පැබ්ලෝ නෙරූඩා
පරිවර්තනය – කල්ප රාජපක්ෂ
ඔබේ දෑත්
නැගෙන විට මා වෙත, ආදරිය,
ඒ පියාසැරියෙන් ඒවා මා වෙත ගෙන ආවේ මොනවාද?
හදිසියේ මගේ තොල් මත
ඒ දෑත් නැවතුනේ මන්ද?
බොහෝ කල් පටන් දන්නා බවක්
මට ඒවායින් දැනෙන්නේ මන්ද?
මා ඒවා ස්පර්ශ කළා
ගමන් කරන්නට පෙර
මගේ නළලට, ඉඟටිය දෙසට?
ඒවායේ මෘදුබව මා වෙත පැමිණියේ
කාලය විනිවිදිමින්,
සාගරය සහ දුමාරය අභිබවමින්,
වසත්කාලයට ඉහළින්
තවද,
ඔබ ඔබේ දෑත්
මගේ පපුතල මත වැතිරූ කල,
ඒ හිරණ්‍ය පරවියන්ගේ පියාපත්
මා හැදින ගත්තෙමි
ඒ පාෂණ පැහැයත්, වයිරම් පැහැයත්
මම දැන සිටියෙමි.
ජිවිතයේ ඉකුත් වූ අවුරුදු,
මට සෙවීමේ මංතලා විය,
පියගැටපෙළ නැගීම්,
සමුදුරුපර තරණයන්,
යකඩ යක්කු මාව ඉදිරියට විසිකර දැමු අතර
ජලතලා මා ආපසු කැඳවන ලදී,
මිදිඵල සිවිය මට දැනුනේ
මා ඔබව ස්පර්ශ කළාක් මෙනි
ළඳුකැලෑවලට හදිසියේම ඔබව සම්මුඛ විය.
කොට්ටම්බා ගස් සන් කරන්නේ
ඔබේ සැඟවුනු මටසිලිටු බවටයි,
මේ සියල්ල,
ඔබේ දෑත් ඒවායේ ගමන නිමා කර,
මගේ පපු තලය මත,
පියාපත් දෙකක් මෙන්,
පියවෙන තුරු පමණයි.
+