ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ ආවර්ජනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ ආවර්ජනයක්

ප්‍රභාත් පට්නායික් (ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලය, ඉන්දියාව)
පරිවර්තනය – කල්ප රාජපක්ෂ (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

“ආදර්ශ” සුබසාධන රාජ්‍යයක් වීමේ සිට දකුණු ආසියාවේ “රෝගී මිනිසා” දක්වා ශ්‍රී ලංකාවේ මෙම අවාසනාවන්ත පෙරළියට වගකිව යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇත්තේ ඉතා අඩු එකඟතාවයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දේ ලියවී ඇති අතර ඒ පිළිබදව බොහෝ කරුණු මේ වන විට අප හොදින් දනිමු (උදාහරණයක් ලෙස සී. පී. චන්ද්‍රසේකර්, ෆ්රන්ට්ලයින් අප්‍රේල් 22 බලන්න): විදේශ ණය විශාල වශයෙන් ගොඩ ගැසීම; රාජ්‍ය මූල්‍ය හිඟය ඉහළ දැමීමට හේතුවූ විශාල එකතු කළ අගය මත බදු සහන, දේශීයව වියදම් කිරීමට පවා රජය විදේශ ණය ගැනීමට සැලැස්වූ අතර; විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ආදායම් ගලා ඒම අඩු කිරීමට බලපෑ වසංගතය හේතුවෙන් විදේශ විනිමය ඉපැයීම් පහත වැටීම; බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඉපැයීම් තම මව් රටට එවීමට නිල මාර්ගයට වඩා නිල නොවන මාර්ගය තෝරා ගැනීම නිසාවෙන් විනිමය අනුපාතිකයේ පහත වැටීමට තවත් තෙරපුමක් එක් විය; විදේශ විනිමය සංචිතවල සීග්‍ර ලෙස පහත වැටීම;  විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා දේශීය ආහාර ධාන්‍ය නිෂ්පාදනයට සැබෑ ලෙසම බලපාන රසායනික පොහොර භාවිතය අවම කරන ලෙසට රජය නිකුත්කළ නියෝගය; යනාදී සාධක මේ අතර වෙයි. 

එහෙත් “ආදර්ශ” සුබසාධන රාජ්‍යයක් වීමේ සිට දකුණු ආසියාවේ “රෝගී මිනිසා” දක්වා ශ්‍රී ලංකාවේ මෙම අවාසනාවන්ත පෙරළියට වගකිව යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇත්තේ ඉතා අඩු එකඟතාවයකි. මෙම බිඳවැටීමේ වගකීම රාජපක්ෂ රෙජීමය භාරගත යුතු බව කවුරුත් පිළිගන්නා නමුත්, ආණ්ඩුවේ වරද ඇත්තේ කොතැනද යන්න පිළිබඳව බොහෝ මතභේද පවතී.

ඇමරිකානු සංස්ථාපිතය (The American establishment ) සහ එරටේ නව සීතල යුධ-රණකාමීන් චීනය සමග ශ්‍රී ලංකා ආන්ඩුව වර්ධනය කර ගන්නා සමීප ආර්ථික සබඳතා මත මේ වන විටත් දොස් පවරා ඇත (ඉදිරි දිනවලදී අපට ඒ ගැන තවත් බොහෝ දේ අසන්නට ලැබෙනු නොඅනුමානය); තවත් සමහරු ශ්‍රී ලංකාවේ විදේශ ණය ගොඩ නැගෙමින් තිබියදී “නිදමින් සිටි” ආන්ඩුවේ “වගකීම් විරහිතභාවයට” ගැන චෝදනා කර දොස් පවරති. සමහර ඉන්දීය විචාරකයින් පවා පවසා ඇත්තේ ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක් ම ශ්‍රී ලංකාව අනුගමනය කළ මාර්ගයේම යමින් සිටින බවත් ඒ පන්නයේ අර්බුදයක් ඇතිවීමට පෙර එය පාලනය කළ යුතු බවත්ය.

කෙසේ වෙතත්, මෙම සියලු පැහැදිලි කිරීම් සමඟ ඇති ගැටලුව නම්, ශ්‍රී ලංකා අර්බුදය අවුලුවාලීමේ දී නව ලිබරල්වාදයේ භූමිකාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමයි. මෙය පැවසීම එකම මන්තරයක් පුනරුච්ච්චාරණය කිරීමක් නොවේ. නව ලිබරල්වාදය යටතේ, ආර්ථිකයේ හොඳම කාලය තුළ පවා වැඩ කරන ජනතාව පීඩාවට පත් කිරීම හැර, සෑම තනි ආර්ථිකයකම සහ සමස්ත ලෝක ආර්ථිකයේ නිෂ්පාදන අතිරික්තයේ කොටස වැඩිවීමෙන් පැන නගින ව්‍යුහාත්මක අර්බුදය හැරුණු විට, තෙවැනි වර්ගයේ අර්බුදයක් තිබේ. විශේෂයෙන් මෙම තෙවැනි වර්ගය කුඩා ආර්ථිකයන් පීඩාවට පත් කරන ආකාරයේ අර්බුදයකි. එවැනි අර්බුදයක් තුළ කුඩා ආර්ථිකවල ඉදිරි ගමන ඉතා සුළු මොහොතකින් වෙනස් විය හැකිය. මම මෙය හඳුන්වන්නේ නව ලිබරල්වාදය විසින් මුදා හරින ලද “අනිශ්චිත අර්බුදය” (contingent crisis) ලෙසයි. එය “ව්‍යුහාත්මක” බවට ට පටහැනිව “අනිශ්චිතව” ගොඩනැගෙනුයේ, මන්ද එය සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයට හෝ එහි විශාල ප්‍රමාණයකට බල නොපා, නිශ්චිත කාලවලදී විශේෂිත රටවලට පමණක් බලපාන හෙයිනි. එහි කැපී පෙනෙන ලක්ෂණයක් නම්, එවන් සිදුවීමකින් පසුව සෑම කෙනෙකුටම ප්‍රඥාව නිරන්තරයෙන් පහළ වීමයි. මෙම අර්ථයෙන් ග්‍රීක අර්බුදය “අනපේක්ෂිත” අර්බුදයක් විය. ග්‍රීසිය විශාල විදේශ ණය ප්‍රමාණයක් ගොඩගසා ගෙන තිබියදී, එම ණය කන්ද ක්ෂණිකව දරාගත නොහැකි බවක් කිසිසේත්ම නොපෙනුනි. ණය තිරසාර නොවන බව සැබැවින්ම පෙනී යන විට, ආර්ථිකය දැනටමත් ණය කපා හැරීමකින් තොරව ගැලවීමේ හැකියාව ඉක්මවා ගොස් තිබුණි. “අනිශ්චිත” අර්බුද, අහම්බෙන් සිදුවන සංසිද්ධි නොවේ; ඒවා නවලිබරල් තන්ත්‍රය සමඟ ආත්මීයව හා ඓන්ද්‍රීයව බැඳී පවතී. ඒවා පැන නගින්නේ හදිසි අර්බුදයක් ඇති වන තුරු කොතරම් ණය ප්‍රමාණයක් “සීමාව ඉක්මවා” ගියේ දැයි කලින් දැන ගැනීමට ක්‍රමයක් නොමැති බැවිනි. නව ලිබරල්වාදය ආර්ථිකයකට හඳුන්වා දෙන අර්බුදය ස්විචයක් ආපිට පෙරළුවාක් මෙන් ක්ෂණික එකකි. එය මා හඳුන්වන්නේ “අනිශ්චිත අර්බුදය” වශයෙනි.

ඇතැමුන් මේ ගැන විවාදයකට එලබෙනු ඇත්තේ ඔවුන් අර්බුද එනවා කල් තියා දුටුවා යැයි කියමිනි. එහෙත් කැසැන්ඩ්රාවන් ගොන්නක් (විනාශයේ අධිපති) කොතරම් එළබෙන තත්ත්වය ගැන දරුණු පුරෝකථන කලත්,  මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ආණ්ඩුවකට, ඕනෑම ප්‍රතිගාමී ආණ්ඩුවකට පවා යම් යම් සීමාවන් තිබේ; එහි වියදම් ආපසු හැරවීමට, එහි සුභසාධන වැඩසටහන් අඩු කිරීමට (ඒවා සීමිත වුවත්), විශ්‍රාම වැටුප් කපා හැරීමට හෝ රජයේ විද්‍යාලවල ගුරුවරුන් සහ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ වැටුප් අත්හිටුවීම එක්වරම කළ නොහැක.

තාවකාලික ගෙවුම් ශේෂ දුෂ්කරතාවක් ලෙස පෙනෙන ආර්ථිකයක් ගැන සලකා බලන්න. බාහිර ණය ගැනීම් හරහා එරට එම දුෂ්කරතාවයට මුහුණ දෙයි, එය පහසුවෙන් කළ හැක්කේ එතෙක් අප සලකා බලන රටකිසිදු අර්බුදයකට මුහුණ දී නොමැති බැවිනි. රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සහ ජනතාවට දුෂ්කරතා ඇති කිරීම සහ දරුණු අවපාතයක් ආරම්භ කිරීම වෙනුවට මෙය වඩා හොඳ විකල්පයක් ලෙස පෙනේ. නමුත් ගෙවුම් ශේෂයේ දුෂ්කරතා මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ටිකක් වැඩි කාලයක් පවතින්නේ නම්, ණය වඩාත් බැරෑරුම් කොන්දේසි මත ඉදිරියට පෙරළීමට සිදු වන අතර, ඉතා කෙටි කාලයක් තුළ ණය කොන්දේසි කෙතරම් අවාසිදායකද තත්ත්වයන්ට පරිවර්තනය විය හැකිද යත්, එම රට අර්බුදයක් දෙස පෙරමග බලා සිටී.

එසේ කීම රාජපක්ෂ ආණ්ඩුව වරදින් නිදහස් නොකරයි. වක්‍ර බදු කප්පාදුව වැනි එහි ක්‍රියාමාර්ග, රාජ්‍ය මූල්‍ය හිඟයක් ඇති කිරීමට හේතු වූ අතර, ඒවා කිසිදු ප්‍රතියෝජක  (countervailing)  සෘජු බදු වැඩිවීමකින් සංතුලනය නොවූ හෙයින් (ධන බදුකරණයේ වැඩිවීම පසුව ඇති වූ අතර ගණන් කළ නොහැකි තරම් සුළු විය), පැහැදිලිවම එය අර්බුදය උග්‍ර කළේය. ශ්‍රී ලංකා සංස්ථාපිතය (the Sri Lankan establishment) විසින් කරන ලද මහාපරිමාණ අක්‍රමිකතා සහ කොමිස් ගැනීම් නොදැක සිටියාක් මෙන් යෙමෙක්ට සිටිය නොහැක. නමුත් මේවා කෙරෙහි පමණක් අවධානය යොමු කර ශ්‍රී ලංකා අර්බුදය දිග හැරුණු නවලිබරල්වාදයේ මූලික සන්දර්භය නොසලකා හැරීමත්, මේ සමස්ත නවලිබරල් ව්‍යාපෘතිය විසින් මේ වන විට විශාල වශයෙන් පාරට බැස ජනතාව මත තවදුරටත් දැඩි පීඩාවක් එල්ල කරන අකාරයත් පිළිබදවත් සරලමතික විශ්ලේෂණයක් වනු ඇත. 

ශ්‍රී ලාංකේය අත්දැකීමෙන් කෙනෙකුට උගත හැකි පැහැදිලි පාඩම් දෙකක් තිබේ. පළමුවැන්න නම් සුබසාධන රාජ්‍යයක් නවලිබරල් තන්ත්‍රයක් සමඟ මුළුමනින්ම නොගැළපෙන බවයි. තුන්වන ලෝක සන්දර්භයක් තුළ ශ්‍රී ලංකාව අතීතයේ ගොඩනගා තිබුණේ යෙමෙකුගේ ඊර්ෂ්‍වට භාජනය විය හැකි මට්ටමේ සුබසාධන රාජ්‍යයකි. එවැනි නවලිබරල් නොවන පාලන තන්ත්‍රයක් තුළ  සුබසාධන රාජ්‍යයකට රටේ විදේශ ණය විශාල නොකර, විවිධ අත්‍යවශ්‍ය නොවන ආනයන කපා හැරීමෙන් විදේශ විනිමය ඉපැයීම්වල හදිසි පහත වැටීමකට සාර්ථකව මුහුණ දිය හැකිය. කෙසේ වෙතත්, නව ලිබරල්වාදය යටතේ රජයට එක්කෝ සිය වියදම් කපා හැර, එමගින් සුබසාධන රාජ්‍ය ක්‍රියාමාර්ග අඩු කිරීමටත්, සමාහාර ඉල්ලුම අඩු කිරීම සදහා ආනයන අඩු කිරීම හෝ විදේශ ණය වැඩි කිරීම මගින් සුබසාධන රාජ්‍ය ක්‍රියාමාර්ග ඇතුළුව වියදම් ඉදිරියට පවත්වාගෙන යාමට සිදුවේ. ඒ කෙසේ වෙතත්, අප සලකා බැලූ දෙවන අවස්ථාවේ දී, විදේශ විනිමය ඉපැයීම් යථා තත්ත්වයට පත්වීමේ යම් ප්‍රමාදයක් තිබේ නම්, ඉතා කෙටි කාලයක් තුළ ණය කොන්දේසි දැඩි වන අතර රට ණය උගුලකට හසු වන අතර, සුබසාධන රාජ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාම අනිවාර්ය අසමත්කමකට එරට පත්වෙයි. වෙනත් වචන වලින් කිවහොත්, රටකට සුබසාධන රාජ්‍ය ක්‍රියාමාර්ග නවලිබරල් පාලන තන්ත්‍රයක් සමඟ ඒකාබද්ධ කළ හැකි බව ටික කලකට පෙනුනද, මේ දෙක අතර නොගැලපීම ක්‍රමයෙන් පෙරට එනු ඇත. සරලව සමස්ත පද්ධතියට ඇතිවන පළමු කම්පනය සාමාන්‍ය තත්වයන් යටතේ යම් කාලයක් සැඟවීය හැකි ඉහත සදහන් කළ නොගැලපීම තීරණාත්මකව හෙළි කරනු ඇත. 

මෙය බොහෝ ආර්ථික විද්‍යාඥයන් තර්ක කරන දෙයට පටහැනිය. නවලිබරල් තන්ත්‍රය “ආයෝජක හිතකාමී වාතාවරණයක්” ඇති කිරීම මගින් විදේශ ආයෝජන ආකර්ශනය කර දේශීය ආයෝජන උත්තේජනය කරන අතර එමඟින් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඉහළ දමා ගත හැකි බව ඔවුහු විශ්වාස කරති. එමගින් සුභසාධන රාජ්‍යයේ ලක්ෂණ පුළුල් කළ හැකි බව ඔවුන්ගේ අදහසයි. මෙම තර්කයේ පැහැදිලි අඩුපාඩු දෙකක් ඇත: පළමුව, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය වැඩිවීමක් හුදුව නොව, ධනවතුන්ට නිසි ලෙස බදු ගෙවීමේ කොන්දේසි පනවන්නේනම් නම් මිස සුබසාධන රාජ්‍යයක් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. එමෙන්ම  “ආයෝජන වාතාවරණය” පවත්වා ගැනීමේ උමතුවෙන් සිටින රජය කිසි විටෙකත් බදු වැඩි නොකරන්නේ නම් සුභසාධනය රාජ්‍ය සිහින රාජ්‍යයක් පමණි. දෙවනුව,  අප ඉහත  සාකච්ඡා කළ පරිදි, නව ලිබරල්වාදයට පෙර යුගයේ සිට සුබසාධන රාජ්‍ය ක්‍රියාමාර්ග රටට උරුම වූවත්, ඒවා දිගටම කරගෙන ගියත්, නව ලිබරල්වාදය සහ සුබසාධන රාජ්‍යයක පැවැත්ම නඩත්තු කිරීම අතර ගැටුමක් නොමැති බව පෙනී ගියත් පද්ධතියට සිදුවන ඕනෑම කම්පනයක් එවැනි මායාවකින් වහාම අප මුදවනු ඇත. 

ශ්‍රී ලාංකීය අත්දැකීමෙන් ලැබෙන දෙවන පාඩම නම් නව ලිබරල්වාදය යටතේ සෑම රටක්ම එවැනි “අනිශ්චිත අර්බුදයකට” ගොදුරු විය හැකි බවයි. ශ්‍රී ලංකාවට සිදුවී ඇති දේ නවලිබරල් පාලනයක් තුළ පැටලී සිටින ඕනෑම රටකට සිදුවිය හැකිය. බොහෝ ඉන්දියානු විචාරකයින් ප්‍රාන්ත ආන්ඩුවලට එරෙහිව ඉල්ලා සිටින පරිදි, නව ලිබරල් පාලන තන්ත්‍රය තුළ රාජ්‍ය වියදම් කපා හැරීම සහ සුබසාධන රාජ්‍ය ක්‍රියාමාර්ග අඩු කිරීම මගින් නොව, නවලිබරල් තන්ත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම මගින් පමණක් පමණක් මේ අර්බුදයෙන් ගැලවීමේ ඉදිරි මග වැටී ඇත. නිසැකවම, මෙය පහසු නොවනු ඇත, නමුත් එය හැර කිසිදු විකල්පයක් නොමැත. ශ්‍රී ලංකාණ්ඩුවේ වරදකාරීත්වය ඇත්තේ එය විසින් ඒරට නවලිබරල්වාදයේ අත්අඩංගුවට ගෙන යාම බව පැවසිය හැකි නමුත්, ඇත්ත වශයෙන්ම ආණ්ඩුවලට වෙනත් විකල්පයක් නොමැති තරම්ය. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය නවලිබරල් තන්ත්‍රයක් අනුගමනය කරන තැනට රටවල් ඩෝසර් කර සමතලා කර දමයි. 

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *