නාට්‍ය නිෂ්පාදනයක දේපළ අයිතිය

නාට්‍ය නිෂ්පාදනයක දේපළ අයිතිය

ධනංජය කරුණාරත්න

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව තුළ ඇති තවත් පැහැදිලි කර ගත යුතු විනය ශික්ෂණය, වෘත්තීය සහ දේපළ අයිතිවාසිකම් පිළිබඳ අර්බුදයක් ගැන කතා කරමු.

නාට්‍යයක් වරක් නිෂ්පාදනය කළ පසු එම නාට්‍යය නිෂ්පාදනය නවතින්නේ කවදාද මොන පදනම් මත ද ? එය නැවත නිෂ්පාදනය කරනවා නම් පෙර සිටි ශිල්පීන්ම ගැනීම හෝ නොගැනීම තීරණය වෙන්නේ කුමන නීති රීති හෝ විනය ශික්ෂණයක් මත ද ? මේ සඳහා අපිට නිවැරදි  ආදර්ශයක් ගැනීමට වෘත්තීය නාට්‍ය කලාව හොඳින් ස්ථාපිත වුණු රටවල සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය විසඳගෙන තියෙන්නේ කොහොමද කියල බලන්න පුළුවන්. නැවතත් මතක් කළ යුතුයි, වෘත්තීය නාට්‍ය කලාව යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍යයෙන්ම මුදලට  රැකියාවට කරන කටයුත්තක් නෙවෙයි, ඊට වඩා විෂයට ආවේණික විනය ශීක්ෂණය නිරවුල් පිලිවෙල, වෘත්තීය අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, දේපල වැටුප් සාධාරණත්වය ආදී සියල්ල සැලකිල්ලට ගෙන ගුණාත්මකත්වය වැඩි කරන්නට උත්සාහ කරන නාට්‍ය කලාවයි.

වෘත්තීය නාට්‍ය කලාව තුළ මෙය විසදන්නේ, යම්කිසි කලා කෘතියකට අපි දායක වුණාට පස්සේ අපට එම කලා කෘතිය තුළ ඇති බුද්ධිමය දේපල අයිතිය සහ ශ්‍රමය පිළිබඳ සාධාරණත්වය නීත්‍යානුකූලව විසඳාගැනීමෙන්. ඒ අනුව නාට්‍යයක් මුලින්ම නිෂ්පාදනය කරන කොට එහි ඉන්නා සියලුම ශිල්පීන් යොදා ගන්නේ රැකියාවකට ශ්‍රමිකයින් යොදා ගන්නා ආකාරයකට සියලුම වෘතීය අයිතිවාසිකම් සහ ඊට අදාළ විනය ශික්ෂණයට යටත්වයි. සාමාන්‍යන් වෘත්තිය නාට්‍ය කලාවක් ඇති රටවල්වල නාට්‍යය නිෂ්පාදනය කරන්නේ නාට්‍ය සමාගමක් හරහා පමණයි.

ඒ අනුව එම ක්‍රමය තුළ නාට්‍යයක් නිෂ්පාදනය කරන කොට  එම නාට්‍යට ශිල්පීය( හෝ වෘත්තිය) දායකත්වය ගන්නේ කවර කාලපරිච්ඡේදයකට හෝ කවර දර්ශන ප්‍රමාණයකට ද යන්න මුලින්ම සියලුම ශිල්පීන් සමඟ ගිවිසුමක් අත්සන් කරනවා. ඒ කියන්නේ ඔවුන්ව එම කටයුක්තට රැකියාවක් ලෙසට යොදාගන්නේ කුමන කාලයකටද කියන එකයි. අපි හිතමු, ශේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍යයේ නිෂ්පාදනයක් යම්කිසි නාට්‍ය සමාගමක් කරන අතර ඔවුන් අධ්‍යක්ෂක ඇතුළු සියලුම ශිල්පීන් අවුරුදු දෙකක කොන්ත්‍රාත් පදනම මත යොදාගන්නවා. ඒ අවුරුදු දෙකෙන් පසුව  එම නිර්මාණය අහෝසි වෙනවා. සමහරවිට අවුරුදු දෙක අහෝසි වෙන්න පෙර ගිවිසුම් කාලපරිච්ඡේදය තව මාස කීපයක්, අවුරුදු දෙකක් තුනක් හෝ කැමති ආකාරයකට  දිගු කරන්න ඔවුන්ට පුළුවන්. එහෙම නැත්නම් එම ගිවිසුමට අනුව එම නිෂ්පාදනය අහෝසි වෙන්නට ඉඩ දී එම අධ්‍යක්ෂක යටතේ ම හෝ  වෙනත් අධ්‍යක්ෂක කෙනෙකු සමඟ කැමති ශිල්පීන් යොදාගෙන එම පිටපතේම තවත් නිෂ්පාදනයක් ඒ සමාගමට කරන්න පුළුවන්. මුල් ගිවිසුම අහෝසි වුනාට පසු නැවත එම පිටපතෙන් නව නිෂ්පාදනයක් කරනවා නම් මුල් නිෂ්පාදනයට නිර්මාණය කළ හෝ ලියපු සංගීතය සහ අනිකුත් වේදිකා සැලසුම් ආදී කිසිවක් එම මුල් ශිල්පීන් සමඟ නැවත ගිවිසුමක් අත්සන් නොකර (අවසරයකින් තොරව) යොදා ගන්නට බැහැ. නාට්‍ය පිටපත පවා නාට්‍ය රචකයාගෙන් ලබා ගන්නේ එම ගිවිසුම අත්සන් කල කාලපරිච්ඡේදයට හෝ දර්ශන ප්‍රමාණය සඳහා කුලී පදනම මතයි. ඒ අනුව අධ්‍යක්ෂක ඇතුළු සියලුම ශිල්පීන්ට තමන් ඉන්නා නිර්මාණයේ අයිතීන් කියන්නට පුලුවන් ඔවුත් අත්සන් කල ගිවිසුම් කාලයට අනුව විතරයි. ගිවිසුමෙන් පසු ද ඔවුන්ට තමන් නිර්මාණය කළ හෝ දායකත්වය දුන් නිර්මාණයක් ලෙසට එම නිෂ්පාදනය හඳුන්වන්නට එයින් බාධාවක් නැහැ. 

සාමාන්යෙන් ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමය තුල, කිසියම් නාට්‍යයක්  අධ්‍යක්ෂකවරයෙකු යටතේ නිෂ්පාදන වුනාට පසු එය හරියට කසාදයක් වගේ මැරෙනකම්ම එහි ශිල්පීන්ට අයිතිකාර දෙයක් විදිහට විශ්වාසයක් තියෙනවා. බොහෝවිට වෘත්තීය නීති රීති ශික්ෂණයකට වඩා අපැහැදිලි හැඳුනුම්කම් විශ්වාස කිරීම හරහා ඇති නිහඩ එකගතා වගයක් තියෙන්නෙ. සමහර විට බොහෝ කාලයකට පසු, අවුරුදු විස්සකට තිහකට පසුව නැවත නිෂ්පාදනය කරන කොට පැරණි ශිල්පීන්ගේ අයිතිකාරත්වය පිළිබඳ අදහස සෑහෙන්ඩ වියැකිලා යන්නට ඉඩ ඇති නමුත් එය අපැහැදිලි දෙයක් ලෙසටයි පවතින්නේ.විශේෂයෙන් වඩා කෙටි කාලයකින් නැවත විවිධ ශිල්පීන්ගේ වෙනස්කම් සහිතව නිෂ්පාදනය කරනවා නම් හිත් තැවුල් මෙන්ම  සාධාරණත්වය විසඳා ගැනීමට ක්‍රමයක් නැහැ. 

එබැවින් මගේ යෝජනාව වන්නේ, ශ්‍රී ලංකාවේ දැන් පවතින අපිලිවලක් ඇති ක්‍රමය තුළ අපට යම් යම් කෙටිකාලීන වාසි හෝ පහසුවක් තිබුණද හැකි තරම් නිවැරදි සාධාරණ වෘතීය පිළිවෙල කරා අප යා යුතු බවයි. අවම වශයෙන් නාට්‍යක් මුලින්ම නිෂ්පාදනය කරන විට ශිල්පීන් සමඟ  ගිවිසුමකට සහ එකගතාවයකට ආදියට එන්නට පුළුවන්නම් බොහෝ ගැටලු සහ සිත් තැවුල් මගහරවා ගන්න පුළුවන්.

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *