වත්සුකී කරුණානායක
නුඹ ඔතන ඉන්නවද?
මන්දාලෝකය ඉතුරු වෙන හැන්දෑවරුවලදී
තාමත් ප්‍රේම ගී මුමුණනවද?
ප්‍රියතම පොතක් අතැතිතව
උපැස් යුවල නළල මත රඳවා
නිදිබරව අලස සුව විඳිනවද?
දුම්දමන සුදුළූණූ සුපය
මා මෙන්ම ඇයත් පිළියල කරනවද?
උදෑසන එන දෙමලිච්චන්ගෙ කන්කරච්චලේට
තාමත් ඇස් හීනී කරනවද ?
ලා කහපාට උදා අව්තීරු
ලැටිස් අස්සෙන් ඔය කාමරේටත් වැටෙනවද?
ළමයි නැතුවද හොඳ?
දැන් වගේ ඇතුවද හොඳ?
අහන්නට තව දහක් දේ තියනවා
ඒත් උත්තර දෙන්න ඔබ නෑ කියා
විදුලියක් වගේ හැඟෙනවා
තාමත් පුරුද්දට වගෙ රටාවට
මම මිදුල අමදිනවා
විටෙකදී උසට වැටෙන හේමලයෙක්
මා පහු කරන් ඇඳෙනවා
ඉස්තෝප්පුවේ හාන්සි පුටුව තාම තියනවා
නොපෙනුණත් ඔබ එතන ඉන්නවා
හීන්වට ඡායාව පෙනෙනවා!