ඉක්වදෝරයේ ජනතාව ඇමසන් වනාශ්‍රිත ප්‍රදේශයේ තෙල් කැණීමට එරෙහි වෙයි

ඉක්වදෝරයේ ජනතාව ඇමසන් වනාශ්‍රිත ප්‍රදේශයේ තෙල් කැණීමට එරෙහි වෙයි

මෙලනි ගුණතිලක

අවුරුදු දොළහක් පුරා කරපු සටනක ප්‍රතිඵලයක් විදිහට තමයි තමන්ගේ ගෙදර, උපන් බිම, මහ පොළොව රැක ගැනීම වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන්න ඔවුන්ට හැකියාව ලැබුණේ.

මේ දවස්වල ඉක්වදෝර ජනතාව ඔවුන්ගේත්, ඔවුන්ගේ දරැවන්ගේත් විතරක් නෙවෙයි, ලෝකෙ වර්තමානයේ ජීවත් වෙන සහ ඉපදෙන්න ඉන්න අයගෙත් ජීවිතවලට ඉතා වැදගත් තීරණයක් ගන්නවා.

ඒ තමයි ඇමසන් වනාන්තරයේ ඉක්වදෝරයට අයිති කොටසේ තියෙන යසුනි වනෝද්‍යානය ආරක්ෂා කරන්න ගන්න තීරණය. මේ යසුනි ප්‍රදේශයේ එක හෙක්ටයාරයක ඇමරිකාවත්, කැනඩාවත් කියන රටවල් දෙකටම වඩා ශාක විශේෂ තියෙනවා. හෙක්ටයාර මිලියන ගාණක් පුරා විහිදෙන යසුනි වනාන්තරය ලෝකයේ ජෛව විවිධත්වය ඉහළම තැනක් විදිහට සලකන්නේ ඒ නිසයි.

ඊට අමතරව මේ කැලෑව තවත් සුවිශේෂ වෙන්නේ ස්ව කැමැත්තෙන් දියුණු යැයි සම්මත ලෝකයෙන් හුදකලා වෙලා ජීවත්වෙන ඉක්වදෝරයේ අන්තිම ආදිවාසී ප්‍රජාවන් වෙන තගාරි (Tagaeri) සහ තරෝමෙනේන් (Taromenane) ප්‍රජාවන්වල වගේම වොරානි (Waorani) ප්‍රජාවේත් නිජභූමිය නිසා.

ඒත් ලෝකය පුරාම වටිනා පරිසර පද්ධති විනාශ කරමින් යන තෙල් සමාගම් මේ වනාන්තරයට ගැලවෙන්න දුන්නෙත් නෑ.  දැනටමත් වනෝද්‍යානයේ නැගෙනහිර කොටසේ Ishpingo-Tambococha-Tiputini (ITT) කියන ව්‍යාපෘතිය හරහා තෙල් සමාගම් එහෙට ගිහින්.

ෆොසිල ඉන්ධන සමාගම්වල තෙල් කැණීම් පරිසර විනාශය, දූෂණය, සංස්කෘතික සූරාකෑමට එක්ක තව සමාජ ගැටළුත් රාශියක් නිර්මාණය කරලා තියෙනවා. ඊට එරෙහිව අවුරුදු දොළහක් පුරා කරපු සටනක ප්‍රතිඵලයක් විදිහට තමයි තමන්ගේ ගෙදර, උපන් බිම, මහ පොළොව රැක ගැනීම වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන්න ඔවුන්ට හැකියාව ලැබුණේ.

 ‘“බ්ලොක් 43 ලෙස හඳුන්වන ITT ප්‍රදේශයේ බොරතෙල් දින නියමයක් නොමැතිව යටි පසේ තබා ගන්න ඉක්වදෝර රජය සමඟ ඔබ එකඟ වෙනවාද?”

මේක තමයි ජනමත විචාරණයයෙදි ඡන්දදායකයින්ට පිළිතුරු දෙන්න තියෙන ප්‍රශ්නය.

ජනතාව මේ තීරණයට එකඟවෙන බව මත විමසීම් හතරකින්ම පෙන්නුම් කළා. හැබැයි මේ අගෝස්තු 9 වනදා ප්‍රචාරක උත්සවයකින් පස්සේ ජනාධිපති අපේක්ෂක ප්‍රනාන්දු විලාවිසෙන්සියෝව වෙඩි තබා ඝාතනය කරන්න කලින්. රට පුරා කම්පන රැල්ලක් ඇති කරපු මේ බියගුළු ඝාතනයෙන් පස්සේ ජනාධිපති Guillermo Lasso දින 60 ක ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා. ඒ වගේම සිවිල් නිදහස සීමා කරමින් සහ මහජන ආරක්ෂාව මිලිටරි පාලනයට බාර කළා.

ඒත් ආදිවාසී ක්‍රියාකාරීන් කියන්නේ පසුගිය අවුරුදු පහක් පුරා ඉක්වදෝරයට වද දීපු ප්‍රචණ්ඩත්වය තවත් සන්නද්ධ මිනිසුන් පාරට ගෙනාවට නවත්වන්න බෑ කියලා. දේශපාලකයන්ව මිලට ගත්ත තෙල් සමාගම් කැණීම්, නිස්සාරණය, පොම්ප කිරීම, ප්‍රවාහනය වගේ කටයුතුවලදි ඔවුන්ගේ මාවතේ හමුවෙන වනාන්තර, වාසස්ථාන හෝ ඕනෑම දෙයක් කඩාගෙන ඉදිරියට යනවා. ඒ වගේම නීති විරෝධී මත්ද්‍රව්‍ය සමාගම් දේශපාලනඥයන්, පොලිස් බලකායන් සහ හමුදාවන් මිල දී ගෙන නගර පුරා ඔවුන්ගේ බලය ව්‍යාප්ත කරනවා. ඔවුන්ට විරැද්ධ වෙන අයව මරා දානවා. මත්ද්‍රව්‍ය ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට රට හමුදාකරණය කිරීම තෙල් කැණීම නැවැත්වීමට තවත් ඉංජිනේරුවන් යැවීම වගේම විහිළුවක් බවයි ඉක්වදෝරයේ ආදිවාසීන් කියන්නේ.

මේ භීෂණයත්, තෙල් සමාගම්වල පරිසර විනාශයත්, ලාභ වෙනුවෙන් නිර්මාණය කරන සමාජ ගැටළුත් එකම මංකොල්ලයක පියවර බවට ඉක්වදෝර ආදිවාසී ජනතාව හඳුනගෙන තියෙනවා. නමුත් තමන්ගේ භූමිය, තමන්ගේ ජීවිත ගැන නියෝජිතයන්ගේ තීරණ වෙනුවට සෘජුව ජනතාවට තීරණ ගන්න ඉඩ ලැබීම හරහා යසුනි වනාන්තරයේ වටිනා ජෛව විවිධත්වයත්, ආදිවාසීන්ගේ භූමියත්, ජීවිතත් ආරක්ෂා කරගන්න ඉඩ ලැබෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා.

මූලාශ්‍රය – https://amp.theguardian.com/commentisfree/2023/aug/18/stop-oil-ecuador-fossil-fuel-democracy

ඡායාරූප – අන්තර්ජාලයෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *