සංවාදය – ලක්මාල් බෝගහවත්ත
🔴 ජිනදාස දනන්සූරිය සාහිත්‍යයට අත්පොත් තබන්නෙ කෙටිකතාකරුවෙක් විදිහට. ඒත් අද වෙද්දි ඔබේ ලේඛනාවලියේ වැඩියෙන් ම තියෙන්නෙ ශාස්ත්‍රීය පොත්. ජිනදාස දනන්සූරිය කියන නිර්මාණකරුවාට මොක ද වුණේ….?
ඉස්කෝලෙ යන කාලයේ ඉඳල කෙටිකතාව ප්‍රගුණ කරන්න තමයි මම උත්සාහ කළේ. ඒ කාලයේ අපේ ගුරුවරු වුණු ප්‍රේමචන්ද්‍ර දිසානායක, ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ වගේ අය මට හුඟක් අනුග්‍රහ කළා කෙටිකතා කලාව වර්ධනය කරගන්න. පසුකාලයෙදි විශ්වවිද්‍යාලයටත් ඇවිත් කෙටිකතා දෙකක් විතර ලිව්වා. ඔව්, මගේ මුල් ම පොතත් කෙටිකතා සංග්‍රහයක්. හැබැයි පසුකාලීන විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙදි ශාස්ත්‍රීය පැත්තට නැඹුරුවීම නිසා අත්දැකීම් රසවින්දනය කිරීම වෙනුවට සංකල්ප පස්සෙ යෑමක් සිද්ධ වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට හුඟක් දේවල් හදාරන්න, අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. දේශපාලන වශයෙනුත් මගේ හැදෑරීමක් තියෙනවා. කෙටිකතා පොත් දෙකක් සහ කවි පොත් දෙකක් කරල තිබුණත්, නිර්මාණ පැත්තට වැඩිය යොමුවුණේ නෑ. අද ආපහු හැරිල බලද්දි යම් කණගාටුවක් තියෙනවා නිර්මාණ සාහිත්‍යයෙන් ඈත්වීම ගැන.
🔴 ඔබේ අලුත් පොත ‘සාහිත්‍ය නිර්මාණය හා යථාර්ථ ඥානය’. එහි පළමු ලිපියෙදි ඔබ සංවාදයට ලක්කරන්නේ නිර්මාණකරුවෙකු සහෘදයන් ඥානාන්විතභාවයට පත්කරන ආකාරය ගැන. බොහෝ නිර්මාණකරුවො තමන්ගෙ තෘප්තිය වෙනුවෙන් තමයි නිර්මාණකරණයේ යෙදෙන්නේ. ඒ තෘප්තිය කොහොම ද සහෘද ඥානනයට හේතුවෙන්නේ…?
නිර්මාණකරණයේදී ආත්ම තෘප්තිය කියන වචනය බැහැර කරන්න බැහැ. නිර්මාණකරණයේ යෙදිල ආත්ම තෘප්තියක් ලබනවා කියන එකේ තේරුම මොකක් ද? සැබෑ නිර්මාණකරුවෙක් නම් තමන් තමා කෙරෙහි දැඩි ලෙස බලපෑ, තමාව දැඩිව සසල කළ අත්දැකීම් තමයි නිර්මාණයක් සඳහා උපයෝගී කරගන්නෙ. අපි හිතමු සමාජ අසාධාරණයක් සම්බන්ධ අත්දැකීමක් කියල. එතකොට ඒ අත්දැකීම නිසා වන කම්පාව තමයි කවියා හෝ කෙටිකතාකාරයා හෝ නවකතාකාරයා සමාජගත කරන්න කල්පනා කරන්නෙ. මම කොච්චර අසාධාරණයට ලක්වෙච්ච ලෝකෙක ද ජීවත්වෙන්නෙ. ඒ සමාජ අසාධාරණය මම ලෝකයට හඬගා කියනවා. ඒක සන්නිවේදනය කරනවා. ඒක තමයි නිර්මාණකරුවෙක්ගෙ නියම ආත්ම තෘප්තිය වෙන්න ඕන. එහෙම නැතිව බොළඳ ප්‍රේමයක් ගැන තෘප්තියක් ලබල වැඩක් නෑ. දුගී දුප්පත්කම ගැන ප්රචාරක කෘතියක් ලියල ආත්ම තෘප්තියක් ලැබුවට ඉන් වැඩක් නැහැ.
මිනිස් සමාජයේ එකිනෙකා අතර පවතින අන්තර් සම්බන්ධකම්, ඒ සම්බන්ධතා හේතුකොටගෙන මිනිසා මුහුණ දෙන ගැටලු සමහර විට පෞද්ගලික අත්දැකීමක් ආශ්රයෙන් සාහිත්‍යකාරයො ග්‍රහණය කරගන්නවා. හැබැයි ඒ ග්‍රහණය කරගන්නෙ අනෙක් අය වගේ නෙමෙයි. චිත්ත රූප, සංකල්ප රූප මාර්ගයෙන්. ඒක හැමෝටම බැහැ. පුරාණ ග්‍රීක නාට්‍ය අදටත් වලංගුයිනෙ. ඇයි ඒකට හේතුව? කාල, දේශ භේදයක් නැතුව ඒ උසස් කලා කෘති ගැඹුරු මානව අත්දැකීම් නිරූපණය කරන නිසා.
🔴 මානව ශිෂ්ටාචාරවල මුල් අවධියේ බිහිවුණු කලා නිර්මාණවලදිත් ඥානන ගුණය ගැන සැලකිලිමත්වෙලා තියෙනවා ද?
පුරාණ කාලයේ ඉඳල ම සාහිත්‍යය සම්බන්ධයෙන් ‘ඥානනය’ කියන වචනය පාවිච්චි කරල තියෙනවා. සුමේරියන් ශිෂ්ටාචාරයේ තියෙන මැටිපුවරු පොත් හඳුන්වා දී තියෙන්නෙ ‘Wisdom books‘ කියල. සිංහලෙන් කිව්වොත් ‘ඥානගර්භ ග්රන්ථ’. නිර්මාණ සාහිත්‍යයෙන් ඥානය අපේක්ෂා කරන බව තමයි ඒකෙන් අදහස් වෙන්නෙ. ඒවායෙ තියෙන උපහැරණ, උපමා කතා, ප්‍රස්ථාවපිරුළු සාහිත්‍යයේ මූලික අවස්ථාවක්.
සාහිත්‍යයයෙන් ජීවිත පරිඥානයක් සපයන බව අපේ බොහෝ සාහිත්‍යකරුවන් කියා තියෙනවා. වික්‍රමසිංහ මහත්තයත් කියනවා සාහිත්‍යයේ ඥානාත්මක වටිනාකම ගැන. හැබැයි ඒක මොන විදිහට ද වෙන්නෙ කියන එක කොතැනකවත් කතා කරල නෑ. සමහරු සාහිත්‍යයේ උපදේශාත්මක ගුණය ගැන කියනවා. පොදුජනතාවට ඒවා වටිනවා. අපේ උපදේශ සාහිත්‍යයක් තියෙනවා. සුභාෂිතය, ලෝවැඩ සඟරාව වගේ. නමුත් කලාත්මක වටිනාකම අතින් ඒවා සීමාසහිතයි.
🔴 සාහිත්‍ය නිර්මාණයක ගැබ්වෙන ‘කලාත්මක අගය’ ගැන ඔබ කිව්වා. පවතින සමාජ ක්‍රමය විවේචනය කරන විරෝධාකල්පිත සාහිත්‍ය නිර්මාණත් බිහිවෙනවා. විශේෂයෙන් කවි. මේ විරෝධාකල්පිත නිර්මාණවල ඔබ ඔය කියන කලාත්මක ගුණය තියෙනව ද?
ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වගේ කවියො, පියදාස සිරිසේන වගේ නවකතාකරුවො ජාතික සටනට පණපොවන බොහෝ නිර්මාණ බිහි කළා. ඒවායේ සමාජීය සහ සංස්කෘතික වටිනාකමක් තියෙනවා. හැබැයි ඒවා කලාත්මක නිර්මාණ විදිහට සලකන්න බැහැ. මේ කලාත්මක අගය ගැන කතා කරද්දි මට මතක්වෙන්නෙ ලෙනින්ව. වරක් ඔහු යනවා තරුණ කඳවුරකට. යද්දි ඒ තරුණයො හිටියෙ පොත් කියවමින්. ලෙනින් අහනවා මොනව ද සහෝදරවරු කියවන්නෙ කියල. තරුණයො එක හඬින් කියනව අපි මායාකොව්ස්කි ගෙ (Mayakovsky) කවි කියවන බව. ලෙනින් හිනාවෙලා කියනව ‘මම නම් තාමත් කියවන්නෙ පුෂ්කින්’ කියල. මායාකොව්ස්කි හැඳින්වුවෙ විප්ලවයේ කවියා විදිහට. පුෂ්කින් ගෙ කවි සම්භාව්‍ය නිර්මාණ. එක යුගයකට සීමා නොවුණු සාර්වත්රික නිර්මාණ. ලෙනින් කොච්චර විප්ලවවාදී නායකයෙක් වුණත් ඔහු අගය කළේ පුෂ්කින් මිසක් විප්ලවයට සේවය කළ කවියාගෙ කවි නෙමෙයි. ඒකෙන් කියන්නෙ උසස්, කලාත්මක සාහිත්‍යය වඩා වටින බව. අපේ විමලරත්න කුමාරගම කවියාත් යථාර්ථය විනිවිද දැක්ක කවියෙක්. ඔහු යථාර්ථය විනිවිද දැකලා ඒක ඉදිරිපත් කළේ සංකල්ප රූප මාර්ගයෙන්. අපි සහෘදයන් හැටියට යථාර්ථය ඥානනය කරන්නෙ සංකල්ප රූප උපයෝගී කරගෙන. ඒ සංකල්ප රූපය හරි ප්‍රබලයි. අපේ විඥානය ගැටෙන්නෙ ඒ සංකල්ප රූපය මගින් ප්‍රකාශිත සත්‍යය එක්ක. හැබැයි ඒකට සහෘදයෙක් වෙන්න ඕන.
🔴 කවුද මේ ඔබ කියන සහෘදයා….?
හැම පාඨකයෙක් ම හොඳ රසිකයෙක් නෙමෙයි. සාහිත්‍ය නිර්මාණ ආශ්වාදනය කරන එක එක මට්ටමේ අය ඉන්නවා. පහළ මට්ටමේ පාඨකයන්ට යථාර්ථය ග්‍රහණය වෙන්නෙ නැහැ. සංකල්ප රූප මගින් කතුවරයෙක් නිරූපණය කරන යථාර්ථය ග්‍රහණය කරගන්න පුළුවන්වෙන්නෙ සහෘදයෙක්ට විතරයි. සහෘදයා කියන්නෙ කාලයක් තිස්සේ ලෝකප්රවෘත්තිය අත්දැකපු කෙනෙක්. ඒ වගේ ම කාලයක් තිස්සේ කාව්‍ය පරිශීලනයේ නියැළුණු අයෙක්. ඒ විදිහට මුහුකුරා ගිය පුද්ගලයෙක්. ඔහු පැහැදිලි දර්පණ තලයක් හා සමාන මනසක් ඇති අයෙක් විදිහටයි හඳුන්වන්නෙ. ඔහුට කතුවරයා සමග මනසින් සංවාදයේ යෙදෙන්න පුළුවන්.
🔴 ඔබ සහෘදයා ගැන කිව්වා, යථාර්ථ ඥානනය ගැන කතා කළා. මේ හැම දේම පවතින සමාජය හා බද්ධයි. ඇත්තට ම අපේ සාහිත්‍ය හා සමාජය සබඳතාවක් තියෙනවා ද?
ඒ සබඳතාව ඇති කළ යුතු යි. ඒක මූලික වශයෙන් කරන්න පුළුවන් වෙන්නෙ පාසල් අධ්‍යාපනයෙන්. රසාත්මක මාධ්‍යයක් විදිහට සාහිත්‍යය ඉගැන්වීමක් වෙන්න ඕන. සාහිත්‍යය විෂය බාහිර ක්‍රියාකාරකමක්, අවිධිමත් අධ්‍යාපනයේ කොටසක් විදිහට ඉගැන්විය හැකි නම් ඒක හරි ම සාර්ථකයි. අපි ඉස්කෝලෙ යන කාලෙ වුණෙ එහෙමයි. අද විශ්වවිද්‍යාල මට්ටමේදීවත් ඒක වෙන්නෙ නෑ. අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතයෙදි තිබුණා නිර්මාණ සභාව කියල එකක්. මහාචාර්ය විමල් දිසානායක තමයි ඒකට මූලික වුණේ. අපි ලියන කෙටිකතා, කවි මුද්‍රණය කරල, පිරිසක් අතරේ ඒව සාකච්ඡා කරනවා. ඒ වගේ නිදහස් ක්‍රියාකාරකම්වල කොටසක් විදිහට තමයි සාහිත්‍යය ඉගැන්වීම කරන්න ඕනෙ.
🔴 කලාව කලාව වෙනුවෙන්මයි කියන පිරිසක් වගේ ම කලාව ජනතාව වෙනුවෙන්මයි කියන පිරිසකුත් ඉන්නවා. මේ දෙක අතර ඔබ කොතැනද ඉන්නේ…?
කලාව, කලාව වෙනුවෙන්මයි කියන එක හරියට විද්‍යාව, විද්‍යාව වෙනුවෙන්මයි වගේ කතාවක්. සාහිත්‍යය නැත්නම් කලාව ජනතාව සඳහායි කියන එකත් ගැටලු සහගතයි. මොකද ජනතාවගේ සමස්තය ගත්තා ම කලාව, සාහිත්‍යය අත්පත්කරගන්න හැකියාවක් තියෙන්නෙ කී දෙනාට ද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත්, මානසික නිදහස තියෙනව ද? කියන ප්‍රශ්න හමුවේ සාහිත්‍ය කලා සේවනය අහිමිවුණු විශාල පිරිසක් ලෝකයෙ ඉන්නවා. ඒ අය බරපතළ ජීවන අරගලයක යෙදිල ඉන්නෙ.
🔴 ‘මාක්ස්, එංගල්ස් හා සාහිත්‍ය කලා’ ඔබේ පොතේ මා නෙත නැවතුණ තවත් පරිච්ඡේදයක්. ඔවුන් වචනයේ පරිසමාප්තියෙන්ම සහෘදයන්. ‘සාහිත්‍යය කන්න ද?’ කියල අහපු පාලකයො හිටපු රටක තමයි අපි ජීවත්වෙන්නෙ. ඇත්තට ම දේශපාලනඥයකුට සාහිත්‍යය පරිශීලනයේ තියෙන වැදගත්කම මොකක් ද?
සාහිත්‍ය නිර්මාණයක ගැබ්වෙනවා මානවවාදය. මනුෂ්‍යයෙක්ට වඩා යහපත් ජීවිතයක් අවශ්‍යයි කියන මානවවාදී චින්තාව සාහිත්‍යයේ ගැබ්වෙනවා. සෑම විශිෂ්ට ගණයේ සාහිත්‍ය කෘතියක් ම අවසන් වෙන්නෙ පවතින තත්ත්වය වෙනස්විය යුතුයි කියන ධ්වනිතාර්ථය අඟවලා. ටෝල්ස්ටෝයි ගෙ, ඨකූර් ගෙ නිර්මාණ අවසන් වෙන්නෙ ඒ විදිහට. සදාත් හසන් මන්ටෝ කියන පන්ජාබ් ලේඛකයා; ඔහුගෙ කෘති සිංහලට පරිවර්තනය වුණා මෑතකදි. මන්ටෝ ගෙ නිර්මාණ බොහොමයක තියෙන්නෙ ජනවාර්ගික අරගලය හේතුකොටගෙන මිනිස්සු විනාශ මුඛයට ගිය ආකාරය. කුෂ්වාන්ත් සිං ගේ ‘අන්තිම දුම්රිය’ නවකතාවෙ තියෙන්නෙ බොහොම හිතවත්කමින් මුස්ලිම් හා හින්දු ජනතාව ජීවත්වන ගම්මානයක් දේශපාලකයෝ මැදිහත්වෙලා භේද භින්න කරන හැටි. සාහිත්‍යයේ තියෙන මානවවාදය, දේශපාලනඥයන්ට තමන් යා යුත්තේ කිනම් දිශාවට ද කියන සංඥාව ලබා දෙනවා. ඒ මානවවාදය ඇතුළෙ ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය නෑ.
🔴 ඔබේ හිත ගත්ත සිංහල නවකතා මොනවා ද?
වික්‍රමසිංහ මහත්තයගෙ ‘ගම්පෙරලිය’, අමරසේකරයන් ගෙ ‘අසත්‍ය කතාවක්’, සෝමරත්න බාලසූරිය ගෙ ‘වප් මඟුල’, සුනේත්‍රා රාජකරුණානායක ගෙ ‘සඳුන් ගිර ගිනි ගනී’ වගේ නවකතා තමයි මට මේ හදිසියේ මතක් වෙන්නේ.
🔴 ඔබ ඔය කියූ නවකතාවලට සමකාලීන සමාජයේ රිද්මය අසුවෙලා තිබුණා. හැබැයි අද ලියැවෙන බොහෝ නවකතා ඉතිහාස කතාවල හිරවී ඇති බවට චෝදනා නැගෙනවා…
ඓතිහාසික පුවත් නවකතාවකට ගැනීමේ වරදක් නෑ. ඒ වුණාට ඉතිහාසය විකෘති නොකර ඒ වැඩේ කරන්න ඕන. සත්‍ය ඉතිහාසය වාර්තා කිරීමක් නෙමෙයි, පරිකල්පනයක් තමයි එතන සිද්ධවෙන්න ඕන. ඇරිස්ටෝටල් කියනවානෙ ඉතිහාසයේ වෙච්ච දේවල් නෙමෙයි සාහිත්‍යකාරයා ගන්නෙ විය හැකි දේවල් කියල. ඉතිහාසකාරයා තමයි සිද්ධවෙච්ච දේවල් ලියන්නෙ.
🔴 ඇයි නූතන නවකතාකරුවා මේ තරම් ඉතිහාසය හාරන්නෙ. ඔවුන්ට නූතන සමාජ නිල අසුනොවීමේ අර්බුදයක් ද එතන තියෙන්නේ….
මම හිතන්නෙ එහෙම ගැටලුවක් තියෙනවා. වත්මන් සමාජ යථාර්ථය ග්‍රහණය කරගැනීමේ නොහැකියාවක් ඇතැම් නූතන නවකතාකාරයන්ට තියෙනවා. හැමෝම අවුල් ජාලයක පැටලිලා ඉන්නෙ. දෘෂ්ටිමය වශයෙන් කොටුවෙලා. කෙනෙක් ඉතිහාස කතාවක් ඇසුරින් ලියද්දි අනෙකා ඒක අනුකරණය කරනවා. ඒවට තෑගි ලැබෙද්දි ඒ ප්‍රවණතාව තවත් වැඩිවෙනවා.
🔴 අපේ අල්ලපු රට ඉන්දියාවේ ලේඛක ලේඛිකාවන්ගෙ නිර්මාණ වගේ ම ඔවුනුත් මේ වෙද්දි විශ්ව සාහිත්‍යයේ කතාබහට ලක්වන පොත් සහ චරිත බවට පත්වෙලා. ඇයි අපේ සිංහල නවකතාකරුවාට තවමත් මේ දූපතෙන් එහාට යාත්‍රාකරන්න බැරිවෙලා තියෙන්නේ….
ලෝකයට යද්දි යන්න ඕනෙ ජාතික අනන්‍යතාවක් එක්ක. ඉන්දියානු පොත් වුණත් විශ්වයට යන්නෙ ඉන්දියානු අනන්‍යතාව තියාගෙන. ඨකුර් ගේ ‘ගෝරා’ ලෝක මට්ටමේ නවකතාවක්. ඒකෙ විශ්වීයත්වය වගේ ම ජාතික අනන්‍යතාවක් තියෙනවා. ජාතික අනන්‍යතාවක් නැති නිර්මාණ ව්‍යාජයි. ඒ වගේ ම විශ්වීයත්වයත් අවශ්‍යයි. හැබැයි ඒ තත්ත්වයට පත්වෙන්නෙ අපේ නවකතාකරුවන්ට තාමත් බැරිවෙලා තියෙනවා.
(මෙම සංවාදය ප්‍රවීණ පුවත්පත් කලාවේදී ලක්මාල් බෝගහවත්ත සංස්කරණය කරන, අරුණ පුවත්පතේ “ධාරා” සාහිත්‍ය පිටුවේ 2023 දෙසැම්බර් 13 වන දින පළවූවකි. සංස්කාරකවරයාගේ අවසරය පරිදි උපුටා පළකරනු ලැබේ.)
මහාචාර්ය ජිනදාස දනන්සූරියගේ සාහිත්‍ය අස්වැන්න
(පොත් පිටකවරවල ඡායාරූප කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සුදේශ් කවීශ්වරගෙනි)
(ඡායාරූප – ප්රබුද්ධ පිටවලගේ, කථිකාචාර්ය සුදේශ් කවීෂ්වර සහ අන්තර්ජාලයෙන් )