ලංකාවට ඇටි කෙහෙල් කැවීම! (වික්ටර් අයිවන්)

ලංකාවට ඇටි කෙහෙල් කැවීම! (වික්ටර් අයිවන්)

වික්ටර් අයිවන්

විජය කුමාරතුංගට වෙඩි තබන ලද තුවක්කු කරු ඔහුට වෙඩි තැබීමෙන් පසු ආපසු යන්නට හැරී නැවත මතක් වී ඔහුගේ මුහුණ කුඩු පට්ටම් කිරීම සඳහාම ඔහුගේ මුහුණට ද වෙඩි තැබීය. එම විශේෂ තත්වය විග්‍රහකරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා කීවේ එය අවලස්සන මුහුණක් ඇති කෙනෙකුගේ අණ කිරීමක් අනුව සිදු වුවක් වූ බවය.

දැන් ලංකාව එලඹ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකට ය. රටේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයත් සමග ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව ගැන ලොකු කථා බහක් රටේ ඇති වී තිබුණි. රටට අළුත් නායකයින්ගේ ද, අළුත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව ගැන කෙරෙන ලොකු සංවාද තිබුණි. එහෙත් මේ වනවිට දේශපාලන තලයේ පරණ ඉතුරු බිතුරු හැර නව දේශපාලන නායකයින් හෝ දේශපාලන ව්‍යාපාර කිසිවක් ඇති වී නැත. වෙනසකට පෙනෙන්නට ඇත්තේ පරණ ප්‍රධාන දේශපාලන පක්ෂවලට තිබෙන පිළිගැනීම සැළකිය යුතු තරමකට බිඳ වැටී තිබීමත්, පරණ එහෙත් ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා තත්වයක තිබුණ ජේවීපිය කිසියම් විශාල ප්‍රමාණයක වර්ධනයක් ඇති කරගෙන තිබීමත් පමණය.

Photo by Internet

ජේවීපියේ වර්ධනය ඊලඟ මැතිවරණය කෙරෙහි ඇති කරන්නට යන බලපෑමේ තරම කුමක්ද කියා මම නොදනිමි. එහෙත් ජේවීපියේ වර්ධනය රටට අයහපතක් මිස යහපතක් ඇති කිරීමට හේතුවනු ඇතැයි මම විශ්වාස නොකරමි. ජේවීපියේ පාර්ලිමේන්තු ඉතිහාසය අවුරුදු 30 ක් පැරණිය. 2004 පාර්මේන්තු මැතිවරණයේදී ශ්‍රීලනිප සමග ඇතිකරගත් සන්ධානය නිසා ජේවීපිය හිමි කරගත් ආසන සංඛ්‍යාව 39 කි. යහපත් දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු පැවැත්ම (බලයට පත් නොවී) පමණක් වුවත් රටේ දේශපාලන ක්‍රමයේ යහපත් වෙනස්කම් ඇතිකිරීමට හේතු විය හැකිය. සමසමාජ ව්‍යාපාරය රටේ බලය ලබා ගත්තේ නැතත් එම ව්‍යාපාරයේ බලපෑම නිසා රටේ ඇති වූ යහපත් වෙනස්කම්වල ප්‍රමාණය අති විශාලය. කම්කරුවන්ට පැය අටේ වැඩ දිනයක් ලැබුණේ ඔවුන් නිසාය. පොලිසියේදී ස්වභාෂාවෙන් පැමිණිලි ලියාගන්නා ක්‍රමයක් ඇති වුයේ ද, ගම්මුළාදෑනි ක්‍රමය අහෝසි වූයේ ද ඔවුන් නිසාය. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇතිවීම කෙරෙහිද ඔවුන්ගෙන් ඇතුවූ බලපෑම අති විශාලය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් දියුණු කරගැනිම සඳහා ද ඔවුන් විසින් ලබා දෙන ලද බුද්ධිමය දායකත්වයේ ප්‍රමාණය අති විශාලය.

එහෙත් ජවිපෙ මේ අවුරුදු 30 ක් තරම් දීර්ග කාලය තුළ යහපත් වෙනස්කම් සඳහා ඇති කර තිබෙන බලපෑම ආන්තිකය. අඩුම වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දූෂිත කිරීමට බලපා තිබෙන ප්‍රබල හේතුවක් වී තිබෙන මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීමේ නීති විරෝධි සම්ප්‍රදාය වලක්වා ගැනීමටවත් ඵලදායි බලපෑමක් කර නැත. තමන් බලයට පැමිණි පසු මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ලබා දෙන ක්‍රමය නතර කරන බවට පොරොන්දු වනවාට වඩා තමන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබුණ ඩියුටි ෆ්‍රී වාහන ලබාගැනීමෙන් වැලකී සිටින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ නම් එය වඩා ඵලදායි ලෙස එම වැරදි ක්‍රමය කෙරෙහි බලපාන්නට ඉඩ තිබුණි. තම පක්ෂයේ මහජන නියෝජිතයින්ට ලැබෙන වැටුප් පක්ෂයට ලබා ගැනීමේ ක්‍රමයද සාධාරණ නොවන මහජන නියෝජිතයින් සිය පැවැත්ම රැකගැනීම සදහා ගජ මිතුරන් මත යැපෙන තැනකට තල්ලු කරන දූෂිත ක්‍රමයකි. දූෂණය පිළිබඳ විෂයේදීද ස්ථීර සාරභාවයක් පෙන්නුම් කිරීමට අසමත් වූ අවස්ථා දැකිය හැකිය.

2005 ජනාධිපතිවරණයට ලබා දෙන ලද අතිවිශේෂ සහයෝගය සලකා ජනාධිපති මහින්ද ජේවීපියට ලබා දෙන ලද විකාශන බලපත්‍රය හෝ දෙක ලබාගැනීම හා ඒවා විකුණා මුදල් ලබාගැනීම (බලපත්‍ර විකිණීමෙන් උපයාගත් ආදායම බැර කලේ පක්ෂයට වුවත්) දූෂිත ගණුදෙනුවක් ලෙස සැළකිය හැකිය. එය භාණ්ඩාගාරයට ලැබිය යුතු ලොකු මුදලක් අයථා ලෙස පක්ෂයට ලබාගැනීමක් ලෙස සැළකිය හැකිය. පක්ෂ මූලස්ථානය ඉදිකිරීමට ගිය දැවැන්ත ධනස්කන්ධය සොයාගත් අකාරයද විනිවිදව දැකිය හැකි පිරිසිඳු තත්වයක නොපවතී.

Photo by Internet

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දේශීය වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන්ද සැලකෙනුයේ ලංකාවේ අධිකරණය කාබාසිනියා කල අන්ත දූෂිත පුද්ගලයෙකු වශයෙනි. එහෙත් ජවිපෙට ඔහු පෙනුනේ රට ගලවාගැනීමේ වගකීම භාර දිය යුතු වීරයෙකු ලෙසය. 2010 ජනාධිපතිවරණයට ජවිපෙ මුලදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නට තීරණය කර තිබුනේ සරත් නන්ද සිල්වාය. නාගානන්ද කොඩිතුවක්කු කියන අකාරයට ජවිපෙ නායකයින් නමට දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර ඇත්නම් එයද සැළකිය හැක්කේ දුෂණයක් ලෙසය. ජවිපෙ ජනතාවගේ ධනය සොරකම් කල මංකොල්ල කෑ පක්ෂයක් නොවන බව කීවත් දෙවැනි කැරැල්ලට පෙර සැගවී වැඩ කරන කාලයේදීත් ඉන් පසු දෙවැනි කැරැල්ල පැවති කාලයේදීත් මුදල් මංකොල්ල කෑම සඳහාම පවත්වාගෙන ගිය විශේෂ ඒකකයක් (රාගම සෝමෙගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ) එම පක්ෂයට තිබුණේ ය. ධර්මන් වික්‍රමරත්න ඔහුගේ පොතේ වාර්තා කර තිබෙන අකාරයට 1985-1990 දක්වා කාලය තුල රාජ්‍ය බැංකු ශාඛා 62 ක් බිඳ ඒවාහි තිබුණු මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑවේය. සිදුවී තිබෙන වැටුප් මංකොල්ල කෑම් ගණන 131 කි. (පිටු 769)

Photo by Internet

ජේවීපී කාරයින් පමණක් නොව ඔවුන්ට පක්ෂපාතිව කල්පනා කරන ආධාරකරුවන් පවා කල්පනා කරන බව පෙනෙන්නේ කැරැල්ල කාලයේදී ජේවීපිය අතින් බරපතල වැරදි වෙන්නට ඇතත් ඉන්පසුව ගත වී තිබෙන දීර්ග කාලය තුළ ඔවුන් නැවත ඒ වැරදි සිදුකර නැති බැවින් දැන් එම වැරදි අල්ලාගෙන ඔවුන් විවේචනයට ලක් කිරීම සුදුසු නැති බවය. සාමාන්‍ය සමාජය පමණක් නොව ශාස්ත්‍රාලිය උගතුන් කල්පනා කරන බව පෙනෙන්නේද ඊට සමාන අකාරයකටය. එය ලංකාවේ ගොඩනැගී තිබෙන දේශපාලන ශීලාචාරත්වයට ආවේණික දුප්පත්කම හා එම දුප්පත්කමේ තරම පෙන්නුම් කරන හොඳ දර්ශකයක් ලෙස සැළකිය හැකිය.

පුද්ගලික හෝ පොදු ජන ජීවිතේ පැවැත්මට අහිතකර වන ක්‍රියා අපරාධ ලෙස නම් කොට සමාජ අරක්ෂාව සඳහා ඒ වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් කරන ක්‍රමයක් ඈත අතීතයේ සිටම ක්‍රියාත්මක වූ බව අපි දනිමු. අපරාධ කරන අයට දඩුවම් කිරීම ආණ්ඩුව වෙත පැවරෙන වැදගත් වගකීමක් ලෙසද සලකන ලදී. මනුෂ්‍ය ඝාතනය මිනිසුන්ට එරෙහිව සිදුකෙරෙන අපරාධ අතරින් බරපතලම අපරාධය ලෙස සලකන ලදී. පුද්ගල දේපල අයිතියට එරෙහිව කරන මංකොල්ල කෑම, සොරකම හා සාවද්‍ය පරිහරණය වැනි වැරදි ද අපරාධ ගණයෙහි ලා සැළකිය හැකිය. එහෙත් ජිවිතයක් නැති කරන්නාගේ ජීවිතයද නැති කරන ක්‍රමයක් දීර්ග කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. පසුව ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරඳඩුවමකට යටත් කොට එවැනි අපරාධ කරන පුද්ගලයන් සමාජයෙන් ඈත් කොට තබන ක්‍රමයක් ක්‍රියාත්මක විය.

ජවිපෙ නායකයින් පමණක් නොව ඔවුන්ගේ සුචක අනුගාමින් බවට පත්ව සිටින ලංකාවේ සමහර ශාස්ත්‍රාලිය උගතුන් පවා පොදු දේපල සොරකම් කල පුද්ගලයින්ට වඩා කැරැල්ලකදී මිනිසුන් මරා දැමු පුද්ගලයින් යහපත් හා ගරු කටයුතු පුද්ගලයින් ලෙස සලකන බව පෙනේ. එහෙත් 1979 අපරාධ නීති සංග්‍රහයේ 456 වැනි වගන්තිය අනුව කල් ඉකුත් වීමෙන් නිෂ්ක්‍රීය නොවන අපරාධ දෙක ලෙස සැලකෙනුයේ මනුෂ්‍ය ඝාතනය හා රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමය. අනෙකුත් සියළු අපරාධ විසි අවුරුද්දක් ගත වීමෙන් පසු නඩු පැවරිය නොහැකි නිෂ්ක්‍රීය අපරාධ බවට පත් වේ. ජේවීපිය කර තබා ගෙන තිබෙන අපරාධ පොදිය ඊටත් වඩා භයානකය. දෙවන ලෝක යුද්ධයෙන් පසු හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය කරන ලද බිහිසුණු අපරාධ අර්ථකථනය කෙරුණේ මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපාරාධ (Crimes Against Humanity) වශයෙනි. ජේවීපිය දෙවැනි කැරැල්ලේදී තොග ගණනින් කර තිබෙන අපරාධ වැටෙන්නේ ද ඒ ගණයටය.

එම පක්ෂය මුළුමහත් සමාජයම මරණ බියෙන් ජීවත් විය යුතු තත්වයකට බවට පත් කළේය. පුංචි තුණ්ඩු කෑල්ලකින් ඕනෑම ප්‍රදේශයක සියළු කටයුතු ක්‍රියා විරහිත කිරීමේ හැකියාව ඔවුන් හිමිකරගෙන තිබුණි. මිනිස්සු ඔවුන්ට අවනත වූයේ ඔවුන් කෙරෙහි ඇති කරගෙන තිබු ගෞරවය හෝ විශ්වාසය නිසා නොව ඔවුන් කෙරෙහි ඇතිකරගෙන තිබු අති විශාල බිය නිසාය. බොහෝ වමාංශිකයින් ජීවිතාරක්ෂාව සඳහා ආයුධ අතට ගන්නා තැනකට තල්ලු වූයේද ඒ සියළු දෙනාගේ ජීවිතවලට එම පක්ෂයෙන් එල්ලවී තිබුණු ජීවිත තර්ජන නිසාය. සමහර අය එම ප්‍රශ්නය මා සමග ද සාකච්චා කර තිබුණි. ඔවුන් විසින් මාද මරා දමනු ඇතැයි මා හමුවීමට මගේ කාර්‍යාලයට පැමිණි සමහරෙක් මා සමඟ කීවේය.

මා 71 කැරැල්ලෙන් පසු කවර හේතුවක් නිසා හෝ ආයුධ අතට නොගැනීමට ස්ථීර තීරණයක් ගෙන ඇති බැවින් ජීවත් වන්නට සිදුවී තිබෙන පරිසරය කොතරම් රළු පරුෂ හා ප්‍රචණ්ඩ වුවද නිරායුධව ජීවත්වනවා මිස නැවත ආයුධ අතට ගන්නේ නැති බව මම ඔවුන්ට කීවෙමි. මා එම කැරැල්ල කාලයේදී ආයුධ අතට ගත්තේවත් සැඟවුන ජීවිතයක් ගත කලේ වත් නැත. නොසැඟවී රාවය සඟරාවේ කටයුතු කරගෙන ගියෙමි. මම ජේවිපිය සමග අනවශ්‍ය ලෙස රණ්ඩු කරන තැනකට ගියේ නැතත් අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ කටයුතු මා දැඩි ලෙස විවේචනය කලද ඔවුන් මා මැරුවේ නැති බවද කිව යුතුය. මට වරදක් සිදුවූයේ නැතත් ඔවුන් අතින් සේම ඔවුන්ට එරෙහිව සටන් කල ආරක්ෂක හමුදා අතින්ද මිනිසුන්ට සිදුවූ බිහිසුණු හා අවලස්සන දේවල් මම දැක්කෙමි. නන්දන මාරසිංහ මරා දමන්නට දින තුනකට පෙර ඔහු රංජිත් දිසනායක (කළු රංජි) සමග මා හමුවන්නට ගල්කිස්සේ පරණ ගල්වල පාරේ පිහිටි රාවය කාර්‍යාලයට ආවේය. මාරසිංහ ජේවීපී ඉලක්කයක් වී තිබෙන බව මට දැනගන්නට ලැබී තිබුණ අතර මා ඒ ගැන ඔහුට කී විට ඔහු ඊට දක්වන ලද ප්‍රතිචාරය මෙසේය.

“ඔව් මට විතරක් නෙමෙයි. ඔබටත් ජීවිත තර්ජනයක් තිබෙනවා. ජීවිත තර්ජනයක් තිබුණා කියා සහෝදරයා තමන්ගෙ සියළු වැඩ අතහැරලා සැඟවුන ජීවිතයකට ගියේ නැහැ .මමත් එහෙමයි” ඔහු කීවේය.

මාරසිංහ මා මෙන් නොව ජවිපෙ උන්නතිය පිණිස සුවිශාල කාර්‍යභාරයක් ඉටුකළ කෙනෙකු විය. 71 කැරැල්ලේදී විජේවීර බේරාගැනීම පිණිස යාපනේට ගිය 60 දෙනාගෙ කණ්ඩායමේ කෙනෙකු විය. එම උත්සහාය අසාර්ථක වීමෙන් පසු අත්අඩංගුවට පත් නොවී ආපසු පලා ඒමට සමත් විය. 1972 ජූලි 23 වනදා ඔහු අනුරාධපුර බන්ධනාගාරයට පහර දී එහි රඳවා සිටි 71 කැරලිකරුවන් 31 දෙනෙකු මුදා ගැනීමට සමත් විය. එසේ මුදාගත් අය අතර දෙවැනි කැරැල්ලේ හතර වැනි නායකයා වූ පියදාස රණසිංහද විය. ඉන්පසු නැවත 1972 සැප්තැම්බර් 29 දා රාත්‍රීයේ එම බන්ධනාගාරයටම පහරදී එහි රඳවා ගෙන සිටි කැරැල්ලේ සැකකරුවන් 134 ක් මුදා ගත්තේය. 1973 දී අත්අඩංගුවට ගැනීමෙන් පසුද 1975 දී නැවත සිරගෙයින් පලා යාමට සමත් වුවද නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසු සිරගෙදරින් නිදහස් වන තෙක් සංසුන් ජීවිතයක් ගත කළේය. ඔහු දක්ෂ තබ්ලා වාදකයෙකු විය. සිරගෙදරින් නිදහස් වීමෙන් පසු ජවිපෙ පවත්වාගෙන ගිය විමුක්ති ගී සන්දර්ශනයට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. 1981 දී මතවාදි වශයෙන් ජේවීපියෙන් ඉවත්වී “ජනතා කලා කේන්ද්‍රය” නමින් සංවිධානයක් ඇති කරගනිමින් සාහිත්‍යට හා කලාවට බර තබන ජීවිතයකට මාරු විය. 1987 නොවැම්බර් 27 වනදා අනුරාධපුර පොළ භූමියේදී වෙඩි තබා මරා දමන ලදි. එය සැලකෙන්නේ විජේවීරගේ ඇණවුමක් මත සිදු කෙරුණු ඝාතනයක් ලෙසය.

ජේවීපිය එම කැරැල්ලේදී තමන්ට පක්ෂපාත නැතිකම හේතුවක් කරගනිමින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළේය. කැරැල්ල හැම තැනකටම ගලා යමින් තිබෙන දෙයක් බව පෙන්නුම් කිරීම සදහා වෙනත් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පවා රටට ප්‍රයෝජනවත් ලොකු වටිනාකමක් තිබුණු මිනිසුන් ඝාතනය කලේය. කොලඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර හා මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්‍ය චන්ද්‍රරත්න පටුවිතාන ඝාතනයන් ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය. ඉතාමත් පුංචි සරළ වැරදිවලට පවා මිනිසුන් තොග ගණනින් ඝාතනය කළේය. ධර්මන් වික්‍රමරත්න ඔහුගේ “ජවිපෙ දෙවැනි කැරැල්ල” නැමැති පොතේ ගෙන හැර දක්වා තිබෙන අකාරයට රූපවාහිනිය නැරඹීම හා ගුවන් විදුලියට සවන්දීම තහනම් කර තිබියදී එම වැරදි සිදු කිරීම නිසා මරාදමන ලද පුද්ගලයින් සංඛ්‍යාව 219 කි. ආණ්ඩුවේ පුවත්පත් විකිණීම තහනම් කර තිබියදී එම තහනම නොතකා පුවත්පත් විකිණීමේ වරදට පුවත්පත් වෙළදුන් 27 දෙනෙකු ඝාතනය කරන ලද බව සදහන් වන අතර එම තහනම් නියෝගය නොසලකා ක්‍රියාකල ඒජන්සි ගනනාවකට බෝම්බ ගැසූ බවද සදහන්වේ .(එම පොත පිටුව 854) ඡන්දය පාවිච්චි කිරීමේ වරදට මරාදමන ලද අයගේ ගණන සිය ගණනකි. ඡන්ද රාජකාරිවල යෙදීමේ වරදටද රජයේ සේවකයින් ද සිය ගණනක් මරා දැම්මේය.

ජවිපෙ මිනිසුන් ඝාතනය කළේද ඔවුන් කෙරෙහි අවක්ඥාවක් ඇති කිරීමට හේතුවන අකාරයටය. ඔවුන් විසින් මරාදමන අයගේ අවසන් කටයුතු පැවැත්විය යුතු අකාරය සදහා පවා පනවන ලද කොන්දේසි තිබුණි. දේහය ඔසවාගෙන යාමේදී එය පොළොවේ මට්ටමෙන් අඩියකට වඩා ඉහලට එසවීම තහනම් විය. අවසාන අවස්ථාවට සහභාගි කරගත හැක්කේ 10 කට අඩු සංඛ්‍යාවකි. සුදු කොඩි එසවීම සේම දේහය අවමංගල්‍යය රථයකින් ගෙනයාම ද තහනම් විය. දේහය දැවීම තහනම් වූ අතර මිනියේ වල වැසූ පසු එය පොළොව මට්ටමට තිබිය යුතු විය. මරා දැමීමට හේතුව සදහන් දැන්වීමක් බොහෝ විට මළමිනිය අසල ප්‍රදර්ශනය කළේය. සමහර මිනිසුන් ඝාතනය කළේ උපරිම මට්ටමේ අවක්ඥාවක් මරනකරුවා කෙරෙහි ඇති කිරීමට හේතුවන අකාරයටය. ඔවුන් ඒ සඳහා යොදාගත් මාදිලි සඳහා දැක්විය හැකි නිදර්ශන කිහිපයක් මෙසේය.

විජය කුමාරතුංගට වෙඩි තබන ලද තුවක්කු කරු ඔහුට වෙඩි තැබීමෙන් පසු ආපසු යන්නට හැරී නැවත මතක් වී ඔහුගේ මුහුණ කුඩු පට්ටම් කිරීම සඳහාම ඔහුගේ මුහුණට ද වෙඩි තැබීය. එම විශේෂ තත්වය විග්‍රහකරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා කීවේ එය අවලස්සන මුහුණක් ඇති කෙනෙකුගේ අණ කිරීමක් අනුව සිදු වුවක් වූ බවය. දෙවැනි නිදර්ශනය මාතරිනි. ජේවීපිය 1988 අප්‍රේල් 26 වනදා මාතර පස්ගොඩ බෙන්ගමුවේ එජාපයට සම්බන්ධ ඉඩම් හිමි වැවිලි කරුවකු වූ බුද්ධදාස රූපසිංහ ජයසේකර හා ඔහුගේ සහෝදරයා වූ විලයාය විදුහලේ විදුහල්පති ජී. ආර්. ජයසේකර යන දෙදෙනා මරා දමන ලද්දේ දරුණු වධහිංසාවන්ට ලක්කොට ඔවුන් දෙදෙනාගේ ශරීරයේ ස්ථාන රාශියකට පිහියෙන් ඇන ශරීර නිරුවත් කොට ගසක බැඳ නිවසේ පාපිසි ඔවුන්ගේ හිස් වලට දමා ශරීර පිලිස්සීමෙනි. තුන්වනි නිදර්ශනය මොණරාගලිනි. 39 හැවිරිදි ගොරකානේ නන්දසිරි සිල්වා 71 කැරැල්ලේ ක්‍රියාධරයෙකි. ජූලි වර්ජනයෙන් රැකියාව අහිමිකරගත් නිදහස් ගෘහ නිර්මාණ සැලසුම් කරුවෙකි. ඔහු ජනතා සංගමයේ ප්‍රධාන නායකයකු වූ වසන්ත දිසානායකගේ සහෝදරයෙකු වූ 27 හැවිරිදි මොරටුව සරසවියේ දෙවැනි වසරේ සිසුවෙකු වූ දිසනායක එම්. ජයවර්ධන හා තවත් කිහිප දෙනෙකු සමග මොණරාගල ගොවිපළක් පවත්වාගෙන ගියේය. 1988 නොවැම්බර් 08 වනදා රෑ මේ ගොවිපළට කඩා වැදුණු ජේවීපී කැරලිකරුවන් කණ්ඩායමක් එම ගොවිපළේ නිවෙස් තුනක ජීවත් වුණු නන්දසිරි හා දිසානායක ඇතුළු 05 දෙනෙකු වෙඩිතබා මරා දමා ඒ සියළු දෙනාගේ ශරීර කැබලි වලට කපා ඔවුන් ජීවත් වූ නිවෙස් තුනට ද ගිනි තබා නන්දසිරිගේ වෙන් වෙන්න කපන ලද අත් දෙකද දිසානායකගේ වෙන් වෙන්න කපන ලද බෙල්ලද ඒ අසල ගසක අත්තක ප්‍රදර්ශනය පිනිස එල්ලා තබන ලදී. හතර වැනි නිදර්ශනය ගාල්ලෙනි. ගාල්ලේ උඩුගම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයෙක් වු රණසිංහ ජවිපෙ පනවන ලද ඇඳිරි නීතියකදී පනවා තිබූ කොන්දේසි උල්ලංඝනය කිරීමේ වරදට ඔහු ගේ බෙල්ල කපා මරා දමන ලද අතර ඉන් පසු එම මිනී මරුවන් ඔහුගේ කපන ලද එම බෙල්ල පිඟානක තබා ඔහුගේ නිවසට යවන ලදී. පස්වැනි නිදර්ශනය කතරගමෙනි. හම්බන්තොට ලංගම ඩිපෝවේ වැඩ කළ වීරසේකර ජේවීපී කැරලි කරුවන් විසින් මරාදමන ලද්දේ පල්ලෙමළල ඔහුගේ මනාලියගේ නිවසේ පැවති විවාහ මංගල උත්සවයේදී මනාලයා වශයෙන් ඔහු මඟුල් පෝරුවට නඟින්නට සුළු මොහොතකට පෙරය. මේ නිදර්ශන ආශ්‍රයෙන් ජේවිපියේ මිලේච්ඡ ස්වභාවය තේරුම් ගත හැකිය. එහිදී ප්‍රති පක්ෂයේ (ජේවීපියට එරෙහිව සටන් කල ආණ්ඩුව හා අරක්ෂක හමුදා) ස්වභාවය කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. ඊට දියහැකි පිළිතුර වනුයේ ඔවුන් හේ හැසිරීමද ජේවීපිය තරම්ම සමහර විට ඊටත් වඩා අශීලාචාර වූ බවය. එහෙත් ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ජේවීපිය මිස ආණ්ඩුව හෝ ආරක්ෂක හමුදා නොවන බවද කිව යුතුය.

එම විශේෂ තත්වය මෙසේ පැහැදිලි කළ හැකිය. ඉන්දියානු නිදහස් අරගලයේ මුල් අධියරයේදී බ්‍රිතාන්‍ය හමුදා සටන් කළේ දියුණු ශීලාචාර රාමුවක පිහිටා නොව රළු පරුෂ අශීලාචාර රාමුවක පිහිටාය. එහෙත් මහත්මා ගාන්ධි නිදහස් අරගලයේ නායකත්වය ගැනීමෙන් පසු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය විරෝධි අරගලය ඊට පෙර ලෝකයේ අන් කවර රටකවත් සිදුවී නැති අකාරයකට අහිංසාවාදය පදනම් වූ දියුණු සීලාචාර රාමුවකට ගෙනාවේය. එම විශේෂ තත්වය පෙරළා නිදහස් අරගලය කෙරෙහි බ්‍රිතාන්‍ය ආණ්ඩුව හා හමුදා දක්වන ප්‍රතිචාරද දියුණු ශීලාචාර මට්ටමකට ගෙන ඒමට හේතු විය.

විජේවීරගේ ජේවීපිය පාලන බලය අල්ලා ගැනීමට අවශ්‍ය වී නම් ඒ සදහා යොදාගත යුතුව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ලැබී තිබුණ ඉඩ ප්‍රස්ථාය. 1977 නොවැම්බර් වලදී නිදහස ලැබීමෙන් පසු විජේවීර සිය පක්ෂය වූ ජවිපෙ සමඟ ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයට මාරු වුවද විජේවීරගේ ත්‍රස්තවාදි ආත්මය මුළු මනින් වෙනස් වී තිබුනේ නැත. ඔහුට අසමාන්‍ය තරම් වේගයකින් ශ්‍රීලනිප හිමි කරගෙන තිබුණ දෙවැනි තැන හිමිකර ගැනීමට අවශ්‍ය වී තිබුණි. ඔහු එම ස්ථානය අල්ලා ගැනීමට අවුරුදු හයක්ම උත්සහා කලද සම්ප්‍රදායි වම පසු කර යෑමට සමත් වුවද ශ්‍රීලනිපට ලංවීමටවත් හැකි වූයේ නැත. ඔහු 1982 ජනාධිපතිවරණයට තරඟ කළේය. එහිදී ශ්‍රීලනිපයෙන් තරඟ කල හෙක්ටර් කොබ්බෑකඩුව අභිභවා ගිය ප්‍රතිඵලයක් නොවේ නම් ළඟ ළඟ තරඟයක් පෙන්නුම් කරන ප්‍රතිඵලයක් ඔහු බලාපොරොත්තුවුද විජේවීරට එම ජන්දයේදී ලබා ගත හැකිවුයේ හෙක්ටර් කොබ්බෑකඩුව ජන්ද 2,548,438 ක් ලබාගන්නා විට ජන්ද 273,428 ක් පමණය. වෙනස නව ගුණයකි. එම ප්‍රතිඵලයෙන් විජේවීර කොතරම් ඇද වැටීමකට ලක්වූවාද කියතොත් තමන්ට ඡන්දය දුන් ඡන්ද දායකයින්ට ස්තූති කරන්නටවත් ඔහු නිල ප්‍රතිඵල ප්‍රකාශ කරන තැනට ආවේ නැත. ඒ වන විට ඔහුට සිටි විශ්වාසවන්තම සගයා වූ ලයනල් බෝපගේ එම ජනාධිපති වරණයේදී විජේවීර හා පක්ෂය ඇතිකරගෙන තිබු බලාපොරොත්තු ගැන ලියා තිබෙන්නෙ මෙසේය.

“ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔහු ඇති කරගෙන තිබුණු සහ පක්ෂයේ සමාන්‍ය සාමාජිකත්වය තුළ ඇති කොට තිබුණු බලාපොරොත්තු කොතරම් ඉහළ මට්ටමක වූයේද යන්න ජානාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දින තුනක් ගත වන තෙක් රෝහණ සහෝදරයා ඇඳෙන් නැගිට්ටුවා ගැනීමට නොහැකිවීමෙන්‍ ම පෙනී ගියේය. (රුවන් එම්. ජයතුංග” 71 කැරැල්ල” පිටුව 95)

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පළමු ස්ථානයට එනවා තබා දෙවැනි ස්ථානයවත් හිමිකර ගැනීම පහසු නැති බව විජේවීර එම අත්දැකීම් ආශ්‍රයෙන් තේරුම් ගෙන තිබුණි. ඒ නිසා 83 කළු ජූලියේදී ජවිපෙට එරෙහිව පනවන ලද පක්ෂ තහනම හේතුවක් කරගනිමින් නැවත ත්‍රස්තවාදයට මාරුවීමට විජේවීර එය අවස්ථාවක් කර ගත්තේය.

83 කළු ජූලියට ජේවීපියේ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැත. ජේවීපියට පනවන ලද පක්ෂ තහනම අසාධාරණය. එහෙත් එම පක්ෂ තහනම කැරළි ගැසීමට ඔවුන්ට ලැබුණු අවසර පතක් වන්නේ නැත. තහනම් කර තිබූ අනෙක් පක්ෂ දෙක තහනම ඉවත් කර ගැනීම සඳහා ක්‍රියා කල මුත් විජේවීර එසේ නොකොට එම අවස්ථාව නැවත ත්‍රස්තවාදයට මාරු වීමට අවස්ථාවක් කරගත්තේය. තමන්ට පනවන ලද පක්ෂ තහනම ගැන මහා ලොකුවට කථා කරන විජේවීර හා එම පක්ෂය කැරැල්ල පැවති කාලයේදී රටේ තිබුණ අන් පක්ෂ තහනම් කළේය.

කැරැල්ලකට මාරු වීමේදීද විජේවීර තෝරාගත්තේ ද ඒ සදහා තිබෙන විකල්ප ක්‍රම අතරින් අශීලාචාරම විකල්පයකි. පිළිගත් සමාන්‍ය ක්‍රමයකට බලය අල්ලාගැනීමේ අරමුණින් කරන සන්නද්ධ කැරැල්ලකදී යොදා ගැනන සටන් ක්‍රමය වනුයේ රජයේ ආරක්ෂක හමුදා සමග සටන් කොට ආරක්ෂක හමුදා පරාජය කොට බලය අල්ලා ගැනීමය. එහෙත් ජේවීපී දෙවැනි කැරැල්ලට තිබුනේ ඊට වෙනස් අසම්මත ම්ලේච්ඡ උපාය මාර්ගික වැඩසටහනකි. ඒ අනුව රජයේ ආරක්ෂක හමුදා සමග සටන් කොට බලය අල්ලා ගැනීම ඔවුන් ගේ අපේක්ෂාව නොවීය. ඒ වෙනුවට යොදා ගත්තේ රජයේ පරිපාලන පදනම ද ආණ්ඩුවට පක්ෂ හා ජේවීපියට විරුද්ධ මතවාදි පදනම ද විනාශ කිරීමට හේතුවන ලෙස ඒවාට සම්බන්ධ ලොකු පිරිසක් මරාදමන ප්‍රතිපත්තියක් මගින් රාජ්‍ය යන්ත්‍රය හා දේශපාලන ක්‍රමය අක්‍රීය කොට සිය බලය පතුරුවා බලය අල්ලා ගැනීමය.

එවැනි ක්‍රමයකට බලය අල්ලාගත් රටක් ගැන මා නම් අසා නැත. එහෙත් විජේවීරගේ එම සටන් ක්‍රමය මුහුණ දිය හැකි ප්‍රතිවැඩසටහනක් ආරක්ෂක හමුදාවන්ට නොතිබීම නිසා කැරැල්ලේ ආරම්භක මාස තුනේදී රාජ්‍යයේ පැවැත්ම ලොකු අර්බුදයකට ගොස් තිබුණි. කැරලිකරුවන්ගේ එම වැඩසටහනට මුහුණ දිය හැකි ප්‍රති සටන් ක්‍රමයක් පොලීසියට හා ආරක්ෂක හමුදාවන්ට හඳුන්වාදෙන ලද්දේ දකුණේ ත්‍රස්ත විරෝධි කටයුතු භාර ප්‍රධාන පොලිස් නිලධාරියා ලෙස ක්‍රියා කළ ප්‍රේමදාස උඩුගම්පොළය. “සතුරා හා කරන සටන් උන් කරන ලෙසටම “යන්න ඔහු යෝජනා කල ප්‍රති සටන් ක්‍රමය විය. ජේවීපිය යොදාගත් ක්‍රමය වු යේ ආරක්ෂක හමුදා සමග සටන් කිරීමෙන් වැලකී රාජ්‍යයේ පරිපාලන තලය හා මතවාදි තලය බිඳ දැමීමට හේතුවන පුද්ගලයින් තෝරාගෙන ඔවුන් මරා දැමීමය. එවැනි මරා දැමීම් සඳහා යොදාගන්නා පුද්ගලයින් පිටස්තරින් ගෙන්වාගත් පුද්ගලයින් වීම නිසා ඔවුන් හඳුනා ගැනීම ද ඉතා දුෂ්කර විය. උඩුගම්පොළ යෝජනා කල ප්‍රති සටන් ක්‍රමය වුයේ ජේවීපියට සම්බන්ධ සියළු දෙනාද මරා දැමිය යුතු බවය. ජේවීපිය අශීලාචාර සටන් ක්‍රමයක් තෝරාගත් විට ප්‍රති පක්ෂයද අශීලාචාර ලෙස ක්‍රියා කරන තැනකට තල්ලු විය.

ජේවීපී දෙවැනි කැරැල්ල රටේ සමාජ-දේශපාලන ක්‍රමයට හා ආර්ථිකයට ඇති කළ විනාශය අති විශාලය. සිදුවූ බිහිසුණුම දේ වනුයේ එම අසීලාචාර කැරැල්ල හා එල්ටිටීඊ කැරැල්ල රටේ ශීලාචාරත්වයේ වියමන විශාල ප්‍රමාණයකට ලිහා දැමීමය. ජේවීපිය දෙවැනි කැරැල්ලේදී ඔවුන් කළ බිහිසුනු අපරාධවලට ඔවුන් අවංකව සමාව ගන්නා තෙක් ඔවුන් පිළිනොගන්නා දැඩි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය වී තිබෙන්නේ ජේවීපියෙන් පලිගැනීම සදහා නොව එවැනි අශීලාචාරත්වයක් නැවත කවදා හෝ කා අතින් හෝ ඇතිවීම වැලකීම සඳහාය.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජේවීපී දෙවැනි කැරැල්ල ගැන ලියා තිබෙන ලිපියකින් ලබාගත් උද්ධෘතයකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසුය.

“ජවිපෙ කාර්‍යධරයින් තුළ දේශපාලන බලයේ මධ්‍යයට ප්‍රවිශ්ඨ වීම සඳහා ප්‍රචණ්ඩත්වය හා භීෂණය කෙරෙහි තිබූ කැපවීම ඉතාමත් පුදුමාකාරය. ඔවුන් වූ කලී පැහැර ගැනීම්, සමූහ ඝාතන සහ සතුරන්ගේ ශරීර කපා කොටා දැමීම සිදුකළ, ද්‍රෝහීන් මරා දැමීමට පෙර ව්‍යාජ නඩු විභාග පැවැත්වූ, ජවිපෙ නියෝග හා අණ ක්‍රියාත්මක කරමින් ගෙයින් ගෙට ගිය, දේශපාලන රැස්වීම් හා ජන්ද මධ්‍යස්ථානවලට කඩා පැනීම් කළ නාසි ප්‍රහාරක කණ්ඩායම්වල කාර්‍යය මෙරට ඉටු කළ කොටස්‍ ය.”

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *