සොම්බි මනාලිය, කොළ කටුසු මිනිසා සමඟ ඔෂාන් යාපාගේ විශේෂ අංගරචනා පිළිබඳ කතාබහක්….

සොම්බි මනාලිය, කොළ කටුසු මිනිසා සමඟ ඔෂාන් යාපාගේ විශේෂ අංගරචනා පිළිබඳ කතාබහක්….

සංවාදය – කේ.ඩී. දර්ශන

01. ඔෂාන් යාපා කිව්වම එක පාරටම දැන් මගෙ ඔළුවට එන්න ගන්නව ‘සොම්බි මනාලිය’ සහ ‘කොළ පාට හූනු මිනිසාව’…කලින් ඔෂාන් කිව්ව ම මතක් වුණේ මගේ සරසවි සගය… ඊට පස්සෙ ලාංකීය සිනමාවේ ඉතිහාසය හොයන් ගිය ඔෂාන්… දැන් සොම්බි මනාලියයි – කොළ පාට හූනු මිනිහයි… කවුද ඔෂාන් මේ අය….?

ඔෂාන් යාපාගේ සොම්බි මනාලිය සහ කටුසු මිනිසා

සොම්බි මනාලිය ඒ ක්‍රමයට ලංකාවේ පළමු වතාවට කරපු Makeup එකක්… මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයෙ 2019 Cosmetology (රූපලාවන්‍යවේදය) ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රායෝගික කටයුත්තක් විදියට තමයි සොම්බි මනාලිය කියන ඒ ෆොටෝෂූට් එක අපි නිර්මාණය කළේ. මම ඔවුන්ගේ Cosmetology විෂයට අදාළව දේශන පැවැත්වූවා.

ඒ වගේම කොළපාට හූනු මිනිසා කියල ඔබ කියපු Lizard Man, එහෙමත් නැත්නම් කටුසු මිනිසා කියන කන්සෙප්ට් එක රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයෙ Television Programme Production Technology කියන විෂය ඒකකයට අදාළව, ඒ විෂය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරපු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට හඳුන්වන්න පුළුවන්.

මේ සියලුම දේවල් නිර්මාණය කරල තියෙන්නෙ Prosthetic Makeup කියන තාක්ෂණයට. ඒක ලෝකයේ භාවිත වන විශිෂ්ට අංගරචනා ප්‍රයෝග ක්‍රමයක්.

ඔෂාන් යාපා අමරසේකර

02. Prosthetics කියන්නෙ මොකක්ද ?

සරලව අර්ථ දැක්වුවොත්, Prosthetics කියන වචනය සරල සිංහලෙන්  කෘතිම වගේ අදහසක් තමයි ගේන්නෙ. ලංකාව ඇතුළෙ අපි මේකට භාවිත කරන නම තමයි බද්ධ අංග රචනය. මේක සාමාන්‍ය අංග රචනයෙන් එහා ගියපු පර්යේෂණාත්මක වැඩක්.

ඒ වගේම මේකෙ ජීවවිද්‍යාත්මක කොටසකුත් ඇතුළත් වෙලා තියෙනවා. Prosthetic Makeup කරනකොට අපි ජීව විද්‍යාව සම්බන්ධ දේවල් දැනගෙන ඉන්න ඕනෙ. අපි ගනුදෙනු කරන්නෙ නළුවෙක්ගෙ, නිළියෙක්ගෙ ශරීරයත් එක්ක. සමත් එක්ක. එතකොට අපි දැනගන්න ඕනෙ Makeup එකක් කරද්දි එයාගෙ මසල්ස් එක මොනවද? එයාගෙ අස්ථිය මොකක්ද? නහර මොනවද? කැපුමක් ආවට පස්සෙ ඒ කැපුම කොහොමද සිද්ධ වෙන්නෙ… ලේ එන්නෙ කොහොමද?

ඔෂාන් අංග රචනය කළ කැපුම් පහරක් සහ Bloom Skin Virus

වෛද්‍ය විද්‍යාත්මක පැත්තක්, ජීවවිද්‍යාත්මක පැත්තක් තියෙන කලාවක් Prosthetic කියල කියන්නෙ. අපි මේක අඳුන්වන්නෙ Prosthetic Makeup SFX කියල. SFX කියන්නෙ Special Effects කියන එකේ කෙටි යෙදුම. සිංහලෙන් කියනව නම් විශේෂ ප්‍රයෝග බද්ධ අංග රචනය කියල තමයි අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නෙ.

මේක සාමාන්‍ය අංග රචනයෙන් එහා ගිය එකක්. සාමාන්‍ය අංග රචනයේදි අපි Makeup අමුද්‍රව්‍ය පාවිච්චි කරල සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගෙ මුහුණ මත පින්තාරු කිරීමනෙ කරන්නෙ. Prosthetic Makeup එකකදි සිද්ධ වෙන්නෙ සම මත ගොඩනැගීමක්. Sculpture එකක්. ඒ ගොඩනැගීම කරන්නෙ අපි බද්ධ අංග රචනයකින්. ඒ ගොඩනැගීම එයාගෙ සමට අපි බද්ධ කරනවා. බද්ධ කරල කියල හොයාගන්නවත් බැරි වෙන්න තමයි බද්ධ කරන්නෙ. ඒ නිසා තමයි ඒකෙ තියෙන සජීවී බව, තාත්වික බව වැඩිවෙන්නෙ.

03. බැලූ බැල්මට මේක ඉතාම අපූරු, ආකර්ෂණීය වැඩක්… කොහොමද ඔබට Prosthetics  වලට පාර හම්බෙන්නෙ?

මම කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා විශේෂවේදී ගෞරව උපාධියක් හදාරලා ඉන්න අතරෙ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්යවරයෙක්  වන ගයාන් මධුසංක අයිය තමයි මාව ෆිල්ම් ටීම් ආයතනයට සම්බන්ධ කරන්නෙ. ඒ ටීම් එකේ ඉන්නව එරල් කෙලී මහත්මය. එල්ස්ලි මහත්මය. ඒ දෙන්නට මාව හඳුන්වලා දෙනවා.

විශේෂයෙන්ම 2018 වර්ෂයේ ලංකාවට එනවා චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක්. එයාලා ලංකාවේ රූගත කරනව The Good Karma Hospital කියල ටෙලි කතා මාලාවක්. මේ ෆිල්ම් ටීම් ප්‍රඩක්ෂන් හවුස් එකට මම සම්බන්ධ වුණාම, ඒ අය මාව සම්බන්ධ කරනව මේ  Prosthetic Makeup අංශයට. මම ඒකෙදි අමුද්‍රව්‍යයන් ගැන, එහි තාක්ෂණය ඇතුළු දැනුම, මම මේ The Good Karma Hospital ටෙලි කතා මාලාව හරහා ලබා ගන්නවා.

The Good Karma Hospital

මට මේ විෂය ඉගැන්නුවෙ එංගලන්තයේ සුප්‍රකට විශේෂ ප්‍රයෝග අංග රචනා ශිල්පියෙක් වන  ඩේවිඩ් ජෝන්ස් කියන පුද්ගලයා. එතුමා යටතේ තමයි මම මේ විෂය හැදෑරුවෙ. අවසානයේ ඔහු මට සහතික පත්‍රයකුත් පිරිනැමුවා. ඒක තමයි මට Prosthetic වලට පාර හම්බෙන ක්‍රමය.

මම මේ වෙලාවෙ විශේෂ ස්තුතියක් කරන්න අවස්ථාව කරගන්නව ගයාන් අයියට, එරල් කෙලී මහත්මයට සහ ඩේවිඩ් ජෝන්ස් කියන තුන්දෙනාට.

04. ලෝක මට්ටමින් මේ විෂය ගැන කතා කරන්න ගියොත් නම් අපිට පිහාටුවේ පිටු ගණනාවක් පුරවන්න වෙයි. එච්චර දිගට ලිව්වම දැන් පාඨකයො කියවන්න කැමතිත් නැහැනෙ.ඒ නිසා ලංකාවට සීමා කරල මේ ගැන ටිකක් කතා කරමුද? Prosthetic ලංකාවේ භාවිත වෙන්නෙ මොන මට්ටමින්ද? (අතීතය,වර්තමානය සහ අනාගතය ගැන කෙටියෙන්)

Prosthetic කලාව ඇතුළෙ Makeup කියල කියන්නෙ එකක් විතරයි. අපිට සමහර අවස්ථාවලදි Prosthetic Dummy පාවිච්චි කරන්න තියෙනව. සිංහලෙන් කියන්නෙ අනුරූ කියල. නළුවෙක්ට නිළියෙක්ට කරන්න බැරි අවස්ථාවකදි අපිට සිද්ධ වෙනව අනුරුවක් පාවිච්චි කරන්න.

උදාහරණයක් විදියට අපි The Good Karma Hospital ටෙලි කතා මාලාවේදි පාවිච්චි කළා සීසර් ඔපරේෂන් එකක්. ඒ ඔපරේෂන් එකේදි සීසර් කරල, ළමයව එළියට ගන්නව. ඒකෙදි ඇත්ත බබෙක් පාවිච්චි කරන්න බැහැ. ඒ සඳහා අපි Baby Dummy එකක් නිර්මාණය කළා.

ලංකාව පැත්තට හැරුණට පස්සෙ, ලංකාවේ මම දකින ප්‍රධාන ගැටලුවක් තමයි අපේ චිත්‍රපටවල විශේෂ ප්‍රයෝග අංගරචනය භාවිත වෙන්නෙ ගොඩක් අඩුවෙන්. ප්‍රධානම ප්‍රශ්නය තමයි අමුද්‍රව්‍යවල ගැටලුව. ඒ වගේම විශේෂ ප්‍රයෝග අංග රචනයක් කරන්න විශාල කාලයක් සහ විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා.

මට මතක් වෙනවා, ලංකාවෙ මුල් කාලෙ, ඒ කියන්නෙ 1958 තිරගත කළ වන මොහිනී චිත්‍රපටය. වන මෝහිනී චිත්‍රපටයෙ තමයි ලංකාවෙ ඉස්සල්ලාම Dummy එකක් පාවිච්චි කරල තියෙන්නෙ. ඔවුන් අලියෙක්ගෙ කකුලක් නිර්මාණය කරල තියෙනවා. ඒ චිත්‍රපටයෙ තියෙනව එක නළුවෙක්ගෙ හිස පාගන දර්ශනයක්. එතනදි අලියෙක්ගෙ කකුලක් විදියට ඩමි එකක් තමයි පාවිච්චි වෙන්නෙ.

තව, නොමියෙන මිනිසුන් කියල චිත්‍රපටයක් තියෙනවා ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු. ඒක තමයි ඉස්සල්ලාම නළුවෙක් වෙනුවෙන් ඩමි එකක් හදපු චිත්‍රපටය. ගාමිණී ෆොන්සේකා ඒ චිත්‍රපටයෙදි යුද්ධයකට යනව. බෝම්බයකට අහුවෙලා ඔහුව දෙකට කැඩෙනවා. ඒ දෙකට කැඩෙන දර්ශනය පෙන්වන්න භාවිතා කරල තියෙන්නෙ ඩමි එකක්.

වන මොහිනී (1958), නොමියෙන මිනිසුන් (1994), කැඩපතක ඡායා (1989)

ඒ වගේ ම තමයි මම අපේ සිනමා ඉතිහාසයේ දැකපු විශිෂ්ටතම විශේෂ ප්‍රයෝග අංග රචනය තිබුණ චිත්‍රපටය විදියට වසන්ත ඔබේසේකරගේ කැඩපතක ඡායා (1989) චිත්‍රපටය හඳුන්වන්න පුළුවං. ඒකෙ තියෙනවා ඇසිඩ් ගහන දර්ශනයක්. විශේෂයෙන් ම ස්වර්ණා මල්ලවආරච්චි සහ විජය කුමාරණතුංග තමයි මේ චරිත නිරූපණය කරන්නෙ. නන්දාවතී ධනරත්නට ඇසිඩ් පාරක් ගහනවා. ඒක පියවර තුනකින් තමයි විශේෂ ප්‍රයෝග අංග රචනය කරල තියෙන්නෙ. ඒක ඇසිඩ් බර්න් එකක් විදියටයි නිර්මාණය කරල තියෙන්නෙ.

ලංකාවෙ චිත්‍රපටවල විශේෂ ප්‍රයෝග අංග රචනා භාවිත කරනවා. නැත්තෙ නැහැ. මෑත චිත්‍රපටවලත් අපි දැකල තියෙනව විශේෂ ප්‍රයෝග අංග රචනා භාවිත කරනවා. නමුත් ලෝකයේ ගත්තට පස්සෙ, විශේෂයෙන්ම ඩමි කියන කන්සෙප්ට් එක ගත්තට පස්සෙ ගොඩක් ම දුරස්ථ පාලකවලින් තමයි ඒ ඩමි පාලනය කරන්නෙ.

උදාහරණයක් විදියට Jurassic World වගේ චිත්‍රපටයක් ගත්තට පස්සෙ ඒ ඩයිනෝසර්ල ඔක්කොම ඩමීස් තමයි පාවිච්චි කරල තියෙන්නෙ. අපි ඒවට කියන්නෙ රොබෝටික් ඩමි කියල. ඒ කියන්නෙ රොබෝ තාක්ෂණයෙන් නිර්මාණය කරපු අනුරූ… එතකොට ඒව රොබෝ තාක්ෂණයෙන් නිර්මාණය කරන්න වෙනම කට්ටියක් ඉන්නව, නිර්මාණය කළාට පස්සෙ Prosthetic නිර්මාණ කරන්න වෙනම අංශයක් ඉන්නවා. ඒ විදියට තමයි මේ විෂය ලෝක මට්ටමේදි වැඩ කරන්නෙ.

නමුත් ලංකාව ඇතුළෙ ගත්තට පස්සෙ එහෙම රොබෝටික් මගින් වැඩ කරන තත්වයක් අපිට පේන්න නැහැ. විශේෂයෙන් ම මගේ ඔය බේබි ඩමි එක පාවිච්චි කළා සජිත ඇන්තනීගෙ කළුවර මියුසික් වීඩියෝ එකට. අපි ඒකෙදි කළේ, ඒක රොබෝටික් ඩමි එකක් නොවන නිසා, නූල් දාලා ඒ මගින් ළමයගෙ චලනයන් නිර්මාණය කළා.  

ඔෂාන් යාපා බේබි ඩමියක් සමඟ

ප්‍රධානම කාරණය තමයි ලංකාවෙ මේක භාවිත වෙන්නෙ අඩුවෙන්. ඒකට හේතුව තමයි විශාල පිරිවැයක් දරන්න වෙන එක. මේ අමුද්‍රව්‍ය ලංකාවෙ නැහැ. මේ සියල්ලක් ම අපිට ඇමරිකාවෙන් හෝ යුරෝපීය රටකින් ගෙන්නන්න වෙනවා. ඒ සඳහා විශාල බදු මුදලක් යනවා. ලංකාවෙ චිත්‍රපට සඳහා අපිට තියෙන ප්‍රාග්ධනය එක්ක විශේෂ ප්‍රයෝග අංග රචනයට යන්න අපහසුයි. නමුත් භාවිත වෙන අවස්ථා අපි දැකල තියෙනවා.

ඒ වගේ ම තමයි ලංකාවෙදි මේ වෙනුවට භාවිත කරනව ලේටෙක්ස් (Latex) කියන අමුද්‍රව්‍ය. ලේටෙක්ස් කියල කියන්නෙ දියර රබර් (Liquid Rubber) කියන එක. ඒක ලංකාවෙ බහුලව භාවිත වෙනව. සිලිකන් (Silicone) කියන එක තමයි ලෝකයේ පාවිච්චි කරන තත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය වෙන්නෙ.  සිලිකන් එකේ තියෙන කොලිටි එක අපිට ලේටෙක්ස් එකෙන් ගන්න බැහැ.

මෙන්න මේක තමයි අපි දකින, ලංකාවෙ භාවිතාව සම්බන්ධයෙන් තියෙන ලොකුම ගැටලුව.

මං කැමතියි ඔබට ප්‍රශ්නය යොමු කරද්දි බොහොම කෙටියෙන් ඒක යොමු කරන්න. එතකොට වඩා හොඳ නිරවුල් උත්තරයක් ලබා ගන්න පුළුවං කියල මට හිතෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු!

05. අවසාන ප්‍රශ්නය අපි වෙන් කරන්නෙ ඔබේ වැඩ කටයුතු ගැන කතා කරන්න.

මම දැනට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙනවා. ලංකාවේ තියෙනවා විශ්වවිද්‍යාල විද්‍යායතන හයක්. ඒ විශ්වවිද්‍යාල විද්‍යායතන හයෙන් මේ විෂය සම්බන්ධව විද්‍යායතන හතරක මම ඉගැන්වීම් කටයුතු සිදු කරනවා.

ඒ අනුව මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනය, කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය, රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය සහ යාපනය විශ්වවිද්‍යාල විද්‍යායතනය කියන යුනිවර්සිටි කොලේජ් හතරෙ මම මේ විෂයට අදාළ දේශන කරනව. ඒ වගේ ම තමයි මේ ආයතන හතරෙ තියනව කොස්මැටලොජි කියල විෂය ධාරාවක්. කොස්මැටලොජි යටතේ තියෙනවා Advance Makeup කියල මොඩියුල් එකක්. ඒ මොඩියුල් එක තමයි මම කරන්නෙ.

ඒ වගේ ම තමයි රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයෙ තවත් දෙපාර්තමේන්තුවක් තියනව Television Programme Production Technology කියල. මම ඒ දෙපාර්තමේන්තුවේ ඉගෙන ගන්න විද්‍යාර්ථීන් වෙනුවෙනුත් විශේෂ ප්‍රයෝග අංග රචනය සහ නිෂ්පාදන සැලසුම් කරණය (Production Designing) කියන විෂයන් ඉගැන්වීමේ නිරත වෙනවා.

ඒ වගේ ම තමයි ලංකාවේ වෘත්තාන්ත චිත්‍රපටයකට සහ කෙටි චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ චිත්‍රපටවලටත් විශේෂ ප්‍රයෝග අංග රචනය භාවිත කරන්න නියමිතයි.  ඒ කාරණා ඔබට ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මම දැනට මගේ සමාජීය විද්‍යාපති උපාධිය සම්පූර්ණ කරමින් ඉන්නව. ඊට අදාළ පර්යේෂණය සිදු කෙරෙන්නෙ විශේෂ ප්‍රයෝග අංග රචනා සම්බන්ධව. මගේ ලොකුම බලාපොරොත්තුව මේ විෂය සම්බන්ධව ඔබට කියවන්න පුළුවන් විදියෙ පොතක් නිර්මාණය කරල ඒ පොත ලබන අවුරුද්ධ වෙද්දි අනිවාර්යයෙන් එළිදක්වන්නයි.

ඒ ටික තමයි මගේ වැඩකටයුතු සම්බන්ධව දැනට කියන්න තියෙන්නෙ.

ඔෂාන් යාපාගේ විශේෂ ප්‍රයෝග අංග රචනා කිහිපයක්

(ඡායාරූප – ඔෂාන් යාපා අමරසේකරගෙන් හා අන්තර්ජාලය ආශ්‍රයෙන්)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *