන පැහැදිලි අදහසක් තිබුණෙත් නැහැ. යූටියුබ් චැනල් එක පටන් ගත්තට පස්සෙ ඒ සමහර වීඩියෝ උඩුගත කළා.

Photo by Don Maya’s fb

ඇත්තටම ලොකු දාර්ශනික දේවල් ගැන මම දන්නෙ නැහැ. නමුත් මම ජීවිතය පුරා ඇවිදපු ඇවිදිල්ලෙන් පරිසරය ගැන, මූලික මිනිස් අයිතීන් ගැන, සමාජ සාධාරණත්වය, සම්පත් බෙදීයාමේ විසමතාවය වගේ කරුණු ගැන උනන්දුවක් දිගටම තිබුණා. අවිධිමත් හැදෑරීම් එක්කත්, යම් යම් අවස්ථාවල ක්‍රියාකාරකම් වශයෙන් වැඩ කිරීමෙනුත් යම් කිසි සමාජ දේශපාලන අවබෝධයක් ඇතිවෙලා තිබුණ.

02. ඔබේ පිළිතුර කෙටි වීම අපූරු නමුත් තව ටිකක් විස්තර දැනගන්න ඕනෙ! ඔබේ යූටියුබ් නාලිකාවේ ආරම්භය හා සම්බන්ධ කාරණා , අරමුණ ගැන තව පොඩ්ඩක් කතා කරමුද?

යූටියුබ් ඇරඹුම ගැන කියනව නම් ඒ ගැන මූලික අවබෝධයක් මට තිබුණෙ නැහැ. නමුත් මම දිගටම ලයිව් දෙන වැඩේ කරනකොට, විශේෂයෙන් අරගලේදි මුණ ගැසුණු තරුණ කණ්ඩායම් කිව්වා, “ඔයා යූටියුබ් එකක් කරන්න එතන ගොඩක් දේවල් ඔයාට කරන්න පුළුවන් වෙයි” කියලා. එතකොට තමයි ඒ ගැන අදහසක් ඇතිවුණේ. ඒ ගැන දන්න අය එතන හිටිය. එයාලගෙ උදව්වෙන් චැනල් එක ආරම්භ කළා. මුලින් දිගටම අරගලේ ක්‍රියාකාරකම්, පහරදීම්, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මැද්දෙන් කරගෙන ගියා.

Photo by Don Maya’s fb

ඒ වුණත් මට මගේ මූණ පෙන්නගන්න කැමැත්තක් තිබුණෙ නැහැ. එහෙම ඕනෙ වුණෙත් නැහැ කියල තමයි හිතුණෙ. මාව නොපෙන්වා අවස්ථා ආවරණය පමණක් දිගටම කරගෙන ගියා. අර කාලයක් තිස්සෙ එක එක වැඩසටහන්වලට ඇවිල්ලා අහගෙන බලාගෙන ඉන්න දේම, මම දැනුත් දිගටම කැමරා ෆෝන් එක ඔන් කරං කරගෙන යනව කියල කියන්නත් පුළුවන්. මම විතරක් විඳපු දේ, මම විතරක් ගත්තු දේ රෙකෝඩ් කරල තවත් පිරිසකට සන්නිවේදනය කරන වැඩේ මම දිගටම කරගෙන ගියා. මං මෙතෙක් යම් කිසි සමාජ, දේශපාලන, සංස්කෘතික රස්තියාදුවක යෙදුණ නම් ඒ බලපෑම මගින් මගේ විෂයපථය තෝරාගැනීම සිදු වෙන්න ඇති. ඇත්තටම මම තනියම බලල කරන වැඩේ කැමරාව මගින් ආවරණය කරල සන්නිවේදනය කරන එක තමයි කළේ.  මටහිතෙන්නෙ එහෙමයි.

Photo by Don Maya’s fb

කොහොම හරි ඒ ගෝල්ෆේස් අදියර නිමවෙන කොට වෙන විවිධ වැඩසටහන් ආවරණය කරන්න පටන් ගත්තා. අරගලේ ඒවට අමතරව, විවිධ සමාජ, සංස්කෘතික, දේශපාලන වැඩසටහන් ආවරණය කිරීම ඇරඹුවා. පොත් එළිදැක්වීම්, කුඩා කණ්ඩායම්වල සංස්කෘතික ක්‍රියාකාරකම් වගේ දේවල්…

Photo by Akalanka Gunathilaka

වීඩියෝගත කරන එකෙන් මම විනෝදයක් ලැබීම මේ වැඩවලට උත්ප්‍රේරකයක් වුණා. ඇත්තටම මේ වැඩේ සෑහෙන වෙහෙසකාරියි. නමුත් කැමතිම ක්‍රියාවේ නිරතවීමේ අවස්ථාව මගින් ඒක මම මගහැර ගත්තා.

සමහර අවස්ථාවල පීඩාවක් හා ආතතියක් දැනෙනවා. මම හුරු වෙලා ඉන්නෙ ෆෝන් එකෙන් රූගත කරල, ඒකෙන් ම එඩිට් කරල ඒකෙන් ම අප්ලෝඩ් කරන්නයි. ඒකෙ වාසියක් මට තියනව. මම එක තැනක ඉන්න කෙනෙක් නෙවේනෙ. ඇවිදින්නෙක්. පාරෙ වෙන්න පුළුවන්, බස් එකේ හෝ දුම්රියේ යන අතරතුර වෙන්න පුළුවන්, සමහර විට රෝහල්ගතවෙලා ඉන්න අවස්ථාවක වෙන්න පුළුවන්…. එඩිට් කිරීම සහ අප්ලෝඩ් කිරීම ඒ ඕනෙම අවස්ථාවක මම කරනවා.

විවිධ සංස්කෘතික කලාපයන්, ජනප්‍රිය සංස්කෘතිය සම්බන්ධ වැඩ, කුඩා කණ්ඩායම් විදියට සිදු කරන ප්‍රධාන චාරාවේ මාධ්‍යවලින් ආවරණය නොවන ක්‍රියාකාරකම්, වීදියේ ක්‍රියාකාරකම් ඉදිරියටත් ආවරණය කරන්න හිතාගෙන ඉන්නවා. අදාළ අවස්ථාවලට සජීවීව සහභාගී වෙන්න බැරි අයට බලන්න අවස්ථාවක් ලබා දීම මගේ මූලික අරමුණයි.

Photo by Don Maya’s fb (බේකරිය අවකාශය)

03. මං කැමතියි මායාගෙ වර්තමාන ප්‍රතිරූපය ගැන කතා කරන වැඩේ ටිකක් පස්සට දාලා, අතීත ප්‍රතිරූපය ගැන කතා කරන්න. මායා සිනමා ඡායාරූප ශිල්පියෙක් කියල මං දන්නව. හැබැයි ඒ භූමිකාව ගැන වැඩි යමක් දන්නෑ. ඇහුවට ඔයා ඒවා කියන්න කැමති නෑනෙ… මේ වතාවෙ ටිකක් විස්තර ඇතිව ඒ ගැන කියයි කියල හිතනව?

Photo by K.A. Darmasena

සෝමරත්න දිසානායකගෙ මුල් චිත්‍රපටය වුණ සරෝජා චිත්‍රපටයෙ ප්‍රඩක්ෂන් මැනේජර් විදියට වැඩ කළේ මනෝහාරි හේවාවසම්. ඇය මගේ හිතවතියක්. ඇය මාව සෝමරත්න දිසානායකට අඳුන්වල දුන්නා. ඒක තමයි ඇරඹුම. සරෝජා චිත්‍රපටියෙ නිශ්චල ඡායාරූප ශිල්පියෙක් හැටියට මාව සම්බන්ධ කර ගත්තා.

ඡායාරූප ශිල්පය කළත් කැමරාවක්වත් මට තිබුණෙ නෑ. මාසයක් ම එක දිගට ෂූට් එකේ ඉන්න ඕනෙ හින්ද කොහොම හරි රුපියල් දොළොස්දාහකට වගේ පොඩි කැමරාවක් ගත්තා. 135 මිලිමීටර් ප්‍රමාණයේ පටලපට දාන කැමරාවක්. මට මතක විදියට බ්‍රවුන් කියන වර්ගය.

ඉන් පසුව දිගටම නිශ්චල කැමරාකරණයේ යෙදුණා. ජනප්‍රිය ධාරාවේ වගේ ම කලාත්මක ධාරාවේ චිත්‍රපටවලත් බොහෝ ගණනක වැඩ කරන්න ලැබුණා. මතක හැටියට සෝමරත්න දිසානායක, රෝයි ද සිල්වා, ලුවී වැන්ඩස්ටාට්න්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, උබර්තෝ ෆැසලෝනි දක්වා විවිධ වර්ගවල අධ්‍යක්ෂවරුන් යටතේ වැඩකරන්න අවස්ථාව ලැබුණා.

Photo by Don Maya

නළු-නිළියන්ගෙ පැත්තෙන් ගත්තොත් පැරණි කට්ටිය, ඒ කියන්නෙ මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, වසන්ති චතුරානි, රංජන් රාමනායක, දිල්හානි ඒකනායක, සංගීතා වීරරත්න, ඩිලානි අබේවර්ධන, අයිරාංගනී සේරසිංහ, මනෝරත්න, සුමින්ද සිරිසේන වැනි බොහෝ පිරිසක් සමඟත්, ඊට පසු පරම්පරාවෙ අය එක්කත් වැඩ කළා.

Photo by Don Maya

කොහොම හරි චිත්‍රපට පනහක පමණ වැඩ කරල තියෙනවා. නිශ්චල ඡායාරූප ශිල්පියෙක් විදියට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් දෙන නිශ්චල ඡායාරූපශිල්පී හැඳුනුම්පතත් මට තියෙනවා.

කොහොමත් අවසානෙට වැඩ කරපු චිත්‍රපට දෙකක හැරුණ ම අනිත් චිත්‍රපට සියල්ලේම වැඩ කළේ නෙගෙටිව් පටලපට උපකාරයෙන්. ඩිජිටල් මාධ්‍යයෙන් නෙවේ. ඒ සඳහා අවශ්‍යතාවය අනුව සාමාන්‍ය වේග පටලපට වගේ ම ASA 400, 800 අධිවේගී පටලපටත් පාවිච්චි කළා.

එවකට චිත්‍රපට කර්මාන්තයේ මොනිටර් පාවිච්චි වුණේ නැහැ. ඒ කියන්නෙ ගත්ත ෂොට් එක බලන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. බොහෝ දුරට අදහසක් ගත්තෙ, රූපයේ අඛණ්ඩතාවය (Continuity)  බලාගත්තෙ නිෂ්චල ඡායාරූප ශිල්පියාගේ ෂොට්ස්වලින්. හැකි ඉක්මනින් පටලපට විකාශනය කරගෙන, අඩු තරමින් ස්පර්ෂ මුද්‍රණයක්වත් අරගෙන සෙට් එකට අරගෙන යන්න ඕනෙ වෙලා තිබුණ. හැකි හැම වෙලාවක ම ඒ දේවල් කළා. ඒවයින් තමයි චිත්‍රපටය ගැන එයාල මූලික අදහසක් ලබා ගත්තෙ.


Photo by K.A. Darmasena

ඊට අමතරව ප්‍රධානම අවශ්‍යතාවය වුණේ ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමයි. ඒ සඳහා චිත්‍රපටයෙ ප්‍රධාන අවස්ථා හැම එකක් ම ඡායාරූප ගත කළා. හැම දර්ශනයක් වගේම. ප්‍රධාන රූගත කිරීම වන අතරතුරත්, ඉන් පසු යම් කිසි කාලයක් ඉල්ලගෙන ෆොටෝස්වලට ආවරණය කිරීමක් කළා. එම ෆොටෝස් පාවිච්චි වෙන්නෙ පෝස්ටර්, කටවුට්, ෂෝ කාර්ඩ් ආදී සියලුම ඇඩ්වර්ටයිසින් කටයුතුවලටයි.

කොහොම වුණත් අර මගේ ඇවිදින ජීවිතයට චිත්‍රපටත් ගැළපුණා. සති ගණන්, මාස ගණන් ලොජ්වලට වෙලා කාලය ගත කිරීම, විවිධ පිරිස් හමුවීම ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තිබුණා.

Photo by KD Darshana

මතක් වෙන විදියට නම් කීපයක් කිව්වොත් සරෝජා, නොම්මර එකේ චණ්ඩියා, පාර්ලිමන්ට් ජෝක්ස්, අක්ෂරය, අහසින් වැටෙයි, උබර්තෝ පසලෝනිගෙ මචං, රෝයිද සිල්වගෙ චිත්‍රපට කීපයක්, ලව් 2001, රෑ දැනියෙල් දවල් මිගෙල් 3, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ අම්මාවරුනේ සහ වෑකන්දේ වලව්ව…. මම වැඩ කරපු චිත්‍රපට නම් කීපයක්. ඊට අමතරව ටෙලි නාට්‍ය කීපයකත් නිශ්චල ඡායාරූප ශිල්පියෙක් විදියට වැඩ කරල තියෙනවා.

04. ඔබ ගත්තු ඡායාරූප කිහිපයක් දෙන්න පුළුවංද සාකච්ඡාව අතරතුර වෙබ් එකේ පළ කරන්න.

ඔව් දෙන්නම්…!

05. මායා අපි තව ටිකක් ආපස්සට යමුද? ඔබේ  රස්තියාදු ජීවිතේ යා කරගන්න පාසල් කාලෙන් යමක් හොයාගන්න පුළුවන්ද? ඒ කිව්වෙ ඔබ සිනමාවට හෝ වාර්තාකරණයට යොමු වෙන්න, දේවල් සොයා යන්න පෙළඹවූ අතීතය මොකක්ද?

ඉස්කෝලෙ උසස් පෙළ කරන කාලෙ ඉඳලම මට තිබුණ චිත්‍රපට බලන පුරුද්දක්. ඉංග්‍රීසි ද සිංහල ද දෙමළ ද ඕනෙම එකක්. ඒ කාලෙ ඉස්කෝලෙන් පැනල ගිහිල්ලා 10.30 දර්ශනයත්, සමහර දවල්වල මරදාන හරියෙ රස්තියාදු වෙවී ඉඳල 2.30 දර්ශනයත්… ඒ කියන්නෙ දවසට චිත්‍රපට දෙකක් විතර බැලුව මතකයි.

මම උසස්පෙළ කළේ 1989 අවුරුද්දෙ. බොහොම භීම සමයක්. ඒ වුණත් උසස් පෙළ කරල ගෙදර ඉන්න දවස්වලත් අර ඇවිදීම නම් නතර කළේ නෑ. අම්ම නර්ස් කෙනෙක් හින්ද ඒ කාලෙ එයාගෙ නිල නිවාසෙ අපි පදිංචි වෙලා හිටියෙ. වනාතමුල්ල පැලන්ගස්තුඩුව පාත් එකේ.

Photo by Don Maya’s fb

බොහෝ දුරට රට අරාජික වෙලා තිබුණත්, අර පුරුද්දට ෆිල්ම් බලන එක දිගටම කළා. මට මතකයි හරියට වාහන ගමනාගමනය නොතිබුණත් පයින් ගිහිල්ල හරි චිත්‍රපටි බැලුව. එක සැරයක් මට මතකයි වනාත මුල්ලෙ ඉඳලා මවුන්ට්මේරියටත් එතනින් කළු පාලම ළඟින් මාලිගාවත්තටත් ඇවිදගෙන ගිහින් පාළුවට ගිය දවසක රූබි හෝල් එකේ චිත්‍රපටියක් බැලුවා.

ඊට අමතරව මහජන පුස්තකාලෙට ගිහින් පත්තර සහ පොත් බලන පුරුද්දකුත් මේ වෙද්දි ඇතිවෙලා තිබුණා. ඊටත් අමතරව එක එක විෂයන් ගැන කෙරෙන විවිධ වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් ආදිය බලන්න යන්නත් පටන් ගත්තා.

රඟපෑම ගැන ඉගෙන ගන්න ඕනෙ කියල හිතිල මායාශක්ති රංග ශිල්ප ශාලිකාවෙ පළවන කණ්ඩායමටත් බැඳුණ. කුමුදු කුමාරසිංහ එහෙම හිටියෙ අපිත් එක්ක. ආචාර්ය සාලමන් ෆොන්සේකා ගාවටත් ගියා. නමුත් ටික කාලෙකින් ඒ වැඩේ අත්හැරලා දැම්මා. ඉන් පස්සෙ ජාතික ඡායාරූප කලා සංගමයේ ඡායාරූප ශිල්පී පාඨමාලාව කළා.

රැකියා දෙකක් කළා. ක්‍රියාකාරිකයෙක් විදියට ‘ජීවිත හා පරිසරය සුරැකීමේ සංවිධානය‘ කියන පරිසර සංරක්ෂණය සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ සංවිධානයේ සහ ඒ රැකියාවෙන් අනතුරුව ‘මර්ජ් සංවිධානයෙත්‘ වැඩ කළා. මර්ඩ් සංවිධානයෙන් තමයි යුක්තිය පුවත්පතත්, ඒකෙ දෙමළ පුවත්පත වන තරිනිහර් පුවත්පතත් කළේ.

Photo by Don Maya’s fb

මේ දේවල් කරනකොටත් අර මුලින් කරපු දේවල් අතෑරුණෙ නැහැ. චිත්‍රපට බලන එක, විවිධ ක්‍රියාකාරකම්වලට යන එක දිගටම කරගෙන ගියා. අලුතෙන් විභවි වැනි ආයතනවලටත්, කොළඹ තානාපති කාර්යාල ආශ්‍රිත සංස්කෘතික මධ්‍යස්ථානවල වැඩසටහන්වලටත්, චිත්‍රපට බලන්නත් ගියා.

ඔය රස්සාවල් දෙකෙන් ඉවත් වුණාට පස්සෙ චිත්‍රපට නිශ්චල ඡායාරූපකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා.

යූටියුබ් සඳහා මූලිකම අවශ්‍යතාවය වෙන්නෙ හොඳින් වීඩියෝ, ඡායාරූපගත කළ හැකි වීමනෙ. මුලින් කියන්න බැරිවුණා. මම අර කරපු දේවලට අමතරව VHS කැසට්වලින් වෙඩින් කරන කාලෙ, මංගල ඡායාරූප ශිල්පියෙක් විදියටත් වැඩ කළා. වීඩියෝකරණය සහ ඡායාරූපකරණය කියන දෙකම යම් කාලයක් කළා.

Photo by Don Maya’s fb

ඡායාරූපතරණය තුළදි මම වඩාත්ම කැමති ක්‍රියාකාරකම වුණේ වීඩියෝ පටිගත කිරීමයි. මුළු ජීවිතකාලෙදිම වීඩියො පටිගත කිරීමට මම ලොකු උනන්දුවකින් තමයි කළේ. ඒ අතරතුර විවිධ සංස්කෘතික වැඩ ෆෝන් එකෙන් ආවරණය කරමින් මම මෑත කාලෙ හිටියෙ. මොකද මුල් කාලෙ කැමරා එහෙම ඉවත් කරලා, ඒව පාවිච්චියෙන් අයින් කරලා විකුණල එහෙම තිබුණෙ. මොක මම ෆොටෝග්‍රැෆි කරන්නෙ නැති හින්දා. ෆිල්ම්වල එහෙම වැඩ කරන්නෙ නැති හින්දා.

06. මායා අඛණ්ඩව කොළඹ කේන්ද්‍රීය සමාජ- දේශපාලන සංසිද්ධීන් ආවරණය කරල, යුටියුබ් ගත කරනවනෙ. මේක ලෙහෙසි පහසු වැඩක් නෙවේ.. ! ඇතැම් විට ඔබ කොළඹින් බැහැර වැඩවලට පවා යනව.  ඔබ ඒව ආවරණය කරන නිසා ගෙදර ඉඳන් බලන්න ලැබෙන එක අපිට සෑහෙන පහසුවක්… මේ අසීරු කාර්‍යයය දිගටම කරන්න ඔබව දල්වා තබන්නෙ මොකකින්ද?

ඔව් මේක ලෙහෙසි පහසු වැඩක් නෙවේ. එඩිටින් ගැන අදහසක් ඇතුව, යම්කිසි සැලසුමකට රූගත කිරීම් කරන්න ඕනෙ. මම ෆෝන් එකෙන් මේව කරන්න හුරු වෙලා. මැෂින් එකකින් කිරීම සමහර විට ඊට වඩා පහසු ඇති. ඒත් මම එක තැන ඉන්නෙක් නෙවේනෙ. ඇවිදින්නෙක්නෙ. අප්ලෝඩ් කිරීමේ පටන් සමාජ මාධ්‍යයන්වල ෂෙයා කිරීම දක්වා මට නම් ෆෝන් එකෙන් වැඩ කිරීම පහසුවක්. ඇත්තටම වෙන කිසිවෙක් විසින් ආවරණය නොකරන, හුදෙකලා වෙච්ච වැඩ ආවරණය කිරීම ගැන තමයි මගේ උනන්දුව වැඩියෙන් තියෙන්නෙ. මොකද කිහිප දෙනෙක් පමණක් සහභාගීවන වැඩසටහන් පස්සෙ හරි විශාල පිරිසකට සන්නිවේදනය කිරීම සඳහා සංරක්ෂණය කිරීමකුත් ඒකෙන් වෙනවා. ඇත්තටම එහිදී මට සමාජ යුතුකමක් වගේ හැඟීමක් නිසා ලැබෙන මානසික තෘප්තිය තමයි මට ගොඩක්ම වැදගත්.

Photo by Don Maya’s fb

මගේ වැඩසටහන් තවමත් නරඹන්නෙ සීමිත පිරිසක් නිසා ඒවගෙන් තවමත් මුදල් ආදායමක් ලැබෙන්නෙ නෑ. නමුත් විනෝදාංශයක් ලෙස හිතල කරනවා. උපකරන සහ ගමන් වියදම් ගැන බැලුවම මුදල් ගැටලු එනවා. උදාහරණයක් විදියට මම පාවිච්චි කරන්නෙ High End ෆෝන් එකක්. ඒක වසර පහකට වඩා පැරණියි. යම් කිසි මොහොතක ඒක කැඩුණොත් නැවත එකක් මිලදී ගැනීම ලොකු අර්බුදයක් ගෙන එනවා. කෙසේ වෙතත් ඒ ගැන වැඩිය නොසිතා මම ඉවසීමෙන් මේ වැඩටික කරගෙන යනවා.

07. මට ඔබව හමුවෙන්නෙ මහාචාර්ය ගම්ලත් ප්‍රධාන වී ආරම්භ කළ බෘහස්පති සරසවියෙදි. මේ දක්වා මා නිරීක්ෂණය කළ දෙයක් තමයි  ‘දොන් මායා කිසියම් සංචාරයක නියැලෙනවා’. එදත් අදත් ඒක ඔබෙන් පේනවා. ඔබ මොනවද හොයාගෙන හොයාගෙන යන්නෙ?

Photo by Don Maya’s fb

ඔබ සහ මම හමුවුණේ බෘහස්පති සරසවියෙදි නේද? ඇත්තටම මම යමක් හොයාගෙන යන කෙනෙක් තමයි. එහෙම මෙනෙහි කරනකොට, ඒ ගැන හිතනකොට මටත් එහෙම හිතෙනවා, දැනෙනවා. මගේ පාසල් කාලෙ ඉඳල විස්තර යම් ප්‍රමාණයක් මම කලින් කිව්වනෙ. ඒ අනුවත් මට හිතෙන්නෙ මම හොයාගෙන යන දේ සඳහා අවශ්‍ය දැනුම අවබෝධය තමයි මෙච්චර කාලයක් තිස්සෙ හොයාගෙන ගිහිල්ලා තියෙන්නෙ. පවතින සමාජාර්ථික දේශපාලන තත්වය ගැන, වටපිටාව ගැන මගේ උනන්දුවත් ඊට උදව්වක් වුණා. ඇත්තටම මට ම තේරේන්නෙ නෑ මම මෙතෙක් කල් හොයාගෙන ආවෙ මොකක්ද කියල. ඇත්තටම මම කරමින් ඉන්නෙ මම හොයාගෙන ආපු දේවල දිගුවක් කියලත් කියන්න පුළුවන්.

Photo by Don Maya’s fb

කොහොමත් මම හිතන්නෙ මම ඇක්ටිවිට්ස් කෙනෙක් කියලයි. පුද්ගලික ජීවිතයෙදිත් අරගලකරුවෙක් කියලයි. ඒකෙන් අදහස් කළේ භෞතිකව බැරියර් ආදිය පෙරලගෙන යන එකක් නෙවේ. සිස්ටම් චේන්ජ් එකක් සඳහා පුද්ගලික ජීවිතයෙදිත් අනවරත අරගලයක යෙදෙමින් ජීවත් වෙනව කියන එකයි.

08. අවසාන ප්‍රශ්නය වශයෙන් ‘මායා දකිමින් ඉන්නෙ මොන වගේ හීනයක්ද’ කියල අහන්නද? නැත්නම් ‘අපි ජීවත්වෙන  ලෝකය ගැන ඔබට තියෙන හීන මොනවද’ කියල අහන්නද?

Photo by Don Maya’s fb

ඇත්තටම මම දකිමින් ඉන්නෙ මොන වගේ හීනයක්ද? මමත් ඒ ගැන හිතන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. හීන නම් මට නැහැ වගේ. ලෝකය ගැන, ලෝකය මොන වගේ හීනයක්ද? ලෝකය ගැන හැමෝම කියනව වගේ සුබ සිහින ගොඩක් දකිනව කියලත් මෙතන මට කියල දාන්න පුළුවන්. ඒ වුණාට මම එහෙම කියන්න කැමති නෑ. ඒක නිකං හරි සාම්ප්‍රදායික අවසානයක්, කතාවක්, ප්‍රාර්ථනාවක්! ඒක කිසි තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ සහ දැනෙන්නෙ. මම මගේ සිහිනය තුළම ඉන්නව කියලයි මට හිතෙන්නෙ. මම මගෙ සිහිනය තුළම තමයි රැඳිල ඉන්නෙ. කරන වැඩේ නේද සිහිනය කියලත් වෙලාවකට හිතෙනවා. සමාජ ක්‍රියාකාරිකයෙකු, අරගලකරුවෙකු ලෙස සිහිනය තුළම ඉඳිමින් ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාකාරී වීම ඒ සිහිනයේ යථාර්ථය කියලයි මට හිතෙන්නෙ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *