ආත්ම පරීක්ෂණයට ආරාධනයක් නොහොත් දිනපතා ඇනෙන දෙහි කටුවක්: ‘විශ්වවිද්‍යාලය යනු කුමක් ද?’

ආත්ම පරීක්ෂණයට ආරාධනයක් නොහොත් දිනපතා ඇනෙන දෙහි කටුවක්: ‘විශ්වවිද්‍යාලය යනු කුමක් ද?’

මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි

සරසවි ගුරුන් දැනගත යුතු සිය ආයතනික අතීතය සහ  සිය භූමිකාවේ අයම විතර, සරසවිවල කලාව නමින් වෙස් ගන්වා ඇති දහ අට වන්නම්-මකර තොරණ හෝ හිටිවන කවිමඩු, ආගම ලෙස වටහා ගෙන ඇති කවි බණ-සත්බුදු වන්දනා හා සුදු ඇඳුම් , නිහීන ලෙස දේශපාලනීකරණය ව ඇති පරිපාලනය, තමන් ද පුරවැසියන් බව නොදන්නා ඇතැම් අනධ්‍යයන සේවකයන්, උපසංස්කෘතිය නම් නරිනාටකය, නවක වධය නම් මානව විරෝධී සාහසික අපරාධය සහ යට කී  බොහෝ අයට නැති විචාරවත් චින්තනය ඇතුළු බොහෝ දේ ගැන නැවත හැරී බැලීමට මේ පොත ඇරයුම් කරයි.

මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති විසින් සම්පාදනය කරන ලද මේ වටිනා කෘතිය ගැන ලිවීම දිනෙන් දින කල් යාම ගැන මා සිටියේ කණගාටුවෙනි. මගේ දිවිය මෙතරම් කාර්‍ය බහුල වේ යැයි කිකලෙක හෝ මම නො සිතුවෙමි. එහෙත් වී ඇත්තේ එය ම ය. මේ ගත මා දකින්නේ බලගතු දේශපාලන මැදිහත් වීමක් ලෙස ය. අපගේ 2012 අධ්‍යාපන සටන අතරේ එතුමා ලියූ “ කලාව කුමකට ද?” පොත ද එබඳු ය. එය, අප ගිය මහා පා ගමනේ න්‍යාය හා හේතුව පැහැදිලි කරන්නකි. සරසවි ගැන විවිධ පැතිවලින් කතා කරන මෙකල එහි සකලවිධ මාන තක්සේරු කෙරෙන කවුළුවක්, අක්ෂයක් හෝ පාලක පරීක්ෂණයක් මේ අලුත් පොත මගින් සම්පූර්ණ ව ඇත. 

‘නිදහස්කාරක අධ්‍යාපනය’ යන සංකල්පය රජය, සරසවි පරිපාලනය, ගුරුන් හා සිසුන් යන සියලු සම්මාදන්කරුවන් වෙත කළ අපූරු යෝජනාවකි. යට කී සියලු අංශවල දායකත්වයෙන් සරසවි අධ්‍යාපනයේ නිදහස්කාරක ගතිය නසා දැමෙයි. විටෙක අධ්‍යාපනයේ නිදහස මරා දමන ප්‍රධාන බලවේගය සිසුන් ය. එය මහා ඛේදයකි. 

පරිච්ඡේද 08 න් පරිමිත මෙගත මට නම් මෑතක ලද අනගි ලාභයක් සේ හැඟෙයි. මා ඊට වඩා ම පෙම් බඳින්නේ ‘නොනිදන අවධිය’ කෙටිකතාවේ සේ ම අන්තිමට තිබෙන තැන වෙනස් කළ මේසය හෝ පුටුව මගේ කකුලේ ද වැදී තුවාල වන නිසා ය. ඉන් ඇති වූ කැළලට මා බෙහෙවින් රුචි කරමි. එය මගේ පැත්තෙන් ආත්ම පරීක්ෂාවක් වන බැවිනි. මේ තිබෙන සරසවි බහළ තිමිරයට මා ද යම් පමණකට වගවිය යුතු බැවිනි. අමරසේකරගේ ‘ආපසු ගමන’ කෙටිකතාවේ සේ දින පතා ඇනෙන පෑරෙන දෙහි කටුවක් අත්‍යවශ්‍ය ව ඇත. 

අපේ සරසවි ආදී පියාණන් වන පොන්නම්බලන් අරුණාචලම් නැවත සොයා ගැනීම, ප්‍රතිබැහැදැකීම හෝ අවධාරණය මින් සිදු වූ උදාර සේවයකි. එසේ ම සරසවියක අදීන භූමිකාව ගැන එතුමා දරා ඇති මතය හා දැක්ම පුදුමය ම එළවයි. 1906 වැනි කාලයක එබඳු ප්‍රවේශයක්? අරුණාචලම්ලා යනු තාගෝරියානු අරුතෙන් විශ්වීය පුරවැසියන් ම ය. එසේම සමාරම්භක බලකණුවක් වූ අයිවර් ජෙනින්ස් ගැන ද මගේ පහන් සිත කිසිවකට දෙවැනි නොවේ. 

මේ පොත ගැන සරසවි සංවාද ඇති කළ යුතු ය. පොත තුළ අඩංගු බොහෝ මූලාශ්‍රය සිසුන් තබා ගුරුවරුන් හෝ බොහෝ විට දැක නැත. දැන්වත් ඒවා සොයා යා යුතු ය. සමහර මූලාශ්‍රය කිහිපයක මුල්පිටු මා පින්තූර ලෙස ද මෙයට එක් කර ඇත. විශ්වවිද්‍යාලය අතාර්කික වීම ගැන 1997 වැනි කාලයක පැරණි එක්ස් කණ්ඩායම මාතොට කලාපයක් ම වෙන් කර තිබුණි. ප්‍රධාන ලිපිය සුමිත් චාමින්ද ලියා තිබුණි. 

ජාතික ජනබලවේගයේ අප නව අධ්‍යාපන දර්ශනයක් හා ප්‍රතිපත්ති ගැන සිතමින් සිටිනා කාලයක ඒ සටනේ න්‍යාය කොටස මෙලෙස සම්පාදනය වීම උසස් දේශපාලන ක්‍රියාවකි. සරසවි ගුරුන් දැනගත යුතු සිය ආයතනික අතීතය සහ  සිය භූමිකාවේ අයම විතර, සරසවිවල කලාව නමින් වෙස් ගන්වා ඇති දහ අට වන්නම්-මකර තොරණ හෝ හිටිවන කවිමඩු, ආගම ලෙස වටහා ගෙන ඇති කවි බණ-සත්බුදු වන්දනා හා සුදු ඇඳුම් , නිහීන ලෙස දේශපාලනීකරණය ව ඇති පරිපාලනය, තමන් ද පුරවැසියන් බව නොදන්නා ඇතැම් අනධ්‍යයන සේවකයන්, උපසංස්කෘතිය නම් නරිනාටකය, නවක වධය නම් මානව විරෝධී සාහසික අපරාධය සහ යට කී  බොහෝ අයට නැති විචාරවත් චින්තනය ඇතුළු බොහෝ දේ ගැන නැවත හැරී බැලීමට මේ පොත ඇරයුම් කරයි. මෙ පොත, අප ව ම මැන ගැනුමට නිසි දර්ශක සපය යි. දෙහි කටුවක් සේ ඇනෙ යි. පෑරෙ යි. මහාචාර්‍ය  අමරකීර්ති, මේ ලිවීම ගැන මගේ අපමණ ආදරයට පත් වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *