සන්සුන්ව (පැබ්ලෝ නෙරුඩා)

සන්සුන්ව (පැබ්ලෝ නෙරුඩා)

පරිවර්තනය – කල්ප රාජපක්ෂ
Keeping Quiet – පැබ්ලෝ නෙරුඩා

දැන්,
මම දොළහට ගනිමි
අපි
නිහඬ වෙමු

එකම එක වතාවක් මේ මිහිතලය මත
යම් බසකින් කරන මේ කතාව අපි නවත්වමු
මොහොතකට අපි නවතිමු
අපේ දෑත්වල චලනයන් මදක් නවතමු

කිසිදු කලබලයක් හෝ එන්ජිම් ඝෝෂාවකින් තොර ඒ මොහොත
අපුර්ව එකක් වනු ඇත
ක්ෂණික නන්නාඳුනන බවක් තුළ
අපි එකිනෙකාගේ උරිස් මත බව අපට පසක් වනු ඇත

ශීත සාගරයේ මසුන් මරන්නෝ
තල්මසුන් නොමරනු ඇත
ලුණු ලේවායේ කම්කරුවා, මොහොතකට
තමන්ගේ පුපුරු ගසන දෑත් දෙස බලනු ඇත

කිසිවෙක් නොමැරී ඉතිරි නොවන ජයක් වෙනුවන්
සොබාදහම සමග යුද කරන්නෝ
අලුත් ඇදුම් ඇඟ ලා ගෙන, කිසිවක් නොකර
තම සොහොයුරන් සමග එකම සෙවනක
ඇවිද යනු ඇත

මේ සන්සුන්කම
නිෂ්ක්‍රීයත්වය යැයි වික්ෂිප්ත නොවන්න
ජීවිතය යනු ජීවිතය කුමක් වෙනුවෙන්ද යන්න මිස
මට මරණය සමග ගනුදෙනුවක් නැත

යම් හෙයකින්
අපි වහලුන් නොවුණි නම්
අපේ ජිවිත ම පමණක් ඉදිරියට තල්ලු කරන
සහ එකම එක වතාවක් කිසිවක් නොකර සිටිය හැකිනම්
ඇතැම් විට,
අපිට අපිව නොතේරෙන
හුදු මරණයම පමණක් ජීවිතය වූ
මේ මහා ශෝකයේ ඝෝෂාවට එදිරිව
මහා නිහඬතාවක් පැනනගිනු ඇත
ඇතැම්විට, මේ මිහිතලය
මියගිය සියල්ල තුළ අපි මෙතෙක් නොදුටු ජීවයක්
සැගව ඇති බව අපට කියනු ඇත

දැන්,
මම දොළහට ගනිමි
ඔබ සන්සුන්ව සිටින්න
මම නික්ම යමි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *