නිර්මාල් රංජිත් දේවසිරි
මේ සටහනින් ආරම්භ කරන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුනු විශ්වය චිත්‍රපටය මුල් කරගෙන ඔහුගේ බුද්ධිම-සෞන්දර්යාත්මක භාවිතය සම්බන්ධව කිරීමට බලාපොරොත්තුවන දීර්ඝ විමර්ශනයකි. මීට පෙර පටන් ගත් මෙවැනි උත්සාහයන් විශාල ගණනක් මෙන්ම මෙය ද එසේ සිදුවේදැයි සැක සහිතය. පොරොන්දු ඉටු කිරීම අවශ්‍ය ම වන්නේ නැති නිසාත්, මෙය මගේ බලාපොරොත්තුව පමණක් නිසාත් ඒ බව මුළින්ම ප්‍රකාශ කරමි.
සිනමා කෘතියක් ලෙස මේ චිත්‍රපටය පිළිබද විමර්ෂනය කිරීම සිනමාව පිළිබද දැනුමක් ඇති අයගේ කටයුත්තකි. මා මේ කෘතිය සලකා බලන්නේ බුද්ධිමය නිෂ්පානයක් ලෙසිනි. ඒ අතින් ගත්කළ මෙය ජයන්ත චන්ච්රසිරිගේ බුද්ධිමය-දේශපාලන ඉතිහාසය සමග ඉතා හොදින් සම්බන්ධ කොට විමසා බැලිය හැකි කෘතියකි.
මේ චිත්‍රපටයේ නම ම ඉතා අර්ථ සම්පන්න වේ. මිදුනු විශ්වය යන්න කාල විරෝධී (Anti-Time) සංකල්පගත කිරීමකි. මේ කාල විරෝධය ජයන්ත චන්ද්‍රසිරිගේ බොහෝ කෘතිවල හොදින් කැපී පෙපෙන අතරම ඔහුගේ සමස්ථ බුද්ධිමය ඉතිහාසය සමග ඉතාම ලඟින් සම්බන්ධ වී ඇති සංසිද්ධියකි. ඔහුගේ අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍ය මාළාවේ ජැක්සන් ඇන්තනි නිරූපනය කරන චරිතය (මට නම මතක නැත – නාගසිංහ ද?) අවශ්‍ය විට කාලය හරහා ගමන් කරයි. ඔහුගේම මරණය සිදුවන ආකාරය බලා සිටී. මහරජ ගැමුණු කෘතිය තුළ කාල මානය වැදගත් වුවද එහි ද කාල විරෝධි පාර්ශවයක් ඇත. එය පසුව කතා කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ අනුව ගත් කළ ජයන්ත චන්ද්‍රසිරිගේ ප්‍රවේශය Cosmological ප්‍රවේශයක් ලෙස හදුන්වා දීමට පුළුවන. මෙම ප්රවෙශය මම පැරනි ඉන්දීය කොස්මොලොජිකල් ලෝක දැක්ම ආශ්‍රෙයන් පැහැදිළි කිරීමට කැමැත්තෙමි. පැරණි ඉන්දීය කොස්මොලොජිකල් ලෝක දැක්ම මහා භාරතය ආශ්රයෙන් තේරුම් ගත හැකිය. ඒ තුළ කාලය ඒ තරම් වැදගත් සංඝඨකයක් නොවේ. කාලය අක්ෂය තුළ සිදුවන දේ දැනටමත් නිෂ්ය වී ඇති සිදුවීමය. හරියට මිදුනු විශ්වය චිත්‍රපටයේ 2020 ගණන් වල සිදුවන දේ 1960 ගණන්වලම තීරණය වී ඇත්තාක් මෙනි.
ජයන්ත චන්ත්රසිරිගේ මේ කාල විරෝධී කොස්මොලොජිකල් ප්‍රවේශයට ඇති අනුරාගය අපි තේරුම් ගන්නේ කෙසේද? මා සිතන ආකාරයට එය පැති කීපයකින් සලකා බැලිය හැකිය. එකක් එය මනෝ විශ්ලේෂණීය ලෙස තේරුම් ගැනීමට පුළුවන. එහි මනෝ විෂ්ලේෂණාත්මක පාර්ශවය තේරුම් ගැනීමට ඔහුගේ සමනල සංධ්වනිය හා ඝර සර්ප යන සිනමා කෘති දෙක වෙත විශේෂයෙන් විශේෂයෙන් අවධානය යොමු කිරීමට බලාපොහොත්තු වෙමි. තවත් ක්‍රමයක් වන්නේ ඔහුගේ කෘතිවල දේශපාලන අඩංගුව විමසා බැලීමයි. විශේෂයෙන් මහරජ ගැමුණු කෘතිය ආශ්‍රෙයන් මේ දේශපාලන පාර්ශවය තේරුම් කිරීමට මම බලාපොරොත්තු වෙමි. (ඒ පිළිබදව මම දැනටමත් “යුද්ධයට පසු ඉතිහාසය“ යන රචනාව තුළ සාකච්ඡා කර ඇත.)
ඊළඟට ඔහු භාවිත කරන කලා තාක්ෂණය ඇසුරෙන් ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පුළුවන. ඔහුගේ අත්, මෝරා වැනි නාට්‍ය මෙන්ම ගරිල්ලා මාකටිං සිනමා කෘතිය ඇසුරෙන් ද මේ පිළිබදව සාකච්ඡා කළ හැක.
(මහාචාර්ය නිර්මාල් දේවසිරි සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සටහනකින් උපුටා ගැණිනි.)
ඡායාරූප අන්තර්ජාලයෙනි