රට බාර දිය යුත්තේ කාටද? -වික්ටර් අයිවන්-

රට බාර දිය යුත්තේ කාටද?   -වික්ටර් අයිවන්-

වික්ටර් අයිවන්

ඇතිවූ අරගලයට ආවේණික දුර්වලම ලක්ෂණය වූයේ බලවත් ලෙස නැඟීසිටීමට අවශ්‍ය කරන ධෛර්‍යය පෙන්නුම් කිරීමට සමත් වුවද, වෙනස්කම් දිනා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව පෙන්නුම් කිරීමට අසමත් වීමය. අවශ්‍ය වෙනස්කම් දිනාගැනීම එක්කෝ විප්ලවයක් මගින් සිදුකළ යුතුය. නැති නම් ප්‍රතිසංස්කරන වැඩ සටහනක් මගින් සිදු කළ යුතුය.

චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් කිරීම සඳහා  ලබා දෙන ලද දායකත්වය හැරුණු විට ඉන්පසු කිසිම අවස්තාවකදී දේශපාලන පක්ෂ සමග කල්ලී ගැසී මා වැඩ කර නැත. චන්ද්‍රිකා බලයට පත් කිරීම සඳහා උදව් කළේ ද පුද්ගලීක වාසි ලබාගැනීමේ අරමුණින් නොව ඇගේ පාලනයක් යහපත් වෙනස්කම් ඇති කරනු ඇතැයි කියන විස්වාසය නිසාය. ඇයගේ පාලනකාලය තුළ සිදුවූ බරපතල වැරදිවලට එරෙහිව (ජන්ද දූෂන, රෝහණ කුමාර හා කුමාර් පොන්නම් බලම් ඝාතන, රූකාන්ත ගුණතිලක හා අනෝජා වීරසිංහ යන කලාකරුවන් හිංසාවට ලක්කිරීම හා අධිකරන පරීක්ෂනයකට ලක්වී සිටි නීතිපතිවරයෙකු අගවිසුරු ධූරයට පත් කිරීම) බලවත් ලෙස සටන් කරන පිළිවෙතක් අනුගමනය කළෙමි. අපි අපේ ජීවිත කාලය තුළ අපගේ ජීවිත යහපත් කරන්නවාට අතිරේකව සමාජ යහපත පිණිස අපට කළ හැකි උපරිම දේ කළ යුතුයි කියන  හැඟීම 71 අප්‍රෙල් කැරැල්ලට හිරේ සිටි කාලයේ සිටම මගේ අභ්‍යන්තර වෙළාගෙන තිබුණ බලවත් ආවේගයක් විය. පොදු යහපත පිණිස තනි පුද්ගලයෙකුට කළ හැකි උපරිම කාර්‍යබාරයක් මා කර තිබෙන්නේය කියා මම  විස්වාස කරමි. පොදු යහපත පිණිස මා සමහර දේවල් කර තිබෙන්නේ ලොකු අවදානමක්ද බාරගනිමිනි. ජීවිත තර්ජනවලට මුහුණ දෙමිනි. ඒ සඳහා ගනු ලැබූ බොහොමයක් තීන්දු මා විසින් තනිව හෝ මගේ නීතිඥයා සමග කතාකොට ගනු ලැබු තීන්දු විය. දේශපාලන පක්ෂයක් හෝ ආයතන ක්‍රමයක් නොවී අධිෂ්ඨානශීලිව හා විචක්ෂණ ලෙස ක්‍රියාකිරීමෙන් තනි පුද්ගලයෙකුට වුවත් රටේ යහපතට බොහෝ දේවල් කළ හැකි බව මම සනාථකර ඇත්තෙමි.  

ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමට හේතුවී තිබුණ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියට අභියෝග කළෙමි. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ පාර්ලිමේන්තුව නඩු අසා දඩුවම් කිරීමේ පිළිවෙත අතහැර එවැනි නඩු ශේෂ්ඨාධිකරණයට යවන ක්‍රමයක් ඇතිවූයේ එම නීතියට මගෙන් එල්ලවූ අභියෝගයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉන් පසු මම සාපරාධි අපහාස නීතියට ද අභියෝග කළෙමි. එයද ජනමාධ්‍යවේදින් පීඩාවට පත් කිරීමට හා බිය ගැන්වීමට බලපා  තිබූ නීතියකි. අවශ්‍ය ප්‍රතිඵලය ලැබීමට එම නීතියට එරෙහිව අවුරුදු 10 ක් තරම් දීර්ග කාලයක් නෛතික අරගලයක නිරත වීමට මට සිදු විය. මා සාපාරාධී අපහාස නීතියේ භාවිතයට එරෙහිව පවරන ලද නඩුව නිෂ්ප්‍රභා කරමින් ශේෂ්ඨාධිකරනය දෙන ලද තීන්දුව අභියෝගයට ලක්කරමින් ICCPR ප්‍රඥප්තිය යටතේ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත එම නඩුව රැගෙන ගියෙමි. එය එම ප්‍රඥප්තිය යටතේ ලංකාවෙන් එම ජාත්‍යන්තර කමිටුව වෙත ඉදිරිපත්වූ වූ පළමු විධිමත් පැමිණිල්ල විය. එම නඩුව විභාග කොට අවසන් වීමට අවුරුදු හතරක් තරම් කාලයක් ගත වුවද එම නඩුවෙන් ලංකා ආණ්ඩුව පරාජය කොට ජය ගැනීමට මම සමත් වීමි. සාපරාධී අපහාස නීතිය අවලංගු  කිරීමට මාගේ එම නෛතික අරගලයද බලවත් ලෙස බලපෑවේය. ලංකාවේ වත්කම් බැරකම් නීතියේ කුමක් සදහන් වී තිබුණද එම නීතිය ක්‍රියාත්මක වූයේ මහජනයාට එම නීතිය යටතේ ප්‍රකාශ කෙරෙන වත්කම් බැරකම් ප්‍රකාශවලට ළඟාවිය නොහැකි ආකාරයකටය. බලවත් උත්සහායන් ගණනාවකින් පසුව මා එම ප්‍රකාශ ලබා ගැනීමට සමත්වූ අතර ඒ මගින් මහජනයාට එම ප්‍රකාශනවලට ප්‍රවේශ වීමට වැසී තිබුණු දොරටු විවෘත කර දීමට මට හැකි විය. මාගේ කාලයේ ජනමාධ්‍යවේදින් අධිකරණයේ ඇසෙන නඩු වාර්තා කළා විනා කවර මට්ටමකින්වත් අධිකරණයේ සිදුවන වැරදි ගැන කථා නොකළේය. ඔවුන්ට අධිකරණය ගැන තිබුනේ අති විශාල බියකි. ඒ සීමාවන් ද මම තරණය කළෙමි.

දූෂිත විනිසුරුවරුන් දෙදෙනෙකුට එරෙහිවත් ,රටේ නීතිපතිට එරෙහිවත් ලොකු අරගලයක් කරන්නට මට සිදුවිය. මා චෝදනා එල්ල කළ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණ දෙකක් ලබා ගනිමින් එම පරික්ෂණ දෙකෙන් එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරුවන් බව ඔප්පු කිරීමට හැක්විය. ඉන්පසු නීතිපතිට(සරත් සිල්වාට) එරෙහිවත් ශේෂ්ඨාධිකරණයට පැමිනිලි කොට ඔහුට එරෙහිව පරීක්ෂණයක් දිනා ගැනීමට සමත් වීමි. සරත් සිල්වාගේ බෙල්ල හිරවෙමින් තිබුණ එම අවස්තාවේදී චන්ද්‍රිකා ජනාධිපතිනිය සිය මිතුරා බේරාගන්නා අතර අධිකරණය අනියම් ලෙස පාලනය කිරීමේ බලය තමන් වෙත හිමි කරගැනීම සදහා සරත් සිල්වාව අග විනිසුරු ධූරයට පත්කළේය. ඔහු අග විනිසුරු ධූරයට පත්වූ පසුවද ඔහුගේම පාලනය යටතේ පැවති ශේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔහුගේ පත් වීමට එරෙහිව නඩු පැවරුවෙමි. අග විනිසුරුවරයා උපරිම මට්ටමකින් අධිකරණය විනාශ කළේය. ඔහු විශ්‍රාම යනතෙක්ම ඔහුගේ අගතිගාමි ක්‍රියාවන්ට එරෙහිව බලවත් ලෙස පෑන හසුරුවන්නට මම සමත් වීමී. පොදු යහපත පිනිස ඊට වඩා අඩු වැදගත්කමක් ඇති තවත් බොහෝ දේ කර ඇත්තෙමි. එම ලැයිස්තුවට මා ලියන ලද පොත් හා ලිපි එකතුවද ඇතුළත් කළ හැකිය.

ප්‍රමාද නොකොට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණවලට නොගියහොත් රාජ්‍යයේ ඇතිවී තිබෙන ගරාහැලීම වර්ධනය වී රට කඩා බිද වැටෙන, අසමත්, බංකොලොත්  හා අරාජක තත්වයකට පත්වනු ඇති බව මා ප්‍රකාශකරන ලද්දේ අභ්‍යන්තර ‍යුද්ධය අවසන් කෙරුණු 2009 වසර අවසානයේදීය. ඒ ගැන මට පොත් දෙකක්ද ලිපි සියගනනක්ද ලියන්නට සිදුවිය. මාගේ එම අනතුරු ඇඟවීම නිසි ලෙස තේරුම් ගැනීමට තරම් ලංකාව බුද්ධිමත් වූයේ නැත. මගේ එම පුරෝකථනය සැබෑවීමෙන් පසු ඇතිවී තිබූ විනාශයෙන් රට ගොඩ ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ සැලැස්මක් හදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යන්නට ආසන්නයේ දී ඔහු වෙත ඉදිරි පත් කළෙමි. මා ඔහුගේ දේශපාලන අනුගාමිකයෙකු නොවීය. මා පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රසිද්දියේ පෙනී සිටියේ ඔහුට එරෙහිවය. ඔහු අධි චෝදනා ඇති පුද්ගලයෙකු වන නිසා එවැනි පුදගලයෙකු ජනාධිපති ධූරයට පත් කිරීම සුදුසු නැති බව මම කීවෙමි. එසේ තිබියදීත් මා ප්‍රතිස්ංස්කරණ යෝජනා ඔහු වෙත ගෙන ගියේ ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවෘත කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට නිසාය. දින කිහිපයකට පසු රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයටද, පසුව ජනාධිපති ධූරයරට පත් විය. අගමැති ධූරයපත්වීමෙන් පසුද ඉන්පසු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුද එම ප්‍රතිසංස්කරන වැඩ සටහන ගැන සාකච්චා සිදු විය. මා හැමදාමත් පෙනී සිටියේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මිස විප්ලවයක් වෙනුවෙන් නොවේ. ජනාධිපති ක්‍රමය ඇතුළු සමස්ත ක්‍රමයේ ගැඹුරු වෙනසක් අරමුණු කරගත් ප්‍රතිස්ංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කිරීමට ජනාධිපති සූදානම් බව තේරුම් ගත් විට මා ඇතුළු කුඩා කණ්ඩායමක් ඒ ගැන සාකච්චා කොට එම ප්‍රතිසංස්කරන වැඩ සටහන රැගෙන දේශපාලන පක්ෂ වෙත යමින් එවැනි වැඩ සටහනකට ඔවුන් එකඟ කරගැනීමේ උත්සහායක යෙදුනෙමු. ඒ සඳහා හමුවී සාකච්චා කළ පක්ෂ මෙසේය. සජබෙ, ශ්‍රීලනිප, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය, පොදු ජන පෙරමුණ, ජවිපෙ, දෙමල ප්‍රගතිශීලි සන්ධානය හා 43 සේනාංකය. බොහෝ පක්ෂ එම සාකච්චා සදහා පැය දෙක තුනක් තරම් කාලයක් ගතකළේය. කිසිවෙක් එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනට විරුද්ද වුයේ නැත. එය ආණ්ඩුව රකින කූට වැඩ සටහනක් බවට චෝදනා කළේ නැත. ජවිපෙ තම පාලන බලයක් යටතේ හැර සියලු දෙනා එකතු කරගන්නා එවැනි වැඩ සටහනට එකග නැති බව පෙනෙන්නට තිබුණි. සජබෙ මන්ත්‍රීවරුන් සැලකියයුතු පිරිසක් එවැනි වැඩ සටහනකට කැමති වුවද බලවත් සුළු පිරිසක් ඊට කැමති නැති බවද පෙනෙන්නට තිබුණි. මා හිතන්නේ විරුද්ධ පක්ෂ එම ප්‍රතිසංස්කරණ අවකාශය ප්‍රයෝජනයට ගනිමින් සියලු දෙනාගේ විස්වාසයට හා පිළිගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදාගනිමින් එය ක්‍රියාත්මක් කළ යුතුව තිබුණි. එසේ කළේ නම් රටට අත්පත් කරගන්නට හැකි වන ප්‍රගතිය දැන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතියට වඩා බොහෝ විශාල වන්නට ඉඩ තිබුණි. එසේම නැවත බිද වැටීමක් ඇතිවීමට තිබෙන අවදානම අවම කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයද ශක්තිමත් කරගැනීමට හා පුළුල් කර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. ඇතිවූ අරගලයට ආවේණික දුර්වලම ලක්ෂණය වූයේ බලවත් ලෙස නැඟීසිටීමට අවශ්‍ය කරන ධෛර්‍යය පෙන්නුම් කිරීමට සමත් වුවද, අවශ්‍ය වෙනස්කම් දිනා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව පෙන්නුම් කිරීමට අසමත් වීමය. අවශ්‍ය වෙනස්කම් දිනාගැනීම එක්කෝ විප්ලවයක් මගින් සිදුකළ යුතුය. නැති නම් ප්‍රතිසංස්කරන වැඩ සටහනක් මගින් සිදු කළ යුතුය. විප්ලවය නූතන ලෝකයට වලංගු දෙයක් වන්නේ නැත. බලයේ සිටින ආණ්ඩුව ප්‍රතිසංස්කරන වැඩ සටහනකට කැමති නම් ආණ්ඩු පෙරලියක් නැතිවත් ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරන වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකිය.

දකුණු අප්‍රිකාව ඒ සඳහා දිය හැකි හොඳම නිදර්ශන ලෙස සැලකිය හැකිය. මැන්ඩලාට මුහුණ දෙන්නට සිදුවූයේ මේ රටේ දේශපාලකයින්ටත් වඩා දුෂ්ට හා කුරිරු වර්ණබේදවාදි පාලනයක් පවත්වාගෙන ගිය බලවත් රටවල් පනවන ලද සම්බාධක නිසා හිරවුණු තත්වයකට පත්ව සිටි සුදු පාලක පක්ෂයක් සමගය. මැන්ඩලා ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සඳහා සම්මුතියක් ඇති කරගත්තේ එවැනි පාලක පක්ෂයක් සමගය. එය අදියර දෙකක් යටතේ සිදුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකි. පළමු අදියරයේදී සිදුවූයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒ සඳහා පොදු එකඟතාවයක් ඇති කර ගැනීමය. එකඟත්වය ඇති කරගත් ආණ්ඩු ක්‍රමයේ ආරම්භක මැතිවරණය පැවැත්වීම සඳහා නීති ඇති කරගැනීමද ඊට ඇතුළත් වැදගත් අංගයක් විය. ප්‍රතිසංස්කරන වැඩසටහනේ දෙවැනි අධියරය ආරම්භ වන්නේ මැතිවරණයක් පවත්වා කවර පක්ෂයක් බලයට පත්වුවද සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගනිමින් මහජනයා මත බරතබා හදන නව විවස්තාවකින් අවසන් වන අකාරයට පොදු එකඟතාවක් ඇතිකරගත් සියලු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක් කිරීමට ගිවිස ගත් විවස්තාපිත එකඟතාවයකිනි. සමස්ත ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඒ සඳහාම ඇති කරගන්නා අතුරු විවස්තාවට අනුකූලවය. ඒ ක්‍රමය තුළ මොන පක්ෂයක් බලයට පත් වුවද එම ප්‍රතිසංස්කරන ක්‍රියත්මක කිරීමට විවස්ථාපිතව බැඳී සිටී. මා ලංකා ආණ්ඩුවට යෝජනා කළේද ඒ සමාන ප්‍රතිසංස්කරන වැඩ සටහනකි. ලංකාව ප්‍රතිසංස්කරණ ගැන නොදන්නා හෝ අඩු දැනුමක් තිබෙන රටකි. ප්‍රතිස්ංස්කරණ සඳහා ආණ්ඩු වෙනසක් නැතුවම බැරි දෙයක් ලෙස  හිතන්නේ ඒ නොදැනුම නිසාය. ඊලඟ ආණ්ඩුවක් පිළිබද අදහස පැහැදිලි නැති අදහසකි. කාටවත් පැහැදිලි බලයක් නැති තත්වයක් ඇති විය හැකි, එක පක්ෂයකට වැඩි බලයක් ලැබන අවස්ථාවකදී පවා ඒ පක්ෂයට මෙම අර්බුදය ජයගැනීම සඳහා වන යතාර්ථවාදි ප්‍රතිසංස්කරන අදහසක් නැති වුවහොත් රට නැවත වඩා විශාල අර්බුදයකට තල්ලු වී යා හැකිය. මෙම සංකීර්ණ ප්‍රශ්නය ගැන දේශපාලන පක්ෂද මහජනයාද දැනුවත් කරන වැඩ සටහන් අවශ්‍ය වී තිබෙන්නේ ඒ ආශ්‍රයෙන් පවතින ව්‍යාකූලත්වය ජයගැනීම අවශ්‍ය නිසාය. එම සංකීර්ණ ප්‍රශ්නය ගැන සමාජය දැනුවත් කිරීමේ අරමුණින් මා අන්තර්ජාලයට මේ මෑතකදී මුදාහල විඩියෝවකට ජවිපෙ සිය අනුගාමිකයින් යොදාගෙන සදාරණ විවේච්නයක් කරනවා වෙනුවට නින්දා හා අපහාස කිරීම්වල යෙදී තිබුණි. මේ ලිපිය ලියන්න පෙළඹුනේ ඒ නිසාය. මෙය ජවිපෙ තුළ හැමදාමත් දක්නට තිබුණ අසීලාචාර ලක්ෂණයකි. නිදහසේ හිතට එකඟව  කෙරෙන වාද විවාද සමාජයේ විචාර බුද්ධිය පෝෂණයකරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. සංවාද කරන්නන් භීතියට හා නින්දාවට ලක් කරන පසුබිමක් ඇතිවිට සංවාද සිදුවීම  වැලකී සමාජය සංවාද රහිත ගොළු සමාජයක් බවට පත්වේ.

මා මීට වසර දෙක තුනකට පමණ ඉහතදී කෘෂි විද්‍යාඥයින් කිහිප දෙනෙකු සමග කරන ලද කථාබහකදී රසායන පොහොර නැතුවම වුවත් ගොවිතැන් කොට හොඳ අස්වැන්නක් ලැබිය හැකියි කියන මෝඩ හා විනාශකාරි මතවාදයට එරෙහිව අදහස් පලකිරීමකින් වැලකී එම විනාශකාරි මතවාදය සමාජ ගතවන්නට ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිද කියා ඔවුන් ගෙන් විමසූ අවස්තාවකදී ඔවුන් ගෙන් මට අසන්නට ලැබුන පිළිතුරෙන් මා පුදුමයට පත් වීමි. රසායන පොහොර  හා පළිබෝධ නාශකවලට ලැබිය යුතු වැදගත්කම ගැන කතාකරන්නට ගිය හොත්  එවැනි අය පොහොර හා පළිබෝධ නාශක සමාගම්වලින් යැපෙන පිරිසක් ලෙස හංවඩු ගසා නින්දාවට ලක්කරන නිසා එවැනි තත්වයකයකට පත් වීමෙන් වැලකී සිටීම සඳහා  නිශ්ශබ්දව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිදුවී තිබෙන බව ඔවුන් කීවේය. අවසානයේ එම තත්වය රටට ඇති කළ විනාශය සුළු පටු නැත. දොස්තර සාෆි ප්‍රස්නයේදීද, 56  දී ක්‍රියාත්මක වූ සිංහල පමණක් ප්‍රතිපත්තියේදී ද, පුද්ගලීක වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය වැනි ප්‍රශ්නවලදී ද ක්‍රියාත්මක වූයේ අදහස් පලකරන්නන් නින්දාවට ලක් කොට ඔවුන් නිහඬ කරන දුෂ්ට පිළිවෙතකි.

(සටහන ලේඛකයාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද අතර සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *