‘මන්දිර කැළඹූ අරගලය’ කෘතියේ පිටකවරය ගැන පෙසප ප්‍රධාන ලේකම් පුබුදු ජයගොඩ සටහනක් තබයි

‘මන්දිර කැළඹූ අරගලය’ කෘතියේ පිටකවරය ගැන පෙසප ප්‍රධාන ලේකම් පුබුදු ජයගොඩ සටහනක් තබයි

පුබුදු ජයගොඩ

කර්තෘ අයිතිය සහ බුද්ධිමය දේපල වල පෞද්ගලික අයිතිය සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා තිබියදී වුව, ඒ ගැන විවිධ මතවාදී සංවාද තිබියදී වුව, නීතිමය ගැටළුවක් නොතිබුණු තත්වයක් තුළ වුව ඒ පිළිබඳව අප මේ ගැන සංවේදී විය යුතුව තිබුණා.

‘මන්දිර කැළඹූ අරගලය’ කෘතියේ පිටකවරය සම්බන්ධයෙන් විවාදයක් ඇතිවී තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍යයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම කෘතිය සඳහා මැදිහත් වූයේ 2022 වසරේ පැනනැගුණු ජන අරගලය සම්බන්ධයෙන් දේශපාලන කියැවීමක් කරන අර්ථයෙන්. පොතේ අන්තර්ගතය අරගලය සම්බන්ධ දේශපාලන විශ්ලේෂණයකට වෙන්වූ අතර එය ජන අරගලයට පක්ෂපාතී ලේඛනයක්.

එහි පිටකවරය නිර්මාණයේදී එම අන්තර්ගතයට ගැලපෙන අයුරින් අරගලයේ සංකේතයක් පිට කවරයට යොදා ගැනීමට තීරණය කර තිබුණා. අරගලයේ සංකේත බඳු ඡායාරූප කිහිපයක් තිබුණු අතර මිරිහාන උද්ඝෝෂණයේ උක්ත ඡායාරූපයත් එවැනි ජනප්‍රිය සංකේතයක්. එය ඒ වන විටත් විවිධ මාධ්‍ය වල අරගලය සඳහා යොදාගෙන, ෆේස්බුක් වල Profile Pictures ලෙස පවා යොදාගෙන පොදු සංකේතයක්ව තිබුණා. පොදු ජනතා අරගලයකදී, එම අරගලය සංකේත්වත් වන ඡායාරූප මින් පෙරත් මේ ආකාරයටම පොදුවේ භාවිතා වූ නිසාත්, එම ඡායාරූප ගත් ශිල්පීන් හෝ එම ඡායාරූප වල සිටින උද්ඝෝෂකයන් ඒවා සිය පෞද්ගලික අයිතියක් ලෙස සලකනවාට වඩා ඒවා පොදු සමාජමය දේපල ලෙස සලකන සම්ප්‍රදායක් තිබූ නිසාත් පිටකවරය නිර්මාණය කිරීමේදී ඒ සඳහා විශේෂ අවසරයක් ගැනීමට සිතුවේ නෑ. ඒ වගේම පිටකවරයට මුල් ඡායාරූපය යොදාගෙන නොතිබූ අතර යොදා ගත්තේ එහි ලාංඡනයක් වැනි යමක් වීම නිසා අවසර ගැනීම පිලිබඳ අවධානය තවත් ගිලිහී ගියා.

නමුත් දැන් එම ඡායාරූපය ‘මන්දිර කැළඹූ අරගලය’ කෘතියට යොදා ගැනීම සම්බන්ධයෙන් එම ඡායාරූපයේ නිර්මාපකයාට යම් අගතියක් සිදුවූවාක් වැනි අදහසක් නිර්මාණය වී තිබෙනවා. කර්තෘ අයිතිය සහ බුද්ධිමය දේපල වල පෞද්ගලික අයිතිය සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා තිබියදී වුව, ඒ ගැන විවිධ මතවාදී සංවාද තිබියදී වුව, නීතිමය ගැටළුවක් නොතිබුණු තත්වයක් තුළ වුව ඒ පිළිබඳව අප මේ ගැන සංවේදී විය යුතුව තිබුණා. මෙය ලාභ ඉපැයීමේ අරමුණකින් වෙනත් කෙනෙකුගේ නිර්මාණයක් අනවසරයෙන් භාවිතා කිරීමට සමාන කළ නොහැකි අතර මෙම කෘතියේ පිරිවැය පියවා ගැනීම හැර ඊට වැඩි යමක් කෘතියට සම්බන්ධ කිසිවෙකුත් අපේක්ෂා කළේ නෑ. කෘතියේ පළමු මුද්‍රණය මේ වනවිට අවසන්ව ඇති අතර ඉදිරි මුද්‍රණවලදී මේ කරුණ සම්බන්ධයෙන් අප අවධානය යොමු කරනවා.

(පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජයගොඩ ෆේස්බුක්හි තැබූ සටහනකින් උපුටා ගන්නා ලදී)

ඡායාරූප අන්තර්ජාලයෙනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *