ධනංජය කරුණාරත්න
රාජ්‍ය නාට්‍ය උළෙලේ එක්තරා අර්බුදකාරී අංශයක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ තමයි සම්මත නාට්‍යවල සාමාන්‍යයෙන් පිළිගැනෙන සිද්ධාන්ත සහ ආකෘති ඉක්මවා ගිය රංග නිර්මාණ ඉදිරිපත් වුණහම ඒවා සලකා බලන්නේ කොහොමද කියන එක. ඒවා අතර කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය කියන ප්‍රවර්ග දෙකට ම හසුනොවන, ධාවන කාලවල නාට්‍යවල සිට සාමාන්‍යයෙන් ප්‍රොසීනියම් රංග ශාලාවල පෙන්නන්නට බැරි නාට්‍ය ඇතුළු අලුත්, වෙනස්, නව ආරක හෝ පර්යේෂණාත්මක රංග නිර්මාණ තියෙනවා . මෙවර ද ඒ සම්බන්ධයෙන් කීපදෙනෙක් මාත් සමග සාකච්ඡා කරපු නිසා මෙය ලියන්න හිතුනා
මේ සඳහා මගේ යෝජනාව නම්, හොඳ ම පර්යේෂණාත්මක රංග නිර්මාණය (The best experimental play) නමින් අලුත් ඉසව්වක් උළෙලට ඇතුළත් කළ යුතු බවයි. මෙතැනදී සැලකිල්ලට ගන්නේ උළෙලේ විනය නොවන අනිත් සියලුම නාට්‍ය විනිශ්චය සඳහා ඇති නිර්ණායකයන් ,කෙටි නාට්‍ය – දිගු නාට්‍ය සීමාවන්ද ඇතුළුව, සීමාවන් බිඳ දමමින් සාර්ථකවන රංග නිර්මාණයයි. එම අංශයේ දී නාට්‍යය කියන නම පවා යොදා නොගත යුතු අතර ඒ වෙනුවට ‘රංග කාර්ය’ නමින් නාට්‍ය අතික්‍රමණය කරන රංග කාර්යයන් වලට අවස්ථාවක් සැලසිය යුතුයි. ඒවා විනාඩි දෙක තුනේ සිට පැය හත අට දක්වා ඕනම ධාවන කාලයක තියෙන්න පුළුවන්.
ලෝක නාට්‍ය කලාවේ සාමාන්‍යයෙන් පර්යේෂණාත්මක නාට්‍ය කියන්නේ දෙනු ලැබූ යම් කාලවකවානුවක හෝ සංදර්භයක වඩා ම නව ආරක ලක්ෂණ පෙන්නුම් කරන හෝ සම්මත සීමාවන් අතික්‍රමණය කරන රංග නිර්මාණයි.
ඒ අනුව අනිත් නාට්‍යවල අපිට දකින්නට නැති යම් යම් අංග ලක්ෂණ මොනවා හෝ ඒවා තුළ අලුතින් පෙන්නුම් කළ යුතුයි. මේවට කාලයකට උඩදී පෙරටුගාමී හෝ ඇවන්ට්ගාඩ් (Avant-Garde ) කියන නම පාවිච්චි කළ ද, ලෝක නාට්‍ය කලාවේ නම් දැන් එම නම පාවිච්චි කරනවා හරි අඩුයි. ඒ වෙනුවට පර්යේෂණාත්මක (experimental) නිර්මාණ කියලා තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් නාට්‍ය නොවන භාවිතයේදී ‘පර්යේෂණාත්මක’ කියන වචනයේදී ගම්‍ය කෙරෙන පරිදී අවිනිශ්චිත, අවිශ්වාස සහගත හෝ ස්ථාපිත වෙලා නැති වැනි අදහසක් නාට්‍යවලට අදාලව පර්යේෂණාත්මක කියන වචනය මතු කරන්නේ නැහැ. කෙසේ හෝ උළෙලකට යොදා ගන්නේ නම් මෙය වඩා පුළුල්ව නිර්වචනය කරගත යුතුයි.
ඒ අතර කල්පනාකාරී විය යුතු කරුණ නම් මොනවා හෝ කවුරුත් නොකරන දෙයක් කළ පමණින් කෘතියක් ලෙසට සාර්ථක වෙනවාද කියන කාරණය. උදාහරණයකට, ප්‍රොසීනියම් වේදිකාවට හදපු සාමාන්‍ය නාට්‍යයක් ළිඳක් ඇතුලේ හෝ වහළයක් උඩ පෙන්නූ පමණින් සාර්ථක වෙයිද? මේ නිසා පර්යේෂණාත්මක අංශයේ සාර්ථකත්වය නිරීක්ෂණය කිරීම සාමාන්‍ය අංශයට වඩා අතිශය කල්පනාකාරී විය යුතු අතර ඒ සඳහා පරීක්ෂණාත්මක රංග කලාව ගැන දැනුවත් විනිශ්චය මණ්ඩලයක් ද අවශ්‍යයි.
රාජ්‍ය නාට්‍ය උළෙල ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ හොඳට සහ නරකට යන දෙකටම බලපාලා තියනවා. සමහරු නාට්‍ය නිෂ්පාදනය කරන්ඩ වඩා පෙළඹුණේම මෙම නාට්‍ය තරගය නිසා වන අතර සම්මාන නාට්‍යකරුවන්ගේ පැවැත්මට අනුග්‍රහයක්ද වුණා. අනිත් පැත්තෙන් මම කලින් කිව්ව පරිදි වඩාම පර්යේෂණාත්මක සහ විනිෂ්චය මණ්ඩලවලට හසු කර ගන්නට බැරි වුණු කෘති බැහැර වුණා. ඒ වගේම උළෙලේ කොන්දේසි ද එවැනි නිර්මාණවලට සීමාවන් ඇති කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ නාට්‍ය උළෙලක් කියන්නේ නීති රීති අඩු ම, නාට්‍යකරුවන්ට නව මං පෙත් සොයා ගෙන ගවේෂණය කර ගෙන යාමට ධෛර්යය දෙන නාට්‍ය උළෙලකටයි.