ඩිල්ශානි චතුරිකා දාබරේ
‘වැහැපන් දෙයියා කසපැන් දෙඤ්ඤයි’ කියමින් වැහිබීරමේ අහසට දෑත් නගා කෑගැසූ බාල බොලඳියනට වැසි දියෙන් සංග්‍රහ කළ වැස්ස වලාහක දෙවියන් සිය පිරිවර සමඟ තුසීපුර හෝ සදෙව් ලොවට වී දුන් පිති හරඹයකින් විසිවී ගිය පන්දුව ගුවනේ වැදී විදුලි ගුලි විසිරුණැයි කියමින් අත්තලා මුත්තලා බාලේදී අපව අද්භූත කතාන්දරවලින් මුසපත් කළහ. සක් දෙවියන්ගේ වජ්රායුදයෙන් පහර ලැබ අහසින් නැගුණු හෙණ හඬින් කම්පිත වුවද බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ඇමෙරිකාවේ සිට සේදවලින් නිමි සරුංගලයක් යවමින් අකුණත් විදුලියත් එකිනෙක පෑහෙන්නේ කෙසේදැයි සොයාබැලූවේය. ‘මෙන්ලෝපාර්ක්හි විජ්ජාකාරයා’ගේ විජ්ජාවෙන් නිව්යෝර්ක් හෙරල්ඞ් පත්‍රයේ ශීර්ෂ පාඨය වැසී ගියේය. ‘විදුලි බුබුළෙන් රාත්‍රිය දවාලක් බවට පෙරැළෙයි’
ගුරුළුගෝමීන් කළ ධර්ම ප්‍රදීපිකාවේ සුළු කළිඟු කුමරාගේ සිතෙහි ආලම්භන විභාව උද්දීපනය කරවනසුලූ පරිසර වර්ණනයෙහි ‘ගනකල් නමැති පියා ලළවන විදුලිය නමැති රන්දම’ ලෙසින්ද විප්රලම්භ ශෘංගාරය වඩවන වර්ෂා පරිසරයෙහි ‘විදුලිය හා සම`ග මන වෙව්ලීය’ ලෙසින්ද වැනුමකට ලක්වේ. සද්ධර්මරත්නාවලියෙහි පටාචාරා දියණියට දරුවන් ලැබුමෙහිදී ඒ වේදනාව විස්තර කරන්නේ ‘පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විලිත් පහරනට වන’ ලෙසිනි. රූබන් වික්‍රමාරච්චි මහතා රචනා කළ විදුලි පුරාණය වනාහි ඉහත ඈ පරිද්දෙන් අප මෙතෙක් දැන සිටි විදුලියෙහි නොදුටු ඉතිහාසයේ සැබෑ තතු ගෙනහර දක්වන්නකි.
විදුලි පුරාණයෙහි එන කරුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය.
1. ලෝකයෙහි විදුලි ඉතිහාසය
2. ලංකාවේ විදුලි ඉතිහාසය
ලෝකයෙහි විදුලි ඉතිහාසය යටතේ කතුවරයා ප්රාග් ඓතිහාසික අවධියේ සිට සුමේරියාවේ අකුණු සහිත දෙවියන්ගේ පෙරහරක ලාංඡන, වේද ග්‍රන්ථවල එන විද්‍යුත් ශක්තියට අධිපති ඉන්ද්‍ර දෙවියා, ඇම්බර් කැබැල්ලක් පිරිමදින විට ආකර්ෂණය වන සැහැල්ලූ වස්තු ගැන සෙවූ ග්‍රීසියේ තේල්ස් ගැන අතීත පුවත් දක්වයි.
ඉලෙක්ටි්රසිටි හෙවත් විදුලිය යන වදන ප්රභවය වූයේ ග්‍රීක බසින් ඇම්බර් යන්න හඳුන්වන ඉලෙක්ට්රා යන වදනින් බව දක්වමින් එහි නිරුක්තිය පෙන්වාදෙයි. ඔහු නිව්කමන්, ජෝර්ජ් ස්ටීවන්සන්, ජේම්ස් වොට් ආදීන් නිපදවා වැඩිදියුණු කළ වායුගෝලීය එංජිම, වාෂ්ප එංජිම, ජංගම එංජිම වැනි දෑ සම්බන්ධයෙන් ක්රමානුකූල අධ්‍යයනයක නිරතවී ඇති බව වැටහෙයි. කාර්මීකරණය සහ යටත්විජිතකරණයත් සමඟ විදුලිය සෙසු රටවලට ව්‍යාප්ත වූ ආකාරය දක්වා වූ ශාස්ත්‍රීය ඉගෙනුමකට මෙම කෘතියෙන් පාඨකයා යොමු කෙරේ.
කතුවරයා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ අයෙකි. එහි රාජකාරි කළ කාල පරාසය තුළ ඇඟට පත්තියම් වූ බෙහෙතක් සේ විෂයයෙහි වදන් ඔහු උරාගන්නට ඇත. ශාස්ත්‍රීය ලේඛනයකට සමීප වන තරමෙහි විනයානුකූල භාෂා හැසිරවීමකින්ද, තාක්ෂණික වාග් කෝෂයකින්ද හෙතෙම ශක්‍යතාව පළකරයි. හුදු විස්තර දක්වන දත්ත පන්තියක් නොව මෙය සත්‍ය කරුණු ගවේෂණය කරමින් රචිත පිළිවෙළ සහිත කතාන්දරයක් වැන්න.
විදුලි පුරාණයෙහි දෙවන කොටසින් ලංකාවට විදුලිය ලැබීමේ ඓතිහාසික පුවත දැක්වේ. එදිනෙදා ජීවිතයේදී විදුලි බිල්පත ගෙන එන, විදුලි විසන්ධිවීම් පිළිසකර කරවන නිලධාරීන් අනුව මෙරට වැසියන් ලංකාවේ විදුලි බල පද්ධතිය පිළිබඳව ගොඩනගාගත් ප්‍රතිරූපයට මෙම කෘතියෙන් වටිනාකමක් එක් කිරීමට කතුවරයා සමත් වී සිටී. විදුලි බලය නගරයේ සිට ගමට කැඳවීම, විමලසුරේන්ද්‍ර යුගය, ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය, ඉටිපන්දම් එළියෙන් අත්සන් කළ විදුලිබල ගිවිසුම ආදී වෙසෙස් කරුණු මෙහි වෙයි.
“කොළඹ විදුලි ආලෝකයෙන් බැබළෙනු දකින්නට අප කැමතිය. දුම් දමමින් අමිහිරි ඝෝෂා ඇතිකරමින් දුවන දුම්රිය වෙනුවට වඩා වේගවත් ආරක්ෂාකාරී විදුලි රථ රටේ සෙසු පෙදෙස්වල ධාවනය වනු දක්නට අප කැමතිය. විදුලියෙන් ඉවුම් පිහුම් කෙරෙන සෞම්‍ය ආලෝකයෙන් බැබළෙන සුවපහසු නිවාස දකින්නට අප කැමතිය” යි ලංකාවේ නගරවලට විදුලි බලය සැපයීමේ කර්මාන්තයක් පවත්වාගෙන ගිය වෝකර් පුත්‍රයෝ සමාගමේ ඉංජිනේරු එල්. වෝකර් මහතා දිනක් විදුලිය ජනප්‍රිය කරවීමට කොළඹ පැවති දේශනයකදී පැවසීලූ. හෙතෙම සූත්‍රිකා පහන් යොදාගැනීමේ වාසියද එහිදි ස`දහන් කළේලූ. බටහිර ජාතීන් ලංකාවේ විදුලිබල උත්පාදනය ගැන දැරූ මෙවැනි දුලබ කරුණු අතිශය වැදගත්ය.
අප කතුවරයා විදුලි බලය සම්බන්ධයෙන් ඓතිහාසික සේවාවක් කළ ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතාට මූලික අවධානය යොමවයි. ඒ මහතාගේ සේවය සම්බන්ධයෙන් මෙහි පරිච්ජේද තුනක් ඇතුළත් වේ. 1907දී රජයේ විදුලි ඉංජිනේරුවකු ලෙස සේවයට බැඳුණු විමලසුරේන්ද්‍ර මහතා ලංකාවේ දියඇලි සහ ජලාශ යොදාගනිමින් පහන් ලක්ෂයක් දැල්විය හැකි තරමේ විදුලි බලයක් ලබාගත හැකි යැයි පෙන්වා දුන්නේය.
“කඳුරට දිය ඇලිවලින් වැටෙන එක ජල බිඳක්වත් ටර්බයින් තුළින් මිස ඉවතට ගලායාමට ඉඩනොදිය යුතුය” යැයි ඔහු පැවසුවේ පරාක්‍රමබාහු රජු කළ ප්රාශය 19 වන සියවසට යෝග්‍ය පරිද්දෙන් සකසාගනිමිනි.
එංගලන්තයට ගොස් වැඩිදුර පර්යේෂණ දැනුම ලබාගැනීම, ගංගා හරස් කර වේලි බැඳ විදුලිය ලබාගැනීමේ හැකියාව ගැන සහෝදර සේවකයන් දැනුවත්කිරීම ආදී තත් විෂයෙහිම ඇලී ගැලී කටයුතු කරමින් නොනවතින කැපවීමක් කළ විමලසුරේන්ද්‍ර මහතාට විදුලි පුරාණයෙන් සාධාරණයක් ඉටුවනු පෙනේ. ඔහු සතුව තිබූ කාර්මික ඥානය යුතු පරිද්දෙන් යොදාගැනීම හේතුවෙන් හුළු අත්තෙන්, කුප්පි ලාම්පුවෙන් දිවි ගෙවූ ලාංකිකයෝ මේ වනවිට රැයකදී වුව විදුලි එළියෙන් කටයුතු කරති.
විදුලි පුරාණයෙහි උප ග්‍රන්ථය රූබන් මහතා කුඩා කළ පටන් ආසාවෙන් එකතු කළ මුද්දර එකතුවක් වැන්න. මෙහි ආසාවෙන් පෙරළා බැලීමට තරම් වටිනා ඡායාරූප හා කතාන්දර වෙයි. විදුලිය ලොවට හඳුන්වා දුන් විද්‍යාඥයින් 33දෙනෙකු, ඔවුන් විදුලිය පිළිබඳව පරීක්ෂණ කිරීමේදී මුහුණදුන් රසවත් සිදුවීම්, විදුලිය හා සම්බන්ධ ආඥා පණත්, ලිපි, බිල්පත්, ලංකා විදුලිබල මණ්ඩලයේ මනු කියවුම් යන්ත්‍රවල සේයා රූ, ඓතිහාසික ඡායාරූප, විදුලිය බෙදාහැරීම සම්බන්ධව ක්‍රියාකළ රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන් සහ බටහිර ජාතිකයන්, ඒ හා සබැදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් සහ අග්‍රාණ්ඩුකාරවරුන්, ලංකාවිදුලිබල මණ්ඩලයේ සභාපතිවරුන් පමණක් නොව විවිධ දින වකවානු සහ සිතියම්ද ඇතුළත් මෙම උප ග්‍රන්ථය පමණක් විදුලිය පිළිබ
ද කෞතුකාගාරයක් වැන්න.
එක් ක්ෂේත්රයක හෝ විෂයයක තෝරාගත් මැයක් යටතේ කරුණු ගවේෂණය කළ යුත්තේ කෙසේද, එය පිළිවෙළට සම්පිණ්ඩනය කළ යුත්තේ කෙසේද, සාරාංශ කළ යුතු තැන් සහ විග්රහ කළ යුතු තැන් කවරේද, භාෂාව හැසිරවිය යුත්තේ කෙසේද යන්නට කතුවරයා මෙම කෘතියෙන් ආධුනිකයන්ට ආදර්ශයක් ලබාදෙයි. ඇම්පියරය, වෝල්ටීය පුංජය, සත්ව විදුලිය, විදුලි මනු වැනි සාමාන්‍ය ජනයාට නුහුරු සැඟව තිබූ විෂයානුබද්ධ වදන් කතුවරයාගේ බසින් යළි පණ පෙවී එයි.