සංවාදය – කේ. ඩී. දර්ශන
1️⃣ මෑතකදී ඔබ ලියූ සහ පරිවර්තනය කළ පොත් පාඨකයා වෙත ගෙන යාම සඳහා විශාල මහන්සියක් දරනව දැක්ක. සමාජ මාධ්‍ය අවකාශවල, සංවාද අවකාශවල වගේ ම ලේඛක-පාඨක හමු ඔස්සේ ඒ කාර්යය කරන්න ඔබ මහන්සි වුණ ආකාරය මා නිරීක්ෂණය කළා… ඇයි තමා ම ලියූ පොතක් පිළිබඳ ප්‍රචාරණයට ඔබ මෙතරම් වෙහෙසෙන්නෙ?
පළවෙනි කාරණය තමයි ඉස්සර වගේ නෙමෙයි දැන් පොත් විශාල ප්‍රමාණයක් පිටවෙනවා. එනිසාම මේ පොත් පිළිබඳව දැනගන්න පවා පාඨක ප්‍රජාවට ලැබෙන්නේ අඩු ඉඩක්. මෙතනදී ප්‍රකාශන ආයතනවලටත් මේක තනියම කරන්න අපහසුයි. මේ නිසාම බොහෝ පොත් සංවාදයකටවත් බඳුන් නොවී කතිකාවෙන් ඉවත් වෙනවා. පසුව ඒවා බාගේන් විදියට ඉතා අඩු මුදලට විකිණෙනවා. මම කැමති නැහැ මගේ පොතක් බාගේන් පොතක් විදියට විකිණෙනවා දකින්න. අනිත් කාරණය පොතකට මම සැලකිය යුතු වෙහෙසක් මහන්සියක් දරනවා. ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නෙ පාඨකයා අතට මේ පොත පත්වුණානම් විතරයි. මුද්‍රණය කරලා කඳු ගහලා තියන්න නම් පොත් මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ. අනෙක් අතට අද වෙනකොට පොතක් මිළදී ගන්න එකත් අමාරු කාර්යයක් බවට පත්වෙලා. ඒ නිසාම තමන් මිලදී ගන්න පොත ගැන යම් දැනුවත් වීමක් පාඨකයාට අවශ්‍යයි. මේ සියලු දේවල් දිහා බැලුවාම මුදලට වඩා එහා ගිය කාරණා ගොඩක් මට තියෙනවා.
හැබැයි මේ කාරණයත් කියන්න ඕන. ලංකාව ඇතුළෙ ප්‍රකාශන ආයතන බහුතරයක් අසමත් තමන්ගේ පොත හරි පාඨකයා අතේ තියන්න. ඒ වගේම අලුතින් පාඨකයො බිහිකරන්න ප්‍රකාශන ආයතනවල කිසිම වැඩපිළිවෙලක් නැහැ. ක්ෂේත්‍රෙය් අවුරුදු අච්චරයි මෙච්චරයි කියලා කියනවා මිසක, අලුත් පාඨකයන් නිර්මාණය කරන්න සැලසුමක්වත්, එවැනි වැඩවලට දිරිදීමක්වත් නැහැ. ඒ නිසාම අද ලේඛකයාට ඒ දේවලුත් කරන්න වෙලා තියෙනවා. ඒක නම් ඛේදවාචකයක්.
2️⃣ අපි දැකල තියෙන කාරණයක් තමයි ජ්‍යෙෂ්ඨ ලේඛකයො බොහොමයක් තමන්ගෙ නිර්මාණ පිළිබඳ තමා ම කතා කරන එකට කුලෑටිකමක් දක්වනවා. හැබැයි අපේ පරම්පරාවට එද්දි අපි ඒකට මැළි නැහැ. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඒකට ඉනිමගක් හදල දීල තියනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි සෙල්ෆි ඡායාරූපය. මේ තත්වය ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි.
මම හිතන්නේ ඒකට හේතුව ලෝකය පිළිබඳ යාවත්කාලීන වීමක් නැතිකම. මම දැකලා තියෙන සාහිත්‍ය පිටුවල සමහර ආචාර්ය මහාචාර්යවරු පවා 1920 ගණන්වලදීම යල්පැනගිය සාහිත්‍ය කාරණා මහ ඉහළින් කතා කරනවා. ඇත්තටම යාවත්කාලීන වීම ගැන ලොකු ගැටළුවක් තියෙනවා. ලෝකය දවසින් දවස ඉස්සරහට යනවා. තමන්ගේ නිර්මාණය ගැන හොඳින්ම දන්නේ තමා. ඒ නිසා පාඨකයාගේ කුතුහලයට, රසවින්දනයට හානි නොකර පොත ගැන අදහසක් කියන්න ලේඛකයාට අයිතියක් තියෙනවා. ඒක මරණීය වරදක් හැටියට දකින එක විහිළුවක්. විදෙස් සාහිත්‍ය සඟරාවල පළවෙන සම්මුඛ සාකච්ඡා පරිශීලනය කරන කෙනෙක් විදියට ඔබටම වැටහෙනවා ඇති ඒ ලේඛකයො කොයිතරම් දේවල් තමන්ගේ පොත් ගැන කතා කරනවද කියලා. අපේ හුඟක් සම්මුඛ සාකච්ඡාවල තියෙන්නේ එකම වට්ටෝරු ප්‍රශ්න.
සමාජ මාධ්‍ය දැළි පිහි වගේ තමයි. හැබැයි ඒකෙන් වැඩ ගන්න අපි දැනගන්න ඕන. සෙල්ෆි ඡායාරූප, වීඩියෝ විතරක් නෙමේ ඊට එහා ගිය ඉතාම නිර්මාණාත්මක දේවල අද පරම්පරාව කරනවා. ඒ ක්‍රමයෙන් තරුණ ප්‍රජාවගේ පොත් විකිණෙන්න ගත්තම අර තාමත් දෙයක් කරගන්න බැරිවුණ පිරිස තමයි චෝදනා කරන්නේ. මම කියන්නේ ඔබ විකුණන්නේ බෝම්බ තුවක්කු නෙමේනේ. ඉතින් ඒක කරන්න ලැජ්ජ වෙන්නෙපා. මේක තමන්වම අලෙවි කරන යුගයක්. උදාහරණෙකට මගේ නිර්මාන බෙංගාලි, ඉංග්‍රීසි, හින්දි සහ දෙමළ භාෂාවලට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙම අවස්ථාව මෙච්චර කෙටි කාලෙකින් මට ලැබෙන්නේ මම ආපු මේ ගමන නිසා. උදාහරණෙකට මරණයේ රළ නැගුම පරිවර්තනය කරලා මම පැත්තකට වෙලා හිටියානම් නොබෙල් සම්මානලාභී ඔල්ගා තොකර්චුක් වගේ ලේඛිකාවක් එයාගේ පරිවර්තකයන්ගේ සංගමේ සමුළුවට මට ආරාධනා කරන්නේ නැහැ.
3️⃣ ඔබේ පොත් ප්‍රකාශයට පත් කරල තියෙන්නෙ ඔබ නෙවේ. වෙනත් ප්‍රකාශන ආයතන… සාමාන්‍යයෙන් කර්තෘභාගය ලැබෙන්නෙ 10% යි.. ප්‍රකාශකයා සහ ලේඛකයා අතර තියෙන මේ 10% සම්බන්ධය ගැන ඔබ මොකද හිතන්නෙ?
කතෘ භාගය ගැන යම් ගැටළුවක් තියෙනවා. හැබැයි ප්රකාශකයාට ඉතුරු සීයට 90ම යන්නේ නැහැනේ. ඒ අයත් යම් අභියෝගයකට මුහුණ දෙනවා මේ කාලෙදී. 15% වගේ ප්‍රමාණෙකට යන්න පුළුවන් නම් හොඳ ගනුදෙනුවක්. මම හිතන්නේ ඔබේ පොත් අලෙවි වෙනවානම් එහෙම ගනුදෙනුවකට යන්න පුළුවන්. නැත්නම් ඔබටම ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. අපි ප්‍රකාශකයෙක් හරහා කෘතියක් කරනවා නම් ඒක දැනගෙනනේ කරන්නේ. දැන් දැන් ලේඛකයො අතින් සල්ලි දීලා පොත් ගහන තැනට ගිහින් තියෙනවා. ඒක සිද්ධ නොවිය යුතු දෙයක්. ඒ දේවල් අවම කරගන්න පුළුවන් ලේඛකයා පොතත් එක්ක ඉන්නවානම්.
4️⃣ සාහිත්‍යකරණයේ දී ලේඛකයා සහ පාඨකයා අතර සම්බන්ධය ඉතාම වැදගත් එකක්. ඇතැම් අය කියනව ලියා ඉවර වූ පසු ලේඛකයාගේ කාර්යභාරය ඉවරයි කියලත්. ඇත්තටම ඉවරද?
මට අනුව නම් කොහෙත්ම නැහැ. කෙනෙක්ට එහෙම අදහසක් දැරීමේ අයිතිය තියෙනවා. ඒත් මම හිතන්නේ සැබෑ කාර්යය පටන් ගන්නේ එතනින් පස්සේ කියලයි. මොකද පාඨකයා එක්ක සිද්ධවෙන ගනුදෙනුව ඉතා වැදගත්. ඔවුන් පොත කියවන්නේ කොහොමද? ඒකෙන් ඔවුන් ලබාගන්නේ මම ලියපු දේමද කියන කාරණය මට නම් හරිම කුතුහලය දනවන්නක්. කෙනෙක්ට පුළුවන් තමන් කැමති විදිය තීරණය කරන්න. ඔය දෙකෙන් එකක් අනෙකට වඩා සුවිශේෂි වෙන්නේ නැහැ. තමාගේ ලිවීම හරහා යම් සමාජ වෙනසක් බලාපොරොත්තු වෙන ලේඛකයෙක්ට පාඨකයා සමඟ සම්බන්ධ වීම වැදගත්.
උදාහරණෙකට ශෙහාන් කරුණාතිලක, ගොස්පොඩිනොව් කියන අයගේ ෆේස්බුක් නිල පිටුවලට ගිහින් බලන්න ඔවුන් කොච්චර විශාල ප්‍රමාණයක් දේවල් කරනවද කියලා. සාමාන්‍යෙයන් බුකර් ත්‍යාගයක් දින්නම ඒ ලේඛකයා අවුරුද්දක්ම ලෝකය පුරා විවිධ සාහිත්‍ය උත්සව, වැඩසටහන්වලට සහභාගී වෙනවා. මේවයින් පොතේ අලෙවිය වගේම පාඨකයා හා ලේඛකයා අතර සම්බන්ධය ඇතිවෙනවා. මේවා නොදන්නා අය චෝදනා කරමින් ඉඳීවි. නමුත් මගේ සිහිනය ලොකු එකක්. ඒකට මම ගමන් කරන්නේ මම කැමති මාවතක. ඒක විවේචනය කරන්නත්, ඒ මාර්ගයේ යන්නත් ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. මම ඒවා ගැන වද වෙන්නේ නෑ.
5️⃣ අවසාන ප්‍රශ්නයෙන් අහන්න කැමතියි, ඔබ සහ තවත් පිරිසක් එක්ව තනන්නට උත්සහා කරන ලේඛක-පාඨක පාලම පිළිබඳව. සාහිත්‍ය සංවාද සහ අත්සන් සැසි වැඩසටහන් මාලාව ගැන අපි ටිකක් කතා කරමුද?
ඔව්! මේක The Asian Review කියන ලෝකයේ සාහිත්‍ය විචාර වෙබ් අඩවි අතර 13 වෙනි තැන තියෙන දැවැන්ත ගෝලීය සමාගමක් එක්ක අනුබද්ධව The Asian Review සිංහල කියන සමාගම හරහා තමයි ගම්පහ මූලික කරගෙන මින්සර ගැලරියේදී මේ ලේඛක-පාඨක හමු, සංවාද සංවිධානය වෙන්නෙ. ඒ එක්කම මින්සර ආයතනය මේකට සම්බන්ධ වෙලා ඉන්නවා ලංකාව තුළ නියෝජිතයා විදියට. මාසයට එකක් විදියට පටන්ගත්තු සංවාද දැන් සතියට එකක් කරන තරමට ඒකට ඉල්ලුමක් ඇතිවෙලා. මේ කරන්නේ රික්තකයක් පිරවීමක්. ඉතින් මේක ඇත්තටම ගම්පහ අවට අයට පමණක් නෙමේ ඕනෑම කෙනෙකුට වටිනා අවස්ථාවක්. නාට්‍ය සංගීතයට වඩා සාහිත්‍ය පාඨකයා සහ ලේඛකයා අතර සම්බන්ධය දුරයි. ඒ දුර අනවශ්‍ය තරමට දුර වීම අඩුකරන්න තමයි මේ වැඩසටහන්වල අරමුණ. මේ ගැන වැඩි විස්තර The Asian Review දේශීය කලමනාකරු, මොහාන් ධර්මරත්නගෙන් (0775564255) දැනගන්න පුළුවන්.
රශ්මික මණ්ඩාවලගේ සාහිත්‍ය අස්වැන්න
(සියලු රූප, ඡායාරූප උපුටා ගැනීම රශ්මික මණ්ඩාවලගේ facebook පිටුවෙන් සහ අන්තර්ජාලයෙනි)