බුද්ධාගම හා සමසමාජ ව්‍යාපාරය

බුද්ධාගම හා සමසමාජ ව්‍යාපාරය

නන්දන වීරරත්න

ලංකාවට බුද්ධාගම ආවට පස්සේ වෙනස් අලුත් මතවාදයක් ගෙනාවේ සමසමාජ ව්‍යාපාරය. බුද්ධාගමට අයිතිකාරයෝ හිටියට සමසමාජයට අයිතිකාරයෙක් නෑ. අපිත්  මුළු දේශපාලන ජීවිතය පුරාම බුද්ධාගමේ හැසීරිමට  වගේම “පාවාදීම” ගැන සමසමාජ ව්‍යාපාරයත් විවේචනය කළා. අවාසනාවට වැඩි දෙනෙක් උතුරු ඉංදියාවෙන් ආපු බුද්ධාගමේ ඉතිහාසය සෙව්වට බටහිරින් ගෙනා සමසමාජ ව්‍යාපාරයේ ඉතිහාසය හොයන්නේ නෑ. එයින් කෙරුණු දැවැන්ත සමාජ බලපෑම ගැන දන්නේ නෑ.

අපි මේ ලියන්නේ අද දවසේ දේශපාලනය ගැන සංස්කෘතිය ගැන  උනන්දුවක් දක්වන පිරිස්වලට අදහසක් ඇති කරන්නයි. ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂයත් 1935 හදපු සමසමාජ පක්ෂය. ලංකාවේ සියලුම වාම පක්ෂවල මව සමසමාජ ව්‍යාපාරය. බුද්ධාගමට වගේ පූජක පැලන්තියක් නොසිටි නිසා ඒ වෙනුවෙන් පංසල් බෝ ගස් පිංපෙට්ටි නෑ. සමසමාජය මතවාදයක් හැටියට ලංකාවේ හැමතැනම තියෙනව. ඉංදියාවේදි වගේ ලංකාවේ එලි පිට කුලය ගැන කතා කරන්න බැරි සමසමාජ ව්‍යාපාරයේ බලපෑම නිසා. තමන්ගේ ධනවත්කම ගැන පුරාජේරු කියන්න, එහි කෙරුන්කාරකම එලියේ කියන්න බැ. දේශපාලන තක්කඩියන්ට හිනාවෙන්න ඉගැන්නුවේ සමසමාජය.

සමසමාජ නායකයන් ජීවතුන් අතර සිටිද්දී කරපු හඬ සාකච්ඡා ඕස්ට්‍රේලියානු සරසවියක තියෙනව. මහාචාර්ය මයිකල් රොබට්ස් ඒක කලේ. ලෙස්ලි ගුණවර්ධන ලියූ ‘සමසමාජ පක්ෂයේ ඉතිහාසය’ කුඩා පොත හැර වෙන කිසිම මුද්රිත නිල ඉතිහාස පොතක් සමසමාජය නෑ. මේ ඉතිහාසය ලියන්න ඕන විශ්වවිද්‍යලයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි, මැලේ, මලයාලම්, බර්ගර් මේ සියලුදෙනාම සමසමාජය නියෝජනය කළා. අපි හිතන්නේ ලංකා ඉතිහාසයේ ලස්සනම දේශපාලන වචනය හා සංස්කෘතික වචනයත් “ සමසමාජය” කියලයි.

අපේ ආසන්නම නගරය අම්බලංගොඩ. එහි වෙසක් පෝයට තොරන් 7 -8 ගැහුවත් එය එකල සමසමාජ කඳවුරක්. අපිට දේශපාලනය ගෙනාවෙ සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරය. අපිට හමුවුණේ පිරිහුණු සමසමාජය වුණත් එහි පුදුමාකාර ප්‍රජාත්න්ත්‍රවාදයක් තිබුණ. අපි සමසමාජ රැස්වීම් ඇතුලේ නායකයන්ට බැන්න. ඔවුන් ඉවසීමෙන් අහගෙන හිටිය. තරුණ හඬට කන් දුන්න. මේ ටික ලීවේ උනන්දුව තියෙන උදවියට සෙවීමට ඇරයුම් කරන්නයි. සමස්මාජයකින් තොරව රටකට පැවත්මක් නෑ, අපේ තේරුම් ගැනීම එහෙමයි

(2023/06/12)

(පින්තූරය – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *