සඳ හිරු සෑයක් නිර්මාණය කිරීමේ කිසිදු පාපයක් නැත

සඳ හිරු සෑයක් නිර්මාණය කිරීමේ කිසිදු පාපයක් නැත

විදර්ශන කන්නංගර

සඳ හිරු සෑය පමණක් නොව රුවන් වැලි සෑය පිටුපස ඇත්තේ ද ජන ඝාතක හා මර්දනීය ඉතිහාස කතාවකි. එ’නිසා පූර්ව නූතන අත්තනෝමතික රාජාණ්ඩු ඉතිහාසය තුළ තබා කියවන විට ‘සඳ හිරු සෑයේ‘ ඇති විශේෂ අවුලක් නැත. ලංකාව තුළ ඓතිහාසික බුදුන් යනුත් එවක වෙනත් ජන ප්‍රජාවන් වෙත ‘අවශ්‍ය මොහොතේ’ යුද්ධය කැදවීමේ අනුත්තර නියෝගයක් විය. ලංකාවේ සිංහල-බෞද්ධ යුද ජයග්‍රහණයෙන් පසු උණ්ඩ ඇතුළු ආයුධ උණුකර බුදු පිළිම සැදීමේ පෙළඹුමක් හමුදාව තුළ ඇති වූ බව මහින්ද රාජපක්ෂ අද කියා සිටින විට එය සිංහල බුද්ධාගමට පටහැණි දෙයක් නොවන්නේ එහෙයිනි. ඉතිහාසයේ අඛණ්ඩ ගලායාම පිළිබද ආඛ්‍යානයට අනුව සඳ හිරු සෑයක් නිර්මාණය කිරීමේ කිසිදු පාපයක් නැත.


මෙහි බරපතල අවුලක් පෙනෙන්නේ ඉතිහාසය අඛණ්ඩතාවයක් ලෙස පිළිනොගන්නා තැනදීය. ඉතිහාසය යනු රැඩිකල් ඛණ්ඩනීය නිමේෂයන් තුළ යළි යළිත් ගොඩනැගෙන කතිකාවක් ලෙස හදුනා ගන්නා විටදීය. වෙනත් අයුරකින් කිවහොත් එල්ටීටීඊ ඇතුළු දෙමළ සන්නද්ධ ව්‍යාපාරය හා එළාර වැනි ‘දමිළ ආක්‍රමණිකයන්’ අතර කිසිදු ඓතිහාසික සම්බන්දයක් නොමැති බව නිසැකවම කියවා ගන්නා විටදීය. දෙමළ සන්නද්ධ ව්‍යාපාරය යනු පශ්චාත් යටත් විජිත ජාතික රාජ්‍යයක් ගොඩ නැගීමට ලංකාව අසමත් වීමේ තාර්කික ඵලයයි. එය ජාතික රාජ්‍යය හා ජාතිකත්වය අතර ගොඩනැගූ යුරෝ කේන්ද්‍රීය වෙස්ට්පේලියන් සමීකරණය ලංකාව තුළ යථාර්තයක් කිරීමට නොහැකි වීමේ ප්‍රතිඵලයකි. පශ්චාත් යටත් විජිත ප්‍රභූ දේශපාලනයේ බෙලහීනත්වයකි. ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කතිකාවේ අසමර්ථයකි. සරලවම කිවහොත් පශ්චාත් යටත් විජිත සිංහල-බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දෙමළ වාර්ගික-ජාතිකත්වය බැහැර කිරීමේ හා මර්දනය කිරීමේ විපාකයකි.


රුවන්වැලි සෑය ළගින් සඳ හිරු සෑයක් ඉදිකිරීම විපරීත විකාරයක් වන්නේ මේ අරුතිනි. ඊටත් වඩා ජනවාර්ගික බෙදීම් තවත් තීව්‍ර කරමින් අනෙකුත් ජනවර්ග මත මතවාදී රාජ්‍ය හිංසනය නඩත්තු කිරීමකි.

(සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හා විචාරකයෙක් වන විදර්ශන කන්නංගරගේ ෆේස්බුක් සටහනකින් උපුටාගන්නා ලදී. )

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *