පාපයන්ගෙන් පිරි ආගමික ලෝකයක සමලිංගිකත්වය ?

පාපයන්ගෙන් පිරි ආගමික ලෝකයක සමලිංගිකත්වය ?

ගගන වර්ණකුලසූරිය

” I respect culture, tradition and religion, but they can never justify the denial of basic rights”

” මම සංස්කෘතිකයට, සම්ප්‍රදායට සහ ආගමට ගරුකරමි. නමුත් ඔවුන්ට කිසිදා මූලික අයිතීන් ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කළ නො හැකියි.” – UN Secretary – General, Ban Ki-moon. (2007-16)-

සමාජය යම් දෙයක් බාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව “ආගම” කියන්නේ විශාල බලපෑමක් සහ මැදිහත්වීමක් කල හැකි ආයතනයක්. පව්-පිං හෝ වේවා, නිරය-ස්වර්ගය හෝ වේවා, දෙවියන්ගේ කැමැත්ත-කෝපය හෝ වේවා මොනයම් හෝ සංකල්ප හරහා ආගම, සමාජයේ බොහෝ තෝරාගැනීම්වලට සෘජුව හෝ වක්‍රව බලපාන ප්‍රධාන සාධකයක්. සමලිංගිකත්වය සම්බන්ධවත් මේ කාරණාව එසේ ම යි. සමකාමිත්වය හරි ද, වැරදි ද, ප්‍රතික්ෂේප කළ යුතුද, බාරගත යුතු ද, නීතිගත කළ යුතු ද, තහනම් කළ යුතු ද, ආදී නොයෙක් ආකාරයේ වාද විවාද සංවාද ඇතිවන පසුබිමකත් “ආගම” කියන ආයතනයේ මැදිහත් වීම සුළු කොට තකන්න බැහැ.

මෙකී සමාජ බලපෑම ආගම පමණක් නොවෙයි,  විද්‍යාවද ඉතා දැඩි ලෙස සිදුකරන්නක්.

“අතීතයේ පල්ලිය සේ චින්තකයන් විනාශ කරන්නට හෝ කොන් කරන්නට බලය ඇත්තේ විද්‍යාවට ය. වර්තමානයේ පිළිගැනෙන විද්‍යාත්මක විශ්වාසයෙන් ඕනෑවට වඩා ඈතට යන අය වාරණය කරමින් සිතට සුව දෙන එක් සම්මත ලෝක දැක්මක් පිළිබඳ මායාව රකින්නේ විද්‍යාව ය.”     (John Gray | Straw Dogs / පරිවර්තනය : ලියනගේ අමරකීර්ති)

මුල් කාලීනව විද්‍යාත්මක පසුබිමක් යටතේ සමලිංගිකත්වය යනු මනෝ ව්‍යාධියක් ලෙස හඳුනාගන්නා ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය, 1952 දී එය “මානසික රෝග වර්ගීකරණ කාර්ය සංග්‍රහය”ට ( The Diagnostic and Statistical Manual of Mental Disorders – DSM) ඇතුළත් කරනවා. ඒ හේතුවෙන් එවක සමරිසි ප්‍රජාව බොහෝ සෙයින් පීඩාවට පත් වුණා. නමුත් එකී විද්‍යාත්මක නිගමනයන් දෝෂ සහගත බව ඔවුන්ට වැටහෙන්නේ බොහෝ කලකට පසුවයි. පසුකාලීන පර්යේෂණවලින් සනාථ වූ කාරණා අනුව 1973 දී ඔවුන් එය මානසික ව්‍යාධියක් නොවන බව පිළිගත්තත්, එය DSM වාර්තාවෙන් ඉවත් වන්නේ 1987 දී. අනතුරුවයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමකාමීත්වය, අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණ ( International Statistical Classification of Disorders – ICD) ලේඛණයෙන් ඉවත් කරන්නේ. ඒ 1992 දී. ඒ අනුව යමින් ලෝකයේ සැළකිය යුතු ප්‍රමාණයක් රටවල් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය සහ සමරිසි විවාහ නීතිගත කිරීමට පියවර ගෙන තිබුණ ද, BBCයට අනුව 2023 වනවිටත් ලෝකයේ රටවල් 64ක් තුල ( ශ්‍රී ලංකාවද ඇතුළුව) එය බොහෝවිට නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකන්නක්.

පසුකාලීනව, සමරිසි ප්‍රජාව පිළිකුල් කිරීම සහ හිංසා කිරීමට පෙළඹෙන මානසික ව්‍යාධි තත්ත්වයක් ලෙස “සමරිසි-භීතිකාව” හෙවත් “හෝමෝෆෝබියා” (Homophobia) තත්ත්වය හඳුනා ගැණුනු අතර එය විශාදය වැනි අවදානම් මානසික තත්ත්ව සඳහා ද බලපෑමක් ඇති කළ හැකි බව පිළිගැනෙනවා.

එමෙන් ම සමරිසිභාවයෙන් මුදවා ගැනීමේ අරමුණින් සිදුකරනු ලබන මානසික ප්‍රතිකාර ක්‍රම (Conversion Therapy) මගින් සමරිසි හා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ සෞඛ්‍යයට අතිශය හානිදායක ප්‍රතිඵල අත්කරදෙන බැවින් එවැනි අසාධාරණ බලහත්කාරකම් සිදුකිරීම බොහෝ රටවල්වල නීතියෙන් වාරණය කර ඇති ක්‍රියාවක්.

නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන අයුරින් හෝ සමාජය තුල තවම පවතින සමලිංගික විරෝධය නැතහොත් හෝමෝෆෝබියා තත්ත්වය කෙරෙහිත්, සමරිසි පුද්ගලයන් කායික සහ මානසික හිංසනයට ලක් කිරීම කෙරෙහිත් බොහෝ ශුද්ධ වූ ආගමික ලියවිලි රුකුල් දෙන ආකාරය ඛේදනීය කරුණක්. 

මෙකී බොහෝ ආගමික ලියවිලිවල පවතින කාරණා විවිධ ආකාරයේ විග්‍රහ මගින් සාධාරණීකරණය කරනු ඕනෑ තරම් දැකගත හැකි වුවත්, මෙහි දී එකී ලියවීම්වල සෘජු වචනාර්ථය පමණක් සළකා බලන බව කිව යුතු යි. ඒ, එවායේ සැඟවුණු අර්ථය හෝ සැබෑ අර්ථය මෙය යැ යි අපට නිසැකව තහවුරු කොට පැවසිය නොහැකි නිසා මෙන් ම කෙතරම් ප්‍රගතිශීලී යටි අරුත් පැවතියත් සෘජු හැඟවුම්කරණය මගින් බහුතර ආගමික සමාජය කෙරෙහි ඒවා ඇතිකරන බලපෑම සහ නැඹුරුව නොසළකා හැරිය නො හැකි නිසා යි. අපට නිසැක කොට දැක්විය හැකි එක ම දෙය නම් එකී ලියවිලිවල සඳහන් සෘජු ප්‍රකාශයන් ය.

“අධම‍්මරාගො විසමලොභො මිච‍්ඡාධම‍්මො. තීසු ධම‍්මෙසු වෙපුල‍්ලං ගතෙසු තෙසං සත‍්තානං ආයු පි පරිහායි, වණ‍්ණො පි පරිහායි.”

“මහණෙනි, අවුරුදු පන්සියක් ආයු ඇති මිනිසුන් අතුරෙහි අධර්ම රාගය ද විෂම ලෝභය ද මිථ්‍යාධර්මය ද යන තුන් අකුසල ධර්මයෝ වැඩීමට ගියහ. ඒ තුන් අකුශල ධර්මයන් වැඩීමට ගිය කල්හි, ඒ සත්වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ.”    [චක්කවත්තිසීහනාද සූත්‍රය, පාථික වග්ගය, දීඝ නිකාය, සූත්‍ර පිටකය]

බුදුන් වහන්සේ විසින් චක්කවත්තිසීහනාද සූත්‍රයේ මිනිස් වර්ගයාගේ ආයුෂ පිරිහීමට හේතුකාරක ගණනාවක් දක්වා තිබෙනවා . ඒ අතුරින් තුනක් වන්නේ අධර්ම රාගය, විෂම ලෝභය සහ මිත්‍යා ධර්මය යි. අටුවා ග්‍රන්ථවල දැක්වෙන ආකාරයට, මව, මවගේ සොහොයුරිය, පියාගේ සොහොයුරිය වැනි නො යුතු තැන්වල බැඳෙන රාගය අධර්ම රාගය යි; පරිභෝග කටයුතු පිළිබඳ අධික ලෝභය, විසම ලෝභයයි. එහි තව දුරටත් සඳහන් වන්නේ මිත්‍යා ධර්මය යනු සමලිංගිකත්වය බවයි. ව්‍යාභිචාරය වැනි අතිශය අශිෂ්ට ලිංගික ක්‍රියා හා සමතැනක සමලිංගිකත්වය තබා ඇති අකාරය මෙහිදී දැකගත හැකි කරුණක්.

“මිච‍්ඡාධම‍්මොති පුරිසානං පුරිසෙසු ඉත්‍ථීනඤ‍්ච ඉත්‍ථීසු ඡන්‍දරාගො.මිච්ඡා ධමො – පුරුෂයන්ගේ පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන්ගේ ස්ත්‍රීන් කෙරෙහිත් (සමලිඟු රාගය) ඡන්දරාගය.” [ චක්කවත්තිසුත්ත වණ්ණනා, සුත්ත අට්ඨකතා ]

මෙහි ඉතා පැහැදිලිව “අකුසල ධර්මයෝ” යන යෙදුම භාවිතා කර ඇති බව පෙනෙන කරුණක්. ඒ අනුව මෙකී ඉගැන්වීම් තුල සමකාමීත්වය අකුසලයක් ලෙස පිළිගත් බව පැහැදිලියි. එහි විපාක ලෙස සමස්ත මානවයාගේ ම ආයු අඩුවීම, වර්ණය පිරිහීම ආදිය දැක්වීම එම කාරණාව තහවුරු කරන්නක්. විවිධ ධර්ම කථිකයන් විසින් ඇතැම් තැනක සමලිංගිකත්වය අපායගාමී පාපයක් සහ දෙවියන්ගේ පිළිකුළට හේතුවන කරුණක් ලෙස විග්‍රහ කරනවා. තවත් තැනක සමලිංගිකත්වය සහ බුදුදහම අතර ගැටුමක් නොමැති බව සඳහන් ධර්ම විග්‍රහයන්ද පසුකාලීනව සිදුකෙරුණත්, තහවුරු කළ හැකි ලිඛිත සාක්ෂියක් ලෙස චක්කවත්තිසීහනාද සූත්‍රය උපුටා දක්වමින් ත්‍රිපිටකය තුල සමකාමීත්වය ප්‍රතික්ෂේපිත අනන්‍යතාවයක් බව පැවසිය හැකියි.

මහා කාශ්‍යප තෙරුන්ගේ ශරීර රූපයට ලොබ බැඳි සොරෙයිය නම් සිටුවරයෙක් ඒ පාපයට බලාගෙන සිටියදීම ස්ත්‍රියක් බවට පත්වන පුවතක් ද බෞද්ධ ග්‍රන්ථවල සඳහන්.

බයිබලය විමසා බැලීමේ දී,

“…Neither the sexually immoral nor idolaters nor adulterers nor men who have sex with men nor thieves nor the greedy nor drunkards nor slanderers nor swindlers will inherit the kingdom of God.”   [1 Corinthions 6:9-10]

“…වේශ්‍යාකම්කරන්නෝවත්, රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත්, ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත්, පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත්, ලෝභයෝවත් බේබද්දෝවත්, නින්දා කරන්නෝවත්, කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.”  [1 කොරින්ති 6:9-10]

“ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත්, පිරිමින් සමග අනාචාරකරන්නෝවත්” යනාදියෙන් කියවෙන්නෙ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ සමකාමීන් පිළිබඳවැයි අනුමාන කළ හැකියි. එනම් එයින් කියවෙන්නේ ඒවා දෙවියන් ප්‍රතික්ෂේප කරන හෝ දෙවියන්ට පටහැනි ක්‍රියා බවයි. බයිබලය එතැනින් නොනැවතී සමරිසිභාවය පාපයක් බවත්, ඔවුන් මරණයට සුදුස්සෝ බවත් සඳහන් කරනවා.

“If a man lies with a male as with a woman, both of them have committed an abomination; they shall surely be put to death; their blood is upon them.”  [Leviticus 20:13]

“මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනය කරන්නාක් මෙන් පිරිමියෙකු සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.” [ලෙවී කතාව 20:13]

ලිංගික අනන්‍යතාවයන් සහ ලිංගික චර්යාවන් මිනිසාට හඳුන්වා දී ඇත්තේ දෙවියන් වහන්සේ බවත්, ඒ සම්බන්ධ දෙවියන්ගේ මගපෙන්වීම වූයේ ස්ත්‍රියක සහ පුරුෂයෙකු අතර සිදුවන ලිංගික හැසිරීම බවත් ඔවුන්ගේ මතයයි. ඒ අනුව ස්වභාවික ලිංගික චර්යාව වන්නේ විෂමලිංගිකත්වය යි. සමලිංගිකත්වය අස්වාභාවික සහ මැවුම්කාර දෙවියන්ගේ බසට පටහැනි නිසා දෙවියන්ට කරන අපහාසයක් ලෙසයි ඇතමෙක් විග්‍රහ කරන්නේ.

ලෝක ඉතිහාසයේ පුද්ගලයන් සමකාමී වීම හේතුකොට ගෙන පල්ලියේ මැදිහත් වීම සහිතව සිදුකළ සිරගත කිරීම්, වධ හිංසා සහ මරණයට පැමිණවීම් කොතෙකුත් වාර්තා වුණා. 13 වන සිකුරාදා අසුබ දිනයක් ය යන ප්‍රවාදයට හේතු වූ ටෙම්ප්ලර් නයිට්වරුන්ට වධ හිංසා පමුණුවා ගිනි තබා සමූල ඝාතනය කිරීමේ දී ද, පාප් වහන්සේ විසින් ඔවුන්ට විරුද්ධව නැගූ ප්‍රධාන චෝදනාවක් වූයේ සමකාමීත්වය යි.

“…තවද ලූත් ව ද (අපි රසුල්වරයෙකු වශයෙන් එව්වෙමු.) නුඹලාට පෙර ලෝ වැසියන් කිසිවෙකු නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහු ද ? සැබැවින් ම නුඹලා ස්ත්‍රීන් අතහැර දමා කාමයෙන් පිරිමින් වෙත යන්නාහු ද ? නුඹලා සීමාව ඉක්මවා යන පිරිසකි.”

[කුර්ආන් 7:80-81]

“…නබි තුමාණන්ගේ ජනයා තුල අල්ලාහ් අප්‍රිය කරන භයානක පාපයක් විය. එනම් ඔවුහු සමලිංගික සේවනයේ යෙදුණෝය.” [පිටු :747]

“…එම ප්‍රදේශයේ ජනතාව සමලිංගික සේවනය සඳහා ප්‍රකට ය. ඔවුන් නබි ලූත් තුමාණන්ගේ උපදෙසට පිටුපා අනවධානීන්ව සිටියෝ ය. එබැවින් අල්ලාහ් ඔවුන්ට දඬුවම් කර ඔවුන්ගේ සියලු ගම්මානයන් කනපිට පෙරලා විනාශ කළේ ය. වර්තමානයේ එම ගම්මානයන්හි කිසිඳු සළකුණක් හෝ දක්නට නැත. බොහෝ දුරට ඔවුන් ජෝර්දානයේ ඇති මුහුදෙහි ගිල්වනු ලැබ ඇතැ’යි ඉතිහාසයෙහි වාර්තා වේ. එයට ‘ලුත් මුහුද’ යැයි ද,’මළ මුහුද’ යැයි ද නම් කරනු ලැබ ඇත. වැඩි විස්තර සඳහා කුර්ආන් 11:69-82, 15:59-61, 27:56, 29:26, 22:43, 38:13, 50:13, 54:33, 66:10 බලන්න.”

[පිටු : 324] [කුර්ආන් අර්ථ සංග්‍රහය, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව]

උක්ත උපුටනය ප්‍රකාරව, කුර්ආනය තුල ද සමලිංගිකත්වය දෙවියන් පවා දැඩිව පිළිකුල් කරන, බරපතල,”භයානක” පාපයක් ලෙසයි අර්ථකථනය වන්නේ. කුර්ආනයේ සමරිසි පුද්ගලයන් ඝාතනය කළ යුතු බව සෘජුව සඳහන් නොවෙතත්, ඉස්ලාමීය රාජ්‍යයන් තුල ක්‍රියාත්මක වන ශරියා නීතියට (Sharia Law) අනුව සමකාමීත්වය යනු බරපතල අපරාධයක්.

“Saudi Arabia criminalises same-sex sexual activity between men and between women. The gender expression of trans people is also criminalised. Sentences include a maximum penalty of death. There is evidence of the law being enforced in recent years, and LGBT people are regularly subjected to discrimination and violence.” [Human Dignity Trust Web site, United Kingdom]

ඒ අනුව සමකාමීත්වයේ හැසිරෙන්නන් උපරිම වශයෙන් මරණ දණ්ඩනයට යටත් වන අතර, නැතිනම් ප්‍රසිද්ධියේ කසපහර, දඩ, පහරදීම, පිටුවහල් කිරීම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කල හැකියි. ඒ අනුව සමලිංගිකත්වය කෙරෙහි දරුණුතම ප්‍රතිචාරය දක්වන්නේ ඉස්ලාම් ෂරියා නීතිය යි.

ඉහත සියලු ආගම්වල පාහේ සමලිංගිකත්වය “ස්වභාවික නොවන” ලිංගික චර්යාවක් ලෙස බැහැර කිරීමට උත්සාහ දරන බව බැලූ බැල්මට පෙනෙන පොදු කරුණක්. නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ හින්දු දහම, මේ සම්බන්ධව වඩාත් දියුණු තලයක සිටින බවයි. හින්දු ඉගැන්වීම් සහිත වේද ග්‍රන්ථවල කිසිඳු තැනක සමලිංගිකත්වය සම්බන්ධ ස්ථාවරයක් විශේෂයෙන් සඳහන් කර නැතත්, සෘග් වේදයේ “සියලු ස්වාභාවික නොවන දෑ සැබැවින්ම ස්වභාවික බව” සඳහන් කර තිබීම තුළ ඇතැමුන් මේ සම්බන්ධ වඩා දියුණු මතයක් ගොඩනැගන අයුරු දැකගත හැකියි.

“What seems un-natural is also natural” [Rig Veda]

එපමණක් නොව, ධර්ම ශාස්ත්‍රම් ග්‍රන්ථවලත් පුරාණ හින්දු පුරාවෘතවලත් සුළුතර ලිංගික අනන්‍යතාවයන් අතිශය සුලබයි. හින්දු ඉගැන්වීම් තුල කිසිඳු තැනක සමලිංගිකත්වය හෙලා නොදකිනවා සේම උත්කර්ෂයට නැංවීමක් ද සිදුවන්නේ නැහැ. එය හුදෙක් සාමාන්‍ය දෙයක් ලෙස සලකන බවකුයි ඉන් ගම්‍යවන්නේ.

“A twice born man who has sex with a man or has sex with a women in an ox cart, in water or during the day time, shall bathe, dressed in his clothes.” [Manu Smriti 11:174]

ඉහත වන්නේ වසර 2000කට පමණ පෙර ලියවුණු ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන “මනු ස්මෘති”හි දැක්වෙන කොටසක්. එහි සමලිංගික සහ විෂමලිංගික චර්යාවන් එක තැන, එක ලෙස දක්වා තිබීම සහ කිසිවක් විශේෂත්වයකින් යුතුව සඳහන් නොකර තිබීම විශේෂයි. ඒ අනුව එකී චර්යා ද්විත්වයම අතිශය ස්වභාවික සහ අතිශය සාමාන්‍ය කොට සැලකීමක් සිදුවී තිබෙනවා.

ඒවගේම වර්තමානයේ පවතින පටු “ස්ත්‍රී පුරුෂ සමාජභාව ඒකාකෘතිකරණය”ට (Gender Stereotyping) එහා ගිය තරමක දියුණු තත්ත්වයක් හින්දු ඉගැන්වීම් තුළ නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුවයි “නපුංසක” යන සංස්කෘත වචනය හින්දු ඉගැන්වීම් තුළ හමුවන්නේ. අප සමාජය තුල මේ වචනය අපහාසාත්මක යෙදුමක් ලෙස ප්‍රචලිත වුවත් හින්දුන් එය යොදා ගත්තේ ගැහැණු-පිරිමි වැනි ලිංගභේදය හඳුන්වන සාමාන්‍ය වචනයක් විදිහට. පුරාණ සෘෂිවරුන්ට අනුව ප්‍රධාන ලිංගික අනන්‍යතාවයන් 3ක් පවතිනවා. ඒ,

  1. ගැහැනු
  2. පිරිමි
  3. නපුංසක ලෙස.

එහිදී නපුංසක යන යෙදුම “සාම්ප්‍රදායික නොවන” සියලුම ලිංගික අනන්‍යතාවයන් සහ ලිංගික දිශානතීන් හැඳින්වීමට යොදාගෙන තිබෙනවා.

“When male seed predominates, a boy is born. When female seed predominates, a girl is born. When neither predominates, a non-male is born, or boy and girl twins are born.”  [Manu Smriti 3:49]

ඇතැම් ස්ථානවල ශිව දෙවියන් “අර්ධනාරීශ්වර” ලෙස හඳුන්වා ඇති අතර ශිව රූපවල එක් අර්ධයක් ශිව දෙවියන්ගේද, අනෙක් අර්ධය පාර්වතීගේ ද රුවින් යුක්ත වෙනවා. එසේම මහාභාරතයේ විශිෂ්ට රණශූරයෙකු වූ අර්ජුන් මාස 12ක් විරාටා හි සංක්‍රාන්තිලිංගික නර්තන ගුරුවරියක වශයෙන් සැඟව පුවතක් ද ඉතිහාසයේ සඳහන්.

මහා භාරත යුද්ධ සමයේ දී, විශ්ණුගේ අවතාරයක් වන ක්‍රිෂ්ණා, ආරවන් නම් පුරුෂයෙකු හා විවාහ වීමට මෝහිනී නම් ස්ත්‍රියක් බවට පත්වන පුවතක් හින්දු ඉතිහාසයේ පවතින අතර ම ඉන්දියානු සංක්‍රාන්තිලිංගික ප්‍රජාව ආරවන් දෙවියෙකු ලෙස ඇදහීමද සිදුකරනවා.

කෙසේවෙතත් සමාජ තලයේද සමරිසිභාවය සම්බන්ධව මෙවැනි විවිධ මතිමතාන්තර නිර්මාණයන් වෙමින් හා ගැටෙමින් පවතිනවා. එයින් වඩා මානුෂීය නොවන මතවාද කෙරෙහි බොහෝවිට ශක්තිමත් අඩිතාලමක් සකස් කර දෙන්නේ “ආගමික ස්ථාවරයන්” බව නො රහසක්. නමුත් සමලිංගිකත්වය පිළිබඳ බොහෝ දැඩි ප්‍රතිරෝධයන් දරන ආගමික ආයතන පවා වර්තමානය වන විට, ස්වකීය ශුද්ධ ලියවිලිවල වූ කාරණාවන් පසෙක තබා, ප්‍රේමය වැනි දියුණු සහ මානුෂීය ආකල්ප මත පිහිටා, ඉහත කී පීඩිත සමාජ කණ්ඩායම් දෙස බලන ආකාරය දැකගත හැකියි. වැදගත් ම කාරණය, සමලිංගිකත්වය හෝ වේවා වෙනත් සම්මතයෙන් පීඩිත අනන්‍යතාවයක් හෝ වේවා හෙළා දැකීම මෙන්ම විශේෂ කොට උත්කර්ෂයට නැංවීමත් යන දෙආකාරය ම එක හා සමාන වෙනස් කොට සැලකීම් පමණයි. ඒ නිසා විය යුත්ත නම් හෙලා දැකීම හෝ විශේෂ කොට ඔසවා තැබීම වෙනුවට සියලු අනන්‍යතා සමබිමක තැබිය හැකි ලෙස සාමාන්‍යකරණය කිරීමයි.

එහෙත් සැබෑ ගැටළුව වන්නේ අප තව ම එවන් සමබිමක් නිර්මාණය කරගෙන නොමැති වීමයි. එසේ සමබිමක් උදාකර ගැනීමට නම් පීඩිතයාගේ හඬ වඩා උස්ව නැගිය යුතු බව අප පිළිගත යුතු සත්‍යයක්. ඒ වෙනුවෙන් අප පීඩිතයා සමග එක් ව ඔවුන්ගේ විමුක්ති අරගලය තනි නොකිරීමට වග බලා ගැනීම අතිශය වැදගත් අවශ්‍යතාවයක්. එසේ නොමැතිව මෙවන් විෂම භූමියක “පීඩිතයාගේ පුපුරවා හැරීම”, අනවශ්‍ය උත්කර්ෂයන් හෝ අසාමාන්‍ය සංදර්ශන ලෙස දැකීම තවත් ආකාරයක පීඩකයෙකුගේ භූමිකාවකට අවතීර්ණ වීමක් පමණක් බව අවධාරණය කළ යුතු ය.

(ලිපියේ අන්තර්ගතයේ සහ අදහස්වල හිමිකම කතුවරයාගේය. ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *