රුසියානු කාව්‍ය ඉතිහාසය – (රුසියානු සාහිත්‍ය ඉතිහාසය – 1 කොටස)

රුසියානු කාව්‍ය ඉතිහාසය – (රුසියානු සාහිත්‍ය ඉතිහාසය – 1 කොටස)

ඉමාෂා ධර්මසේන

කුඩා කල පටන් විශ්ව සාහිත්‍යය කෙරේ මා තුළ පැවතියේ විශාල කුතුහලයක්. විවිධ රටවල සංස්කෘතිය, සමාජය හා ජන සමාජයේ ස්වභාවය විශ්ව සාහිත්‍යය අධ්‍යයනයෙන් හඳුනා ගන්නට හා රසවිඳින්නට පුළුවන් වීම එයට හේතුවක්. ඒ අතරින් රුසියානු සාහිත්‍යයට මම බෙහෙවින්ම ආශක්ත වන්නේ එහි පවත්නා විචිත්‍රත්වය මෙන්ම හෘදයාංගම ස්වරූපය හේතුවෙන්.

රුසියානු සාහිත්‍යය රසවිඳින විට දී පෙනී යන්නේ රුසියානු සාහිත්‍යය සිංහල සාහිත්‍යය ලෝලීන්ට වඩාත් සමීප ආකාරයට නිර්මාණය වූ සාහිත්‍ය ශානරයක් බවයි.විශ්වවිද්‍යාල අධ්‍යයනයේ දී හා පෞද්ගලික අධ්‍යනයන්වලදී මා රුසියානු සාහිත්‍ය සම්බන්ධයෙන් හැදෑරූ කරුණු ඔබ සමග බෙදාහදා ගැනීම මෙම ලිපි පෙළේ අරමුණයි.

විශ්ව සාහිත්‍ය අධ්‍යයනයේ දී රුසියානු ගද්‍ය සාහිත්‍යයට වඩාත් ප්‍රබල අද්විතීය ස්ථානයක් හිමි වුවද, සැබෑ රුසියානු හදගැස්ම, සංස්කෘතිය හඳුනා ගතහැකි වන්නේ රුසියානු කාව්‍ය සම්ප්‍රදායෙන් මිස රුසියානු ගද්‍ය සාහිත්‍යයෙන් නොවන බව බොහෝ දෙනාගේ මතයයි.

වර්තමානයේ දී වුවද රුසියානු සමාජයේ අනිකුත් සාහිත්‍ය නිර්මාණයන්ට සාපේක්ෂව රුසියානු කවියේ ද හිමිවන්නේ ප්‍රබල සමාජ බලයකි. රුසියානු සමාජය තුළ සාහිත්‍යයට කොතෙක් සමාජ ඉඩක් හිමි වන්නේද යන්න අදටත් රුසියානු සමාජයේ සාහිත්‍ය නිර්මාණකරුන් වෙනුවෙන් ඉදිකර ඇති කෞතුකාගාර හා පිළිරූ මෙන්ම, ඔවුන් වෙනුවෙන් සමාජයේ පවත්නා උත්තමාචාරය සාක්ෂි දරයි.

රුසියානු කාව්‍ය සම්ප්‍රදාය මුලින්ම ආරම්භ වන්නේ ජන කවි සම්ප්‍රදායක් ලෙසිනි. එය “බ්ලීනා” නමින් හැඳින්විය. එහි සිංහල අර්ථය නම් “සිදුවූ දේ ” යන්නයි.

මෙම ජනකවි සම්ප්‍රදායට වස්තු විෂය වූයේ බොහෝවිට මනංකල්පිත වූ වීර චරිත හෝ එසේ නැතහොත් මනංකල්පිත වීර පුරාණෝක්තීන්ය.

රුසියාවේ පැවති තවත් ජන ගායනා සම්ප්‍රදායක් වන්නේ “කල්කි” නම් වූ ජන ගායනා විශේෂයයි. එම ජනගායනාවලටද පැරණි රුසියාවේ සිටි වීර පුරුෂයන්ගේ හා වීර කාන්තාවන්ගේ ජීවන කතා වස්තු විෂය විය. එහෙත් දොළොස් වැනි සියවස අවසානයේ දී පල්ලියේ අධිකාරි බලය වඩ වඩාත් වර්ධනය වූ අතර පැරැණි රුසියානු ගැමි කාව්‍යයන්ට එය ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට විය.

එම නිසා මේ කාලයේ නිර්මාණය වූ බොහෝ සාහිත්‍ය නිර්මාණයට වස්තු විෂය වූයේ ආගමික මතවාදයන්ය. එබැවින් එම නිර්මාණවල කිසිදු ආකාරයක සාහිත්‍යය රසයක් දක්නට නොලැබුණු අතර ආගමික ප්‍රචාරණ ස්වරූපයක් දක්නට ලැබුණි. මහා පීටර් රජුගේ ආගමනයත් සමග රුසියාව මෙතෙක් පැවති මෙම ආගමානුකූල සාහිත්‍යමය පිළිවෙත බිඳීගිය අතර ඔහු බටහිර යුරෝපය කෙරෙහි අවධානය යොමු කරමින් තම සමාජය ගොඩනගා ගැනීමට උත්සාහ දරන්නට විය. මෙම කාල සීමාවේ දී රුසියාවේ මහා කවියා නමින් හඳුන්වන ලබන ඇලෙක්සැන්ඩර් පුෂ්කින් උපත ලද අතර ඔහු රුසියානු සාහිත්‍ය වඩා යථාර්ථවාදී ප්‍රවේශය කරමින් රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කරා එය ගෙන ගියේය.

ඉදිරි ලිපි පෙළින් රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගය පිළිබඳ තවදුරටත් සොයා යමු.

මූලාශ්‍රය -
රුසියානු සාහිත්‍යය හා වර්තමාන සිංහල නවකතාව හා කෙටි කතාව, මිනිවන් පී තිලකරත්න
ගිම්හානේ යන්න ගිහින් (රජතමය යුගයේ රුසියානු කාව්‍ය) සුනිල් විජේසිරිවර්ධන.




Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *