ඒකත් හරි මේකත් හරි: ඩෙරීඩියානු කියැවීමක්

ඒකත් හරි මේකත් හරි: ඩෙරීඩියානු කියැවීමක්

ආචාර්ය දර්ශන අශෝක කුමාර

ඩෙරීඩාගේ ආචාරධර්ම සම්බන්ධ පැහැදිලි කිරීම ඒකත් හරි මේකත් කියන පොදු ආචාරධර්ම මූලික කර ගත්තක් නොවන අතර පරමය මත පිහිටා නිර්මාණය වන විරෝධාභාසයකි.

ඩෙරීඩා‍‍ගේ ආචාරධර්ම සම්බන්ධයෙන් ලංකාවේ බොහෝ දෙනෙකුගේ කියැවීම සාපේක්ෂතාවාදී හෝ නාස්තිකවාදී බව පෙනීයයි. ඩෙරීඩාට අනුව ආචාරධර්ම ඔස්සේ ඒකත් හරි මේකත් හරි වැනි අදහසක් එතැයි ඔවුහු සිතති.

එය වැරදි ය. ඩෙරීඩාට අනුව ආචාරධාර්මික – දේශපාලනික වගකීමෙන් (ethico-political responsibility) ගැළවීමට නොහැකිය.

ඩෙරීඩා පහර එල්ල කරන්නේ පාරභෞතික ආචාරධර්ම පද්ධතියටයි. එනයින්, ඩෙරීඩා තවත් එවැනි පාරභෞතික ආචාරධර්ම පද්ධතියක් (alternative ethical system or theory) ගොඩනඟන්නේ නැත.

ඩෙරීඩාගේ ආචාර ධර්ම සම්බන්ධයෙන් තේරුම් ගැනීමේ දී ඇති ඉතා සියුම් ම දාර්ශනික ප්‍රශ්නය මෙයයි.  ඩෙරීඩා කරන්නේ ආචාර ධාර්මික ක්‍රියාවන් සම්බන්ධයෙන් නව අවබෝධයක් (new understanding of ethical acts) ලබා දීමයි. එනයින් ඩෙරීඩා යනු ආචාරධර්ම සම්බන්ධයෙන් ඒකත් හරි මේකත් හරි යැයි කියන සාපේක්ෂතාවාදියෙකු වන්නේ නැත.

අප ගන්නා ඕනෑම ආචාරධාර්මික තීරණයක් බිහිසුණු වේ. සෑම ආචාරධාර්මික තීරණයක් ම වගකීම් විරහිත වේ. උදාහරණයක් ලෙස ශ්වසන ආධාර යන්ත්‍ර අවශ්‍ය රෝගීන් 6 දෙනෙකු සිටින නමුත් යන්ත්‍ර ඇත්තේ දෙකක් පමණක් නම් ආචාරධාර්මික තීරණයක් ගැනීමට සිදු වේ. එවිට 4 දෙනෙකුට මිය යෑමට සිදු වෙයි. 6 දෙනාටම මිය යෑමට සැලැස්වීමට වඩා 4 දෙනෙකුට මිය යෑමට සැලැස්වීම භීෂණකාරී ආචාරධාර්මික තීන්දුවකි.

ඕනෑම ආචාරධාර්මික තීන්දුවක බහිෂ්කරණය වන යමක් ඇති අතර එහි වගකීම් විරහිත බවක් ඇත. මෙයින් කියන්නේ වගකීම් විරහිත ලෙසින් හැසිරීම ඩෙරීඩා අනුමත කර ඇති බව ද? නැත. ඕනෑම තක්කඩිකමක් කර පැමිණ ඩෙරීඩා අසල දී පව් සමා කර ගැනීමට නොහැකිය.

තනි ඒකකය වෙත ඇති වගකීම (responsibility towards the singular) යනුවෙන් යමක් ඩෙරීඩා ඉදිරිපත් කර ඇත. මේ කුමක්ද? මෙය තවදුරටත් බෙදිය නොහැකි (irreducible), නැවත නැවත් පුනරාවර්තනය නොවන ( unrepeatable) සමජාතීය(  heterogeneous) ස්වචාර (idiosyncratic) වූවකි.

එනම් දෙවියන් වැනි වූ දෙයකි. පරම වූ දෙයකි.   මෙම තනි ඒකකය වෙත ඇති වන වගකීම පරම වගකීම (absolute responsibility) වශයෙන් ඩෙරීඩා පැහැදිලි කළේය.

මෙම පරමය කිසිදා සිතීමට හෝ සිතින් ග්‍රහණය කර ගැනීමට (“inconceivable” and unthinkable) නොහැකිය. ලෝකයේ ආචාරධාර්මික වශයනේ වඩාත් නිවැරදි ම වූ දේ සම්බන්ධයෙන් අපට පරමයක් පැවතිය යුතුය. එය සිතින් දැන ගැනීමට නොහැකිය.

සිතින් දැන ගන්නා යමක් වෙතොත් එය ආචාර ධාර්මික පරමයක් නොව සමාජයෙන් අපට නැවත නැවත හමුවන පොදු ආචාරධාර්මික මූල ධර්මයි (general laws/ethical principles of society and culture).

දැන ගැනීමට නොහැකි පරමය සහ අපට ප්‍රායෝගික ව හමු වන සාමාන්‍ය ආචාර ධර්මය අතර ඇති වන විරෝධාභාසය ඩෙරීඩාගේ ආචාරධර්ම පිළිබඳ අවබෝධයයි. එනම් ඇපෝරියාවයි.

එනයින්, ඩෙරීඩාගේ ආචාරධර්ම සම්බන්ධ පැහැදිලි කිරීම ඒකත් හරි මේකත් කියන පොදු ආචාරධර්ම මූලික කර ගත්තක් නොවන අතර පරමය මත පිහිටා නිර්මාණය වන විරෝධාභාසයකි.

පරමය යනු ආචාරධාර්මික වශයෙන් මිනිසෙකුට විය හැකි හොදම දේයි. එහෙත් එය සිතීමට නොහැකි දෙයකි. ලංකාවේ ඩෙරීඩා කියවා ගන්නා විට නොදන්නේ හෝ අමතක කරන්නේ මෙම පරමයයි.

ඩෙරීඩා තක්කඩියෙකු නොවන්නේ මෙම පරමය හේතුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *