ජයන්ත කහටපිටිය
බඳුන පුරා එකතු කර
ඔය ගෙනයන්නෙ
මල මූත්‍රා නොවෙයි
මගේ ආශාවයි උමා
උණු හිරු රැස් ගලන
හරිත පෑ වන රේඛාව පිස එන
තඹ පාට වැල්ලට කඩා පනින
කරදිය බිඳිති විසිරෙන
සහජාසයන් බල මුළු ගන්වුණු
ඒ පෙරදිග සුළඟ
රාගයේ ලැවුගිනි අවුලා
දවයි සියොළඟ
ජීවයද මරණයද
එකට අනා තැනූ
පාර්වතී පිළිරුව
ආශාවෙ විදුලි කෙටුමක
මැවී මැකී යයි..
ශිව පාශයෙහි බැඳගත්
උමයන්ගනා
මේ වද මල් පොකුර
නුඹටයි
රතුම රතු පාවාඩ
වද මල් පොකුර
මිහිරිම ගෙතුමක් නොවෙද
පෙම් කවියක
මල් පොකුර මල බඳුනේ දමා
මල මූත්‍ර බඳුන හිස තබා
පාවාඩ පාගාගෙන
පාර්වතී මෙන් පා තබන
මගේ කටී පෙදෙසේ ගින්න අවුලා
ආශාවේ දැළ වියා
එහි නොපැටලී
දෙවඟනක මෙන් පා තබන
හිත් පිත් නැති ගැහැනිය
නුඹ
මගේ ආදරේ මිල නොදත්
සක්කිලි කෙල්ල
මගේ වහලිය
මා වියරු වට්ටන…
*පුනර්ජිවයේත් ව්‍යසනයේත් දෙවඟන ලෙස සැලකෙන්නේ පාර්වතිය හෙවත් උමා ය. ඇය ශිවගේ පෙර මෙහෙසියයි .