ආලෝක තරණය (02) – චිත්‍රයක කාලය සතු දයලෙක්තිකය

ආලෝක තරණය (02) – චිත්‍රයක කාලය සතු දයලෙක්තිකය

සාලිය ඉඳුරුවිතාන

භාවානුගතික ආලේඛ්‍ය ප්‍රකාශිත සංචලනයන්
Expressive Movement of Sentimentality Portrait

ඉතාලියානු මහා පුනරුද යුගයේ හා නූතන යුගයේ විශිෂ්ට කලා කරුවන් දෙදෙනෙකු වන Raphael Sonzio ගේ හා Pablo Picasso ගේ ස්ත්‍රීමය ආලේඛ්‍ය Female Portrait සිතුවම් දෙකකි, Portrait of young woman සහ Portrait of young girl කියන මේ ආලේඛ්‍ය සිතුවම් දෙක. Portrait of young woman කියන රෆායෙල්ගේ සිතුවමත්, Portrait of young girl කියන පිකාසෝගේ සිතුවමත් ස්ත්‍රීන් දෙදෙනෙකුගේ භාවානුගතික Sentimentality ස්වරූපයන් ඉතාමත් විශිෂ්ට ලෙස පිළිඹිබු කෙරෙන සිතුවම් දෙකකි, මේ සිතුවම් දෙක.

රෆායෙල්ගේ චිත්‍රය 1518 – 19 වෙනි මහා පුනරුදයට අයත් චිත්‍රයක් වන අතර, පිකාසෝගේ චිත්‍රය 1914 දී පමණ නිර්මාණය කල නූතන යුගයේ ඝනිකවාදය Cubism කලා ප්‍රභේදයට අයත් ස්ත්‍රීමය ආලේඛ්‍ය චිත්‍රයකි. සම්භාව්‍ය සහ නූතන යුගයට අයත් මේ සිතුවම් දෙක චිත්‍ර කලාව ගැන සහ එහි ඇති දාර්ශනික හා සමාජ දේශපාලන පසුබිම තුළ කලාත්මක මනෝභාවයන් Aesthetic Emotions ඉතාමත් සියුම් ලෙස ප්‍රකාශ කරන්නට මේ කලාකරුවන් දෙදෙනාට චින්තනමය අවකාශයක් නොතිබූනා නම් මේ කලා කෘතිවලට බුද්ධිමය විචාරාත්මක විශ්ලේෂණ මැදිහත් වීමක් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

රෆායෙල් කියන්නේ ලෝක මානව ශිෂ්ටාචාරයේ දාර්ශනික මෙන්ම, කලාත්මක ඥාන ප්‍රකාශනයේ මහා පෙරළියක් වුණු, මහා පුනරුදය තුලින් බිහිවූ විශිෂ්ට කලාකරුවෙකි. ඔහු බිහිවන්නේ විශ්මිත පරිකල්පනීය කලාත්මක ඥානයෙන් පිරිපුන් ලියනාඩෝ ඩා වින්සි, මයිකලෑන්ජලෝ වැනි මහා කලාකරුවන්ගේ සෙවනැල්ලේ අභාෂය ලබමිනි. රෆායෙල් කියන්නේ දර්ශනය, තර්ක ශාස්ත්‍රය, නීතීය, කාව්‍ය ශාස්ත්‍රය හා දේවධර්මය මනා ලෙස අධ්‍යනය කළ විශිෂ්ට කලාකරුවෙකූ පමණක් නොව, God කියන සංකල්පයේ ඇති මහා දාර්ශනිකබව “ආදරයට ” ආදේශ කරමින් එහි ඇති පරමත්ව අදහස Absolute Idea ඔහුගේ සිතුවිලි අතරින් චිත්‍රණය කල විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකි. මේ පරමත්ව අදහස ඔහුගේ ආත්මය තුළ නොතිබෙන්නට මේ ස්ත්‍රී ආලේඛ්‍යයට මෙතරම් හැගීම් දනවන ආකාරයෙන් සජීවී බවක් එකතු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කිව්වොත් ඔබ පිළිගන්නවා ඇති. නූතන චිත්‍ර ශිල්පියෙකුට හැකියාවක් තිබෙනවා අවශ්‍ය නම් මේ ආකාරයෙන්ම ආලේඛ්‍ය සිතුවමක් කැන්වසයක් මත සිතුවම් කරන්නට. එහෙත් රෆායෙල්ගේ මේ චිත්‍රමය ආලේඛ්‍යයේ ඇති හැගීම්බර ගැඹුරු සියුම් තැන් ස්පර්ශ කර ජීවමාන කරන්න අමාරුයි. මොකද ඒ දාර්ශනිකබව ආත්මීයබව සහ පරමත්ව අදහස බොහෝ නූතන චිත්‍ර ශිල්පීන්ට හා පොදුවේ කලා කරුවන් තුළ නැති නිසා. අපි යම් ගැඹුරු කලාත්මක නිර්මාණයක් කරනවානම්, ඒ බැරෑරුම් බව සහ සාරාත්මක හැගීම් අපගේ ආත්මය තුළ නැතිනම් එම කලා නිර්මාණ තුලින් එහි ගැඹුරුබව ප්‍රකාශමාන වෙන්නේ නැහැ. ඉතිං, රෆායෙල්ගේ මේ Portrait of young woman කියන ආලේඛ්‍ය සිතුවම හරහා පිළිඹිබු වන්නේ රෆායෙල්ගේ ආත්මය තුළ ඇති ඔහුගේම කැඩපතයි.

මහා පුනරුද යුගයේ ඥාන ආයතන මගින් Faculty of Knowledge බිහිවූ ස්වභාවික යතාර්ථවාදී චිත්‍ර කලාවට ප්‍රතිපක්ෂව නූතන චිත්‍ර කලාවේ පුනරුදයත් සමග චිත්‍ර සම්ප්‍රදායන් විශාල ගණනක් බිහිවිය. ගුරුකුල සම්ප්‍රදායට අයත් ඥාන ආයතනවලට පරිභාහිරව නූතන චිත්‍ර කලාව පෝෂණය කල පුරෝගාමීන් අතරින් Cloud Monet, Edouard Monet, Poul Cezaned වගේ චිත්‍ර ශිල්පීන්ට ලැබෙන්නේ සුවිශේෂී තැනකි. නූතන කලාවේ මේ ආගමනයත් සමග දෘශ්‍ය කලාවේ ඉතාමත්ම තීරණාත්මක හැරයුම් ලක්ෂයක් තැබූ කලාකරුවන් අතරින් පැබ්ලෝ පිකාසෝ කියන්නේ රැඩිකල් සංකීර්ණත්වයේ විශ්වීය සලකුණකි.

Portrait of young girl කියන පිකාසෝගේ මෙම ස්ත්‍රීමය ආලේඛ්‍ය චිත්‍රය තුලින් ප්‍රකාශමාන වන ස්ත්‍රීයකගේ ආත්මීය හැගීම් සමුදාය බහුවිධ දෘෂ්ටිකෝණයන් වෙත නරබන්නාගෙ මනස රැගෙන යයි. රෆායෙල්ගේ Portrait of young woman කියන මේ චිත්‍රමය රූපය Image බාහිර යතාර්ථයේ අනුකරණාත්මක ස්වරූපය එම අයුරින්ම සිතුවම් ඡායාරුපයක් ලෙස Painted photograph පිළිඹිඹු වන අතර, එම මනෝභාවයන් සමග අපට අනන්‍ය වීමට හැකි වුවත්, පිකාසෝගේ චිත්‍රය සමග අපට අනන්‍ය වීමට එකවර හැකියාවක් ලැබෙන්නේ නැත්තේ එය සංකල්පීය කලාවට Conceptual Art අයත් චිත්‍රමය අත්දැකීමක් නිසයි. රෆායෙල්ගේ මෙම චිත්‍රමය රූපය නරබන්නාගේ හැගීම් කලාපයට අයත් වන අතර පිකාසෝගේ ජ්‍යාමිතිකත්වය හරහා ගොඩනැගුණු ඝනිකවාදී චිත්‍ර කලාව කියවගන්න වෙන්නේම නරබන්නාගේ සංකල්ප ලෝකයේ ධාරිතාවයත් සමගයි. පුනරුදයෙන් බිහිවූ රෆායෙල්ගේ මෙම ආලේඛ්‍ය සිතුවමත්, පිකාසෝගේ නූතන යුගයේ බිහිවූ මෙම සිතුවමත් අතර ඇති කාලය සතු දයලෙක්තිකය නම් අන්තර් සබඳතාවය වෙත ප්‍රවේශ විය හැකි මගක් මෙම සිතුවම් දෙක හරහා අපට විවර කර දෙයි.

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *