බුද්ධික බණ්ඩාර
අවකාශය භාවිත තලයකදී වඩාත්ම දේශපාලනිකව මතුවූ ස්ථානය ගෝල්ෆේස් අරගලයයි. එම අවකාශය මෙතෙක් වෙනත් මාර්ගවල ගමන් කරමින් සිටි ජාතික, ආගමික, සංස්කෘතික සහ දේශපාලනික ප්රවනතා රාශියක් එකිනෙකට සම්මුඛ කලා. එහි සාර්ථකත්වයට එය ප්‍රධාන සාධකයක්.
ඒත් අවකාශය දේශපාලන ප්රපංචයක් ලෙස අප තවමත් හදුනාගන්නේ අඩුවෙන්.
බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සහ බොබ් ඩිලන්ගේ හමුවීම සැළකෙන්නේ හැටේ දශකයේ සමාජ විප්ලවයට මඟ නිර්මාණය කළ එක් අපූරු සිදුවීමක් හිටියට. මෙය අවකාශය දේශපාලන ප්රපංචයක් ලෙස හදුනා ගැනීමට ඇති ප්‍රබල උදාහරණයක්.
බීට්ල්ස් කියන්නේ හැටේ දශකයේ දී ලෝකයේ සිටි ජනප්‍රියම ගායක කණ්ඩායම. බොබ් ඩිලන් ඒ යුගයේ සමාජ සංවේදී විරෝධතාකල්ප සංගීතයේ ඉහළම තැනක සිටිය ගායකය.
මෙම හමුවීම හරහා බීට්ල්ස් සංගීත කණ්ඩායම තමන්ගේ ගීත රචනා සමාජ සංවේදී සහ කලාත්මක දිශාවකට රැගෙන ගියා. බොබ් ඩිලන් තමන්ගේ විරෝධතාකල්ප සංගීතය ජන සංගීත ආරේ සිට ජනප්‍රිය රොක් සංගීතය දිශාවකට රැගෙන ගියා.
බීට්ල්ස් කණ්ඩායම She loves you වැනි සරල ගීතයක සිට Day in the life වැනි සංකීර්ණ ගීත කරා ගමන් කිරීමත් බොබ් ඩිලන් Blowing in the wind වැනි ජන සංගීත ආරේ ගීතවල සිට Like a Rolling Stone වැනි රොක් ගීත කරා ගමන් කිරීමත් මෙම අපූර්ව හමුවේ ප්‍රතිඵල.
මේ හරහා බටහිර සංගීත ලෝකය තුළ සමාජ සංවේදී විරෝධාකල්ප සංගීත ධාරාව සහ ජනප්‍රිය සංගීත ධාරාව අතර පාලමක් ගොඩනැගුන. මේක නිකන්ම සංගීත ධාරා දෙකක මුහු වීමක් නොවෙයි. මිලියන් ගණනක් මිනිසුන්ගේ සංස්කෘතික නියෝජනයන්ගේ ඒකාබද්ධ වීමක්.
මෙම ඒකාබද්ධ වීම හැටේ දශකයේ සමාජ විප්ලවයට විශාල බලපෑමක් ඇති කලා.
ඒ නිසා වෙන වෙනම අන්ත දෙකක ඝනීගූත වූ සංගීත කුලක දෙකක් වෙනුවට ජනප්‍රිය බටහිර සංගීත ලෝකය තුළ දකින්නට ලැබෙන්නේ ජනප්‍රිය සංගීතය සහ සමාජ සංවේදී විරෝධතාකල්ප සංගීතය එක්ව යන ගමනක්.
බටහිර සංගීත ලෝකයේ ලින්කින් පාක්, නිර්වානා, රේජ් එගේන්ස් ද මෙශින්, කෙන්ඩ්‍රික් ලෙමාර්, ටුපාක් වැනි තියුනු ලෙස මානව සහ සමාජීය කාරනාවලට සංවේදී සංගීත ශිල්පීන්ගේ සංගීත ඇල්බම අතිශය ජනප්‍රියයි. ඒවා කුඩා විකල්ප රසික කව තුළට සීමා වී නැහැ.
තවත් පැත්තකින් එඩ් ෆිරන්, ටේලර් ෆිශ්ට්, ඉමැජින් ඩ්‍රැගන් වැනි පනප්රිය සංගීත ශිල්පීන්ගේ ගීත ඇල්බම තුළ අදවන විට සමාජ සංවේදී දේශපාලන කාරණා ඇතුලත් ගීත දැකිය හැකියි. ඒවා හුදු රිද්මය පමණක් ඉලක්ක කරගත් නිර්මාණ නොවෙයි. මෙය හුදු වෙළදපළ ප්‍රසාරණය කරගැනීමකට එහා ගිය දෙයක්.
මෙම නිසාම ප්රගතිශීලී දේශපාලනයට විශාල සංස්කෘතික බලයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇති වෙලා තිබෙනව.
මේක අපිට වඩා බටහිර මාරයි කියන කතාවක් නෙවෙයි. බටහිර සමාජය තුළ සිදුවූ ඓතිහාසික සමාජීය සිදුවීම් සහ මිනිස් අරගල නිසා ඇතිවූ ප්‍රතිඵලයක්. නැතිව බටහිර බටහිර වීම නිසා සිදූ දෙයක් නොවේ. විශේෂයෙන් මෙම වෙනසට අප්‍රිකානු සහ ආසියාතික කලාපයේ සංගීතය, දර්ශනය සහ අධ්‍යාත්මික ධාරා විශාල වශයෙන් බලපෑව.
බීට්ල්ස් කණ්ඩායම සහ බොබ් ඩිලන් පවා මෙම විපර්යාසයට ලක් වන්නේ හැටේ දශකයේ විකල්ප දේශපාලන සංස්කෘතික අවකාශ හරහායි.
කෝපි අවන්හල්, කලා ගාර, වෘත්තීය සමිති කාර්යාල, වැඩ බිම්, හෝටල්, අන්ඩග්‍රවුන්ඩ් ක්ලබ්ස් සහ වීදි විරෝධතා තුළ මෙම සංස්කෘතික විකල්ප අවකාශ විසිරී තිබුන. මේවා තුළ විවිධ සංස්කෘතික ධාරාවන් මුසු උනා. සැවෝම තමන්ගේ සීමාවන් අභියෝගයට ලක් කර ගත්ත. වෙනත් අයට විවෘත වුනා. හැටේ දශකයේ සමාජ විප්ලවයේ බීජ නිර්මාණය වන්නේ මේ අවකාශ තුළය.
ගෝල්ෆේස් අරගලය නිර්මාණය කල අවකාශය තුළ පවා ජනප්‍රිය කලාව සහ විරෝධාකල්ප කලාව අතර පාලමක් ගොඩනගා ගැනීමට නොහැකි වුනා.
ජනප්‍රිය කලාව ක්‍රමිකව ආන්තික වුනා. සංස්කෘතික ප්රජාතන්ත්රවාදය සටන් පාඨයක් කර ගැනීමට නොහැකි වුනා.
ගෝල්ෆේස් අරගලයෙන් පසු විරෝධතාකල්ප කලාව කලින් තිබූ කුඩා විකල්ප කලා රසික ප්‍රජාව කරාත් ජනප්‍රිය කලාව වානිජ මාධ්‍ය අවකාශ සහ තාඹුගලලාගේ අවුරා ලංකා සුවිශාල ප්‍රසංග අවකාශ කරාත් නැවත ගමන් කරමින් පවතිනව.
මෙම සංස්කෘතික විතැන්වීම අවකාශීය දේශපාලනය පැත්තෙන් ගතහොත් අතිශය බරලතලයි. සමාජයේ ජනප්‍රිය ප්‍රමෝද අවකාශවල ආධිපත්‍යය පැවතියේ මහින්දල සතුවයි. ඒය ගෝල්ෆේස් අරගලයෙන් අභියෝගයට ලක් කෙරුණ. නැවත තාඹුගලල සහ වානිජ මාධ්‍ය හරහා එම ආවකාශය දක්ශිණාංශික, ජාතිකවාදී සහ වානිජවාදී ධාරාව අත්පත් කරගනිමින් කරමින් තිබෙනව.
අනාගත ප්රගතිශීලී සමාජ වෙනසක් සදහා සිහිනය අප මෙම අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද යන්න මත රදා පවතීවි.
ඡායාරූප – අන්තර්ජාලයෙනි