මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (රුසියානු සාහිත්‍ය ඉතිහාසය – 3 කොටස)

මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (රුසියානු සාහිත්‍ය ඉතිහාසය – 3 කොටස)

ඉමාෂා ධර්මසේන

ඉතියෝපියාවේ සිදු වූ කිසියම් ගැටුමකදී රුසියාවට පැහැරගෙන ආ, එරට සිටි වංශවත් පවුලකින් පැවත ආ අබ්රාම් හැනිබාල් නම් දරුවා රාජකීය සම්ප්‍රදායන්ට අනුව මහා පීටර් රජුට තිළිණ කරන ලදී. වහලෙක් ලෙස වෙනත් අයෙක්ට තෑගි කිරීම උදෙසා රජුට මෙම දරුවා ලබා දුන්න ද, රජ එසේ නොකර ඔහු වහල් බවින් මුදවා ස්වකීය පුත්‍ර තනතුරේ තැබුවේය. ඔහු ප්‍රංශයට යවා උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව  ද රජතුමා ලබා දුන්නේය.

පෙරළා රුසියාවට පැමිණි හැනිබාල් විවාහ වන්නේ පීටර්ස්බර්ග් නුවර වංශවත් පෙළපතක් වූ පුෂ්කින්වරුන්ගේ දියණියක් සමඟයි. ඔවුන්ගේ දියණිය වූ නදේෂ්දාගේ පුත්‍රයා නම් රුසියානු මහා කවියා වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ය.

වර්ෂ 1799 ජූනි 6 වන දින උපත ලැබූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කුඩා කල පටන් සාහිත්‍යය කෙරෙහි ඉමහත් ඇල්මක් දැක්වූවෙකි. සාහිත්‍යය කෙරෙහි මෙන්ම ජනශ්‍රැතිය කෙරෙහිද ඔහු අවධානය යොමු කළේය.  මේ බව ඔහු මුල්වරට රචනා කරන ලද රුස්ලාන් හා රුද්මිලා නම් කාව්‍ය සංග්‍රහයෙන් පෙනීයයි. එය රුසියානු ගැමි සුරංගනා කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. මේ අයුරින් නිර්මාණකරණයට පිවිසි ඔහුගේ සාර්ථකම කාව්‍ය නිර්මාණය වන්නේ කවියෙන් කියැවෙන නවකතාවක් ලෙස සැළකෙන එව්ගේනි ඔනේගින් නම් කාව්‍ය නවකතාවයි. ඒ උදෙසා වස්තු විෂය වූයේ ද සමකාලීන රුසියානු ජීවන පුවතකි. මෙහි ඔනේගින් නමැති චරිතය ඔස්සේ පුෂ්කින් ධනේශ්වරවාදය තුළ පුද්ගල ආධ්‍යාත්මයේ සිදුවන්නාවූ දූෂණය ඉස්මතු කරයි.

සමකාලීන සිදුවීම් ඇසුරු කරගනිමින් නිර්මාණකරණයේ යෙදුනද, ඒ ඔස්සේ ඔහු ගොඩනගන ලද සමාජ ගැඹුර ⁣කෙතරම්දැයි යන්න පුෂ්කින්ගේ කාව්‍ය නිර්මාණයන් රසවින්දනය කිරීම සඳහාම කාල් මාක්ස් තනිව රුසියානු භාෂාව ඉගෙන ගත් ආකාරයෙන් හෙළිවෙයි.

පුෂ්කින් වරක් ප්‍රකාශ කර සිටියේ ඔහුගේ සැබෑ පාඨකයා බිහිවන්නේ ඔහුගේ මරණයෙන් බොහෝ කාලයක් ගතවූ පසු බවයි. එය සැබෑවක් කරමින් ඔහු මියගිය පසු සෝවියට් රුසියානු සමයේ දී ඔහුගේ නිර්මාණයන් සමාජයේ සෑම ස්ථරයකම ව්‍යාප්ත වන්නට විය. කාව්‍ය නිර්මාණයන්ට අමතරව ඔහු නවකතා,කෙටිකතා, නාට්‍ය නිර්මාණයන්ද රචනා කළේය. බෙල්කින්ගේ කතා, කපිතානගේ දුව, ඉස්කොප්ප රැජින ඒ අතරින් කිහිපයකි. රුසියානු ගද්‍ය සාහිත්‍යයටද අපමණ නිර්මාණ බිහිකළද ඔහු වඩාත් අභිවන්දනයට ලක් වන්නේ රුසියානු කාව්‍ය සාහිත්‍යයේ දී වෙයි.

මෙසේ රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ හිනිපෙත්තේ සිටි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වර්ෂ 1837 පෙබරවාරි මස 27 වන දින ද්වන්ධ සටනකදී මරණයට පත්විය. මිය යන විට මේ විශිෂ්ඨ සාහිත්‍යධරයාගේ වයස අවුරුදු තිස්හතකි.

වර්තමානයේදී ද රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ හිනිපෙත්තේ සිටි කවියා ලෙස සැලකෙන්නේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වේ..

මීළඟ ලිපි ඔස්සේ තවත් රුසියානු ස්වර්ණමය යුගයේ කවීන් පිළිබඳ සොයා යමු.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *