ලාංකීය මුස්ලිම් ජනතාවගේ මැකීගිය සංගීතමය සෞන්දර්යාත්මක ඇතුළාන්තය

ලාංකීය මුස්ලිම් ජනතාවගේ මැකීගිය සංගීතමය සෞන්දර්යාත්මක ඇතුළාන්තය

සාලිය ඉඳුරුවිතාන

නාද්‍යා භිමානි පෙරේරා විසින් නිර්මාණය කරන ලද Minarets වෘතාන්ත වාර්තාමය Feature Documentary සිනමා කෘතියේ මාධ්‍ය දර්ශනය නැරඹීමට මටත් අවස්ථාවක්‌ ලැබුණා. එම වාර්තා චිත්‍රපටයේ කතා තේමාව වී ඇත්තේ ලාංකීය මුස්ලිම් ජනතාවගේ අතීතයට එක්වී ඇති ගීත හා සංගීත නාද රටා සම්ප්‍රදායේ සෞන්දර්යාත්මක චාරිකාවයි.

බොහෝ රටවල විවිධ වාර්තා චිත්‍රපට බොහොමයක් අප බොහෝ දෙනෙක් නරඹා තිබුණත්, ලංකාවේ වාර්තා චිත්‍රපටයක් කිව්ව‍ ගමන් අපට එකවරම සිහියට නැගෙන්නේ “ලංකා ගීතය ” Song of Ceylon  නම් වාර්තා චිත්‍රපටයයි. එක්දාස් නවසිය  තිස්හතරේ 1934 ප්‍රදර්ශනය කල මෙම සිනමා පටය, එවකට ලංකාවේ පැවතුනු ආගමික, සංස්කෘතික හා එහි ජන ජීවිත හා බැඳුනු මානව විද්‍යාත්මක Anthropology ස්වරූපයන් ගැන නිර්මාණය කල ගීතයක් බඳු සිනමා කෘතියකි ලංකා ගීතය වාර්තා චිත්‍රපටය. මෙයට කලින් වාර්තා චිත්‍රපටි කීපයක්ම ලංකාව තුළ නිර්මාණයකර තිබෙන නමුත්, ලංකා ගීතයේ ඇති සිනමාත්මක නිර්මාණශීලි ගුණය නිසා එය වාර්තාකරණ සිනමාවේ සුවිශේෂ කඩ ඉමක් විය.

මෙතැනදී නාද්‍යාගේ Minarets වාර්තාමය මෙම සිනමා පටය අපට විශේෂ වන කාරණා කීපයක්ම තියෙනවා. එයින් ප්‍රධානම කාරණය තමයි, සිනමා ශාලා තුළ වාර්තා චිත්‍රපටයක් වෘතාන්ත චිත්‍රපටයක් ආකාරයෙන් මෙතෙක් ප්‍රදර්ශනය නොවීම නිසා, Minarets වෘතාන්ත වාර්තා චිත්‍රපටය වෘතාන්ත සිනමා කෘතියක් නරඹන ආකාරයෙන් නැරඹීමට ලැබෙන පළමු අවස්ථාව මෙය නිසා. සාමාන්‍යයෙන් වාර්තා චිත්‍රපටයක් සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරන්නේ වෙනත් වෘතාන්ත චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පළමුව සහ විවේක කාලයෙන් පසුවයි. එහෙත් මෙම චිත්‍රපටය හරහා වාර්තා චිත්‍රපටයක් පමණක් බැලීමේ විනය සහ සූක්ෂම  වාර්තාමය රූපමය ගොඩනැංවීමේ සිනමා අත්දැකීම විඳගන්නට හැකියාවක් ලැබෙනවා.

මෙහි ඇති අනෙක් කාරණය නම්, ලාංකීය මුස්ලිම් ජනතාවගේ අප මෙතෙක් දැන නොසිටි සෞන්දර්යාත්මක මානය සිනමා කෘතියක් හරහා මෙලෙස ඉදිරිපත් කිරීම වගේම, අනෙක් කාරණය වන්නේ මුස්ලිම් ජනතාවගේ යටපත්වී ඇති සෞන්දර්යාත්මක අවිඥානය අනෙකාගේ මානසික ලෝකයට අපූර්වත්වයේ දීප්තියක ප්‍රභාවයට හද කවුළු විවරකර දීමයි. ඒ අර්ථයෙන් ගත්විට මෙය සංස්කෘතික දේශපාලනයේ ගැඹුරු හරයේ සුවිශේෂී හැරයුමකි.

සංගීත නාද රටා හඬට සියළුම ජාතීන්ට අයත් සියළුම කුරුල්ලන් සවන් දෙනවාක් මෙන්ම, සියළුම මිනිස් කුලකයන්ගේ ගිලන්වූ අධ්‍යාත්මයන් විකසිත කරන්නට සංගීතයට හැකියාවක් ඇති අතර, සිනමා රූප පෙළක් යටින් ගමන් කරන සංගීත නාද රටාවන් මිනිස් අවිඥානයේ දෛනික කාලය ඉක්මවා යන අවකාශය තුලට මිනිස් මනස රැගෙන යයි. ජීවිතය හා ලෝකය පිළිඹඳ අප තුළ ඇති සමහර ආකල්පවලට යම් බලපෑමක් කරන්නට හැකියාවක් ඇති මාධ්‍යයක් ලෙස සිනමාව ගත හැකිය. නාද්‍යා භිමානි විසින් නිර්මාණය කරන ලද Minarets වාර්තාමය මෙම සිනමා පටය හරහා ලාංකික මුස්ලිම් ජනතාවගේ සෞන්දර්යාත්මක අහිමි අතීතය යලි ප්‍රාණවත් කරන්නට සහ එහි ඇති ගැඹුරු යතාර්ථයේ රිද්මය රූප රාමු තුලින් උපද්දන්නට සමත්ව ඇත.

මෙම සුවිශේෂී සිනමාත්මක අත්දැකීම ඔබටත් අත්විඳින්නට හැකියාවක් ඇත මෙම මස, එනම් ඔක්තෝම්බර් 06 වෙනිදා සිට One Gall Face PVR සිනමා ශාලාවේදී. මෙය ඔබ‍ට නැවුම් අත්දැකීමක් වනු ඇති අනිවාර්යෙන්ම.

අපගේ අසම්පුර්ණ ෆැන්ටසියේ හැගීම් සිනමා රූප මගින් යළි පුපුදුවාලයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *