රුසියානු ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය (රුසියානු සාහිත්‍ය ඉතිහාසය – 5 කොටස)

රුසියානු ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය (රුසියානු සාහිත්‍ය ඉතිහාසය – 5 කොටස)

ඉමාෂා ධර්මසේන

රුසියානු සමාජයේ සිනහවෙන් සැඟව ගිය කඳුළ, පන්හිඳෙන් ගෙත්තම් කළ නිකොලායි ගොගොල්

නිකොලායි ගොගොල් වර්ෂ 1809 දී රුසියාවේ කොස්සැක් ප්‍රදේශයේ පොල්ටාවා නගරයේ උපත ලැබීය. ගොගොල්ගේ පියා ද සාහිත්‍ය සම්බන්ධයෙන් උනන්දුවක් දැක් වූ පුද්ගලයෙකි. එම නිසා ඔහුට සාහිත්‍ය නුහුරු නුපුරුදු දෙයක් නොවීය. ගොගොල් පළමුවරට ලිපිකරුවකු වශයෙන් රජයේ සේවයට බැඳුණු ද කෙටි කාලයක දීම තමා ලිපිකරුවෙක් නොව, සැබෑ ලෙස ම සාහිත්‍යයකරුවෙක් බව ඔහු අවබෝධ කර ගත්තේය.

ගොගොල්ගේ පළමුවන කෘතිය වන්නේ වර්ෂ 1832 දී ප්‍රකාශයට පත් වූ “ඩිකන්කා අසල ගොවිපළක ගත කළ රාත්‍රිය” නම් වූ කෙටි නවකතා සංග්‍රහයයි. නිකොලායි ගොගොල් ස්වකීය නිර්මාණය ඇසුරින් හාස්‍ය උත්පාදනය කළ ද ඔහුගේ නිර්මාණයන්ට සැමවිටම වස්තු විෂය වූයේ රුසියානු දූෂිත දේශපාලනය ඔස්සේ ඇති වන්නා වූ මානව පීඩනයයි. ගොගොල් ස්වකීය නිර්මාණ ඇසුරෙන් ගොඩ නැගූ පුද්ගලයෝ සර්වකාලීන, සර්වදේශීය හා සර්වසමාජීය පුද්ගලයන් වූහ. ඊට හේතු වූයේ එවැනි පුද්ගලයන් රුසියාවට පමණක් සීමා නොවී ලොව සෑම සමාජයක් තුළ ම, සෑම සංස්කෘතියක් තුළ ම හා සෑම රට තුළ ම නිර්මාණය වූ බැවිනි. වර්ෂ 1836 දී ගොගොල් විසින් රචනා කරන ලද “Revizor” “ඉන්ස්පෙක්ටර් ජනරාල්” නමැති හාස්‍යෝත්පාදක නාට්‍ය, එකල රුසියාවේ පළාත් පාලන ආණ්ඩු ක්‍රමය ඉතා කර්කශක අන්දමින් උපහාසයට ලක්කර රචනා කරන ලද්දකි.

රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ පුද්ගලයන්ගේ ජීවිතවල පවත්නා අඳුරු පැතිකඩ හා දුක්ඛිත ස්වභාවය වස්තුවිෂය කරගනිමින් ගොගොල් රචනා කරන ලද “පිස්සෙකුගේ දින සටහන්“, ” The Diary of a Madman” හා “හිම කබාය” (The Great Coat) ගොගොල්ගේ කෘති අතරින් විශිෂ්ට ගණයේ නිර්මාණයන් දෙකකි. මේ අතරින් හිම කබාය වූ කලී ඔහුගේ අනෙකුත් නිර්මාණයන් අතරින් වඩාත් අවධානයට සේම සහෘද මනස වඩාත් කම්පනයට ලක් කළා වූ නිර්මාණයකි. හිම කබායෙදී අප හමුවට එන අකාකි නම් වූ දිළිඳු ලිපිකරුවාගේ චරිතය රුසියානු සාහිත්‍ය පරිශීලනය කරන්නන්ගේ මනසේ සදාකාලිකව තැන්පත් වූ චරිතයකි. එම නිර්මාණය පුෂ්කින් කවියා ගොගොල් සම්බන්ධයෙන් කියන ලද “ගොගොල්ගේ සිනහවට යටින් කඳුළු කැට සැඟව තිබේ” යන කියමන වඩාත් තහවුරු කරන්නකි.

විශ්ව සාහිත්‍ය තුළ ගොගොල්ගේ භූමිකාව වඩාත් ඔප්නැංවීමට හේතු වූයේ ඔහු විසින් රචනා කරන ලද ‘මළ මිනිස්සු” නම් වූ ශ්‍රේෂ්ඨ කෘතියයි. ගොගොල් වර්ෂ 1842 දී රචනා කිරිම ආරම්භ කරන ලද “මළ මිනිස්සු” (Dead Souls) කෘතිය රුසියානු සමාජයේ තිරය පිටුපස පවත්නා සැබෑ නිරුවත හෙළිදරව් කරන්නකි.

මේ අයුරින් විශ්ව සාහිත්‍යයට අග්‍රගණ්‍ය නිර්මාණ රැසක් දායාද කර නිකොලායි ගොගොල් තම ජීවිතය අවසාන කාලයේ කිසියම් ආකාරයක මානසික ගැටලුවකින් පීඩා වින්දේය. ඒ අනුව තම ජීවිතයේ අවසන් කාලයේ මහත් දුෂ්කරතා රැසකට මුහුණ දුන් ඔහු වර්ෂ 1852 දී ජීවිතයෙන් සමුගත්තේය.

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *