රට බාර දිය යුත්තේ කාටද? -ජේවීපිය ගැන විවේචනයක්- (වික්ටර් අයිවන්)

රට බාර දිය යුත්තේ කාටද? -ජේවීපිය ගැන විවේචනයක්- (වික්ටර් අයිවන්)

වික්ටර් අයිවන්

ජේවීපිය පෙනී සිටීමට උත්සහා කරන්නේ අලුත් තරුණ උගතුන්ගේ ව්‍යාපාරයක් ලෙසිනි. එහෙත් එම පක්ෂයේ උප්පත්තිය සිදුවූයේ 1964 දීය. කැරලි දෙකක් ගැසීම හා දෙවැනි කැරැල්ලේදී ලොකු පිරිසක් හිතුවක්කාර ලෙස මරා දැමීම, සටන්කාමී උද්ඝෝෂණ ව්‍යාපාර සිදුකිරීම හැරුණු විට මේ දීර්ග කාලය තුළ රටේ පොදු යහපතට හේතුවන ලොකු එක වැඩක් හෝ එම පක්ෂය කර නැත.

ලංකාවේ සම්ප්‍රදායික පක්ෂ ගැන සිදුකර තිබෙන විවේචනාත්මක කරුණු සලකා බැලීම්වල ප්‍රමාණය විශාලය. එහෙත් ජෙවීපිය ගැන සිදුකර තිබෙන විවේචනාත්මක කරුණු සලකා බැලීම්වල ප්‍රමාණය අවම තත්වයක පවතිනවා පමණක් නොව, ඒවා උසස් තත්වයක නොපවතී. ලංකාවේ දේශපාලන හා මතවාදි ව්පා‍යාර අතුරින් ජවිපෙ තරම් නිදහස් සංවාද මර්ධනය කිරීම සදහා ක්‍රියා කර තිබෙන සංවිධානයක් තවත් නැති තරම්ය එම පක්ෂය සිය ඉතිහාසය තුළ සංවාද මර්ධනය කිරීම සඳහා යොදාගත් සංවාදකරුවන් බිය ගන්වන හා ඔවුන් නින්දාවට ලක්කරන ප්‍රතිපත්තිය සමාජ සංවාද වලකා, ලංකාවේ දේශපාලන තලය අවිචාරවත් කිරීමට බලපෑ වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. බලයේ සිටින පාලකයින් විවේචනය කිරීමට මහජනයා භය නැතත් ජේවීපිය විවේචනය කිරීමට ඔවුන් තුළ ඇත්තේ ලොකු භයකි. දෙවැනි කැරැල්ලේදී එම පක්ෂය සිදු කරන ලද බිහිසුණු කුරිරුකම් තවමත් ජනතාවගේ මතකයේ රැඳී තිබීම ඊට බලපා තිබෙන හේතුව ලෙස සැලකිය හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ පැහැරගෙන ගොස් ඔහුගේ ගෙල කපා මරණ ලද්දේ දෙවැනි කැරැල්ල ආරම්භ වීමටත් පෙරය. එය එන්න තිබෙන කැරැල්ලේ කෲර සොභාවය කල් තියා සංකේතාත්මකව පෙන්නුම් කළ අවස්තාවක් ලෙස සැලකිය හැකිය. දෙවැනි කැරැල්ලේදී 71 කැරැල්ලට සම්බන්ධ, පසුව ජේවීපීය විවේචනය කළ විවේචකයකුගේ බෙල්ල වෙන්වන ලෙස කපා එය උල් ලීයක ගසා ප්‍රදර්ශනය කළ අවස්තාවක් ගැන මම අසා තිබුනි. එසේ මරණයකට පත්කළ පුද්ගලයාගේ සහෝදරයෙකු පසු කලකදී ජාතික ජන බලවේගයට එකතුවූ බව අසන්නට ලැබුණු විට ඔහු ගේ එම හැසිරීම මට පෙනුනේ විසඳන්න පහසු නැති ප්‍රහේලිකාවක් ලෙසය. නිදහස් සංවාද මර්ධනය සඳහා ජේවීපිය දෙවැනි කැරැල්ලෙන් පසුද යොදා ගනිමින් තිබෙන අශීලාචාර ක්‍රමෝපායන් ගෙන්ද පෙන්නුම් කෙරෙන්නේ දෙවැනි කැරැල්ල කාලයේදී ඔවුන්ගේ ශරීරවලට වැසී සිටි යක්ෂයා අර්ධ වශයෙන් මිස මුළුමනින් ඔවුන් හැර ගොස් නැති බව නොවේද?

මෙම පක්ෂය දෙවැනි කැරැල්ලේදී බලය අල්ලා ගැනීම සඳහා යුද්ධ හමුදාව සමග යුද්ධ කරන තැනකට ගියේ නැත. ඒ නිසා එම කැරැල්ල දෙපාර්ශවයක් අතර ඇතිවූ යුද්දයක් ලෙස සැලකිය නොහැකිය. යොදාගත් සටන් පිළිවෙත වූයේ ඝාතකයා හඳුනා ගත නොහැකි ලෙස තෝරාගත් මිනිසුන් තොග ගනින් මරා දැමිමය. දෙවැනි කැරැල්ලේ හිතවතකු ලෙස සැලකිය හැකි ධර්මන් වික්‍රමරත්න ඔහුගේ පොතෙන් (ජ.වි.පෙ 2 වැනි කැරැල්ල) ඉදිරිපත් කර තිබෙන ගණන් හිලව්වලට අනුව ජවිපෙ එම කැරැල්ලේදී මරා දමන ලද අයගේ සංඛියාව 6661 කි. එහිදී ඔවුන් මිනිසුන් ඝාතනය කර තිබෙන වගකීමෙන් තොර කුරිරු සොභාවය පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කල හැකි නිදර්ශන හතරක් මෙසේය. ධර්මන්ගේ පොතේ තිබෙන තොරතුරුවලට අනුව ගුවන් විදුලිය හා රූපවාහිනිය ඇසීමෙන් හා බැලීමෙන් වැලකී සිටිය යුතු බවට ජවිපෙ මහ ජනයාට නියෝග කිරීමෙන් පසුව එය නොසලකා ගුවන් විදුලිය හා රූපවාහිනිය ඇසීම හෝ බැලීම නිසා මරා දමන ලද පුද්ගලයින්ගේ සංඛියාව 219 කි. ලේක්හවුස් පුවත්පත් විකිනීමට එරෙහිව පනවන ලද නියෝග නොපිලිපැදීම නිසා මරා දමන ලද පත්තර අලෙවි නියෝජිතයින්ගේ සංඛ්‍යාව 27 කි. මැතිවරණ රාජකාරියේ යෙදීම තහනම් කිරීමෙන් පසු එය නොසලකා මැතිවරණ රාජකාරියේ යෙදීමේ වරදට මරාදමා තිබෙන රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව 63 කි. මැතිවරණ තුනකදී ජන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටිය යුතු බවට පනවන ලද නියෝගය නොසලකා ජන්දය පාවිච්චි කිරීම නිසා මරාදමන ලද අයගේ ගනන එම පොතේ සදහන් වන්නේ නැතත් එයද සිය ගනනක් විය හැකිය. මේ නිදර්ශන හතරෙන් පමණක් වුවත් ජෙවීපිය තමන්ට කිසියම් බලයක් ලැබුණ අවස්ථාවකදී කොතරම් බිහිසුනු, කුරිරු, වගකීමෙන් තොර, නරුම ස්වරූපයකින් ක්‍රියාකර තිබෙන ව්‍යාපාරයක් ද යන්න හොඳින් පෙන්නුම් කර තිබෙන්නේ යැයි කිව හැකිය. මෙවා සැලකිය යුත්තේ සාමාන්‍ය ගනයට වැටෙන වැරදි නොව සමාව දිය නොහැකි ගනයෙට වැටෙන බිහිසුනු අපරාධ ලෙසය. එම පක්ෂය විසින් දෙවැනි කැරැල්ලේදී කර තිබෙන බිහිසුණු අපරාධ ගැන මොනම අවස්තාවක දීවත් අවංක ලෙස කණ්ගාටුව පළකිරීමක් හෝ ඒ ගැන ස්වයං විවේචනය කිරීමක් කර නැත. ජවිපෙ වාර්ෂිකව සමරන මියගිය විරුවන් අතර බිහිසුණු මනුෂ්‍ය ඝාතනවල යෙදුණු අයද සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. ජවිපෙ තමන් කර තිබෙන බිහිසුණු අපරාධවලට බලවත් ලෙස කණගාටුව පලකිරීමක් වත් කර නැති ව්‍යාපාරයක්ව තිබියදී එම මූලික ප්‍රස්නය එම ව්‍යාපාරයට එකතු වි සිටින ශාස්ත්‍රාලීය උගතුන්ගේ හෘද සාක්ෂියට වද දෙන ප්‍රස්නයක් වී නැති බව පෙනේ.

ජවිපෙ කියන්නේ මෙතෙක් රට පාලනය කල අන් සියළු පක්ෂවල අය දූෂිතයින් වන නිසා ඊලඟට රටේ පාලන බලය හිමිකර ගැනීමේ සාදාචාරත්මක අයිතිය තිබෙන්නේ තම පක්ෂයට කියාය.පොදුවේ 1977 න් පසු රට පාලනය කල හැම පක්ෂයක් වාගේම දූෂිත පක්ෂ ලෙසද එවාහි දේශපාලන නායකයින් එක්කෝ අයතා ලෙස ධනය උපයාගත් එසේ නැතහොත් ගජමිතුරන්ට අයතා ලෙස ධනය උපයා ගැනීමට ඉඩ දුන් පක්ෂ ලෙස ද සැලකිය හැකිය. දූෂිත දේශපාලන පක්ෂ හා ඒවාහි නියෝජිතයින් පරාජය කිරීම වැදගත්‍ ය. එහෙත් ඒ වෙනුවට ඉතාමත් හිතුවක්කාරි ලෙස දහස් ගනන් මිනිසුන් මරා දැමූ ඒ ගැන බලවත් ලෙස කණගාටු වීමටවත් සූදානම් නැති පක්ෂයකට බලය දීම හොඳ විකල්පයක් විය හැක්කේ කෙසේද? හොරකම තුච්ඡ කොට සැල කිව යුතු වරදක් බවට සැකයක් නැත. මනුෂ්‍ය ඝාතනය ඊටත් වඩා තුච්ච කොට සැලකිය යුතු වඩා බලවත් අපරාධයක් නොවේද? ආගමික ඉගැන්වීම් අනුවත්, නීතිය අනුවත් ,මනුෂ්‍ය ඝාතනය සැලකෙන්නේ හොරකමටත් වඩා බරපතල අපරාධයක් ලෙසය. හොරුන් පරාජය කොට මිනීමරුවන්ට රට බාරදෙන පිළිවෙතක් රටේ යහපතට හේතු විය හැක්කේ කෙසේද?

ජේවීපිය පෙනී සිටීමට උත්සහා කරන්නේ අලුත් තරුණ උගතුන්ගේ ව්‍යාපාරයක් ලෙසිනි. එහෙත් එම පක්ෂයේ උප්පත්තිය සිදුවූයේ 1964 දීය. කැරලි දෙකක් ගැසීම හා දෙවැනි කැරැල්ලේදී ලොකු පිරිසක් හිතුවක්කාර ලෙස මරා දැමීම, සටන් කාමි උද්ඝෝෂණ ව්‍යාපාර සිදුකිරීම හැරුණු විට මේ දීර්ග කාලය තුළ රටේ පොදු යහපතට හේතුවන ලොකු එක වැඩක් හෝ එම පක්ෂය කර නැත. 17 වැනි විවස්ථා සංශෝධනයට අයිතිවාසිකම් කීවද එම කෙටුම් පත ඔවුන්ගේ කෙටුම්පතක් නොව එජාපයේ කරු ජයසූරියගේ ඉල්ලීම මත විද්වතුන්ගේ සංගමය ( OPA) ට අයත් කුඩා කණ්ඩායමක් විසින් හදන ලද කෙටුම්පතකි. එම පක්ෂයේ පාර්ලිමේන්තු ඉතිහාසය දශක තුනකට ආසන්න තරමට පැරණිය. එවැනි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තුවේ ගමන් මග යහපත් කිරීම සඳහා හෝ එය වෙත පැවරී තිබෙන වගකීම් කාර්‍යක්ෂම ලෙස ඉටුකරන තත්වයකට ගැනීම සදහා හෝ එම ආයතනය අදූෂිත තත්වයකට ගැනීම සදහා හෝ එම පක්ෂය එම දීර්ග කාලය තුළ කිසිදු වැදගත් , බලවත් මැදිහත් වීමක් සිදු කර නැත. අඩුම වශයෙන් ඒ සදහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමක් වත් කර නැත. පාර්ලිමේන්තුව දූෂිත කිරීමට බලවත් ලෙස බලපා තිබෙන සාධකයක් ලෙස සැලකිය හැකි මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග ව්‍යාපාර කරන නීති විරෝධි පිළිවෙතට එරෙහිව පාර්ලිමේන්තු පරීක්ෂණයක් ලබාගැනීම සදහාවත් එම පක්ෂය කිසිදු බලවත් උත්සහායක යෙදී නැත. එසේම මේ දීර්ග කාලය තුළ මහජන අයිතිවාසිකම් වැඩි දියුණු කිරීමෙහි ලා හෝ දේශපාලන ක්‍රමය යහපත් කරගැනීමෙහි ලා කිසිදු වැදගත් කාර්‍යබාරයක් ඉටු කර නැත. සමාජ මනස පටු කිරිම සදහා හා දෙමළ විරෝදි, ජාතිවාදි ආකල්ප සමාජ ගත කිරීම සදහා නම් විජේවීරගේ කාලයේ සිටම ලොකු කාර්‍ය්බාරයක් ඉටු කලේය.

ලංකාව විනාශ කළ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා සමග මේ පක්ෂය පවත්වා ගෙන ගිය ජුගුප්සාජනක සම්බන්ධය පමණක් වුවත් මෙම පක්ෂයේ බංකොලොත්, අවස්තාවාදි ,ලඳ බොලඳ හා වග කීමෙන් තොර සොභාවය හොදින් පෙන්නුම් කරයි. සරත් සිල්වාට එරෙහිව ඉදිරිපත් වූ පළමු දෝෂාභියෝගයට ජවිපෙ මන්ත්‍රි වරුන්ද අත්සන් කළේය. ඉන්පසු එය ආයුධයක් කරගෙන එම දූෂිත අගවිනිසුරු සමග පස්සා දොරෙන් ගනු දෙනු කරන තැනකට ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙපක්ෂ අතර අන්‍යෝන්‍ය අවබෝදයෙන් ක්‍රියා කරන තත්වක් ඇති විය. ජවිපෙ අගවිනිසුරුව ආරක්ෂා කරන විට ඒ වෙනුවෙන් අග විනිසුරු ජවිපෙ කීර්තියට හේතුවන නඩු තීන්දු දුන්නේය. මේ සම්බන්ධය කොතරම් දුර දිග ගියේද කියතොත් 2010 ජනාධිපතිවරණයට ජවිපෙ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට පක්ෂයක් ලෙස මුලදී තීන්දු කර තිබුණේ සරත් නන්ද සිල්වාය. අධිකරණය විනාශ කළ අධම මිනිසකු ජනපතිකමට ගෙන විත් ඔහු සමග එකතුවී රට පාලනය කරන්නට කල්පනා කල ආකාරය අපූරුය. එය වැලකුණේ සරත් ෆොන්සේකා කරලිය ඒම නිසාය. එම අවලස්සන කතාව ඉන් අවසන්වන්නේ නැත. 2013 දී පමණ ජවිපෙ නායකයා නැවත එම ගඳගහන සරත් සිල්වාව කරේ තියාගෙන රට වටේ ගියේය. සරත් සිල්වා හෙල්පින් හම්බන්තොට නඩුව ගැන පාපොච්චාරණයක යෙදුනේ එම චාරිකාවේදීය. ඒ නඩුව තමන්ගේ අතට ගෙන නඩුව අහෝසි නොකළේ නම් මහින්ද රාජපක්ෂට යන්න තිබුනේ රජ ගෙදරට නොව හිර ගෙදරට බව ඔහු කීවේය. තමන් කළ ඒ වරද ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බවද ඔහු කීවේය. මේ කතාව අසන්නට ලැබුණු අවස්තාවේම අනුර කුමාර දිසානායක යහපත් දේශපාලන නායකයෙකු නම් කළ යුතුව තිබුණේ මේ මිනිහාව තව දුරටත් කර තබාගෙන රට වටේ යාම නොව වේදිකාවේ සිට එම කථාව කී අවස්තාවේදීම ඔහු අගවිනිසුරු දූරයේ සිටියදී කර තිබෙන එම වංචාව ප්‍රසිද්දියේ හෙළා දකින අතර තමන් පැමිණිලිකරුවකුවී හිටපු අගවිනිසුරුවරයාට එරෙහිව පාර්ලිමෙන්තු හෝ වෙනත් ඵලදායි පරීක්ෂණයක් ආර්ම්භ කිරීම සඳහා ක්‍රියා කිරීමය. ජවිපෙ රටේ ඇතිවූ මහා බිදවැටීම කල්තියා දකින්නට සමත් වූයේ නැත. දැන් අනුර දිසානායක චමුදිතට කියා තිබෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදය දින 30 ක් තුළ විසඳන්නට තමන්ට හැකි බවත් අවුරුදු 7 ක් වැනි කෙටි කාලයක් තුළ ලංකාව ලෝකයේ දියුණුම රාජ්‍යන්ගෙන් එකක් බවට පත් කල හැකි බවත් ය. අනුර කුමාර දිසානායක සත්‍ය වශයෙන්ම එවැනි ප්‍රකාශයක් චමුදිතට කලේ නම් එයින් ඔහුගේ අඥාන කමේ තරම හොඳින් පෙන්නුම් කරන්නේ යැයි කිව හැකිය.

රටේ ඇතිවිවූ මහා බිඳ වටීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ අරගලය සමඟ 1948 ආරම්බ වී දශක 7කට තරමක් වැඩි කාලයක් පැවති පරණ යුගයද විශාල ප්‍රමාණයකට බිඳ වැටී ඇතත් එය සිදුවී ඇත්තේ නව යුගයක් උදාවීමට අවශ්‍ය කරන විකල්ප පදනම් ඇති කිරීමකින් තොරවය. එසේ නැත හොත් පරණ යුගය අවසන් වෙමින් තිබෙන්නේ නව යුගයක් උදාවීමකින් තොරවය. එම උභතෝකෝටික ප්‍රස්නයක විසඳා ගතයුතුව තිබෙන්නේ කෙසේද?

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *