ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ
වත්මන් යුගයේ තාරුණ්‍යය පැරණි යුගයේ තාරුණ්‍යයෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මුලින්ම අපි පැහැදිලි කර ගමු.
පසුගිය වසර විස්ස තුළ ලෝකය වෙනස් වුණා. එම වෙනසට මූලික හේතු දෙකක් බලපෑවා. එකක් තාක්ෂණිකව ඇතිවූ වෙනස්කම්. අනික මතවාදවල ඇතිවූ වෙනස්කම්. මේ වෙනස්කම් දෙක එකිනෙකින් වෙන් කරන්න බෑ. තාක්ෂණයේ වෙනස අන්තර්ජාලය, zoom තාක්ෂණය, ෆේස් බුක් ,වට්ස්ඇප්… වැනි දේවල් තුළින් පිළිබිඹු වුණා. මතවාදවල වෙනස පශ්චාත් නූතනවාදයෙන් පිළිබිඹු වුණා.
එක අතකට තාක්ෂණය තුළින් සිදුවන්නේ ඉතා දිගු දේවල් කියවීමට හුරුවී සිටි සමාජයක් කෙටි දේවල් කියවීමට හුරුවීමයි.
එසේම හොඳ නරක , උස් පහත් භේදය වියැකී යාමයි.
පශ්චාත් නූතනවාදයේදී මූලික වශයෙන් සිදුවන්නේ කිසිදු දේක හරයක් නැත යන අදහස ස්ථාපිත වීමයි.
මූලික මතවාද තුනකට පශ්චාත් නූතනවාදීන් පහර දුන්නා. ඒ තුන නම් ජාතිකවාදය , ලිබරල්වාදය සහ සමාජවාදයයි. මෙම මතවාද තුන විසින්ම ගොඩනැගූ ලෝකය කිසියම් ආකාරයක නිරවුල් භාෂාවකින් ගොඩනැගුණු යම් ආචාරධර්ම පද්ධතියකින් හෙබි ලෝකයක්. එම මතවාද අතර විවිධ ප්‍රශ්න පරස්පරතා තිබුණත් එමගින් යෝජනා කළ ලෝකය පැහැදිලි නිරවුල් අර්ථ සම්පන්න ලෝකයක්.
පශ්චාත් නූතනවාදය යෝජනා කළ ලෝකය බොඳ වූ කඩතොලු වූ කිසිදු හර පද්ධතියක් නොඅදහන ලෝකයක්. තාක්ෂණයේ ඇති වූ දියුණුවත් සමග මෙම බොඳ වූ අර්ථ විරහිත ලෝකය පිළිබඳ අදහස ලංකාවේ තරුණ පරපුරේ මනසට කා වැදුණා. මේ වන විට ලංකාවේ බුද්ධිමතුන්ගේ බිඳවැටීම , විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල මානවශාස්ත්ර හා සමාජ විද්‍යා පීඨවල පැවති බිඳවැටීම මෙම මතවාද පැතිර වීමට පසුබිමක් සකස් කළා. වර්තමානයේ ඇති වූ අර්බුදයේ පසුබිම එයයි.
ලංකාවේ නූතන පශ්චාත්වාදය ඇරඹෙන්නේ කෙසේද, කුමන කාල වකවානුවක දැයි තව දුරටත් විමසා බලමු.
හැත්තෑ ගණන්වලදී ලංකාවේ බුද්ධිමය සංස්කෘතිය විශාල පරිහානියකට මුහුණ පෑවා. එම පරිහානිය වන්නේ අධිරාජ්‍යවාදී යුගයෙත් ඉන් පසුවත් ඇති වූ ද්වි භාෂික බුද්ධිමතා අවසානයට පත් වීමයි. එය පාර්ලිමේන්තුවේ සිට ගමේ කඩපිල දක්වා පුළුල් පරාසයක පැතිරුණු බිඳවැටීමක්.
හැත්තෑව හැත්ත හත ආණ්ඩුව විසින් ප්රජාතන්ත්රවාදයෙ මූලික පදනමට පහර දුන්නා. වාමාංශික මතවාදය විසින් ලංකාවේ ගොඩනැගී තිබූ මානව ශාස්ත්‍ර සම්ප්රදාය විනාශ කොට උපයෝගිතා වටිනාකමින් යුක්ත විෂයයන් අධ්‍යයනය කළ යුතු යැයි යන මතය ජාතික මතයක් බවට පත්කළා. සම සමාජ පක්ෂයේ පරිහානි ගත යුගයේ බුද්ධිමතුන් මෙම කාර්යයට උරදීම කණගාටුදායකයි.
කොමියුනිස්ට් පක්ෂය විසින් තම නිල කලා මතවාදය ලෙස ජනතාවාදය එළියට දැම්මා. සියලු සම්භාව්‍ය කලාවන්ට එරෙහිව සරල සෝවියට් කලාව සහ එහිම අනුකරණයක් වූ සිංහල ජනතාවාදය තරුණ මනස් ඩැහැ ගත්තා.
මේ වන විට පේරාදෙණි ගුරුකුලය පරිහානියට පත්වී අවසානයි. සරත්චන්ද්‍ර හැත්තෑව ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ගොදුරක් ලෙස පැරීසියට යෑම සම්භාව්‍ය බුද්ධිමය පරපුර වාම උපයෝගීතාවාදයට යට වීමේ ආරම්භයයි. එහි දෙවන විනාශය වන්නේ ගුණදාස අමරසේකර තම මුල් කාලීන නිර්මාණ ප්‍රතික්ෂේප කරමින් ජාතික චින්තනය වෙත පසුබැසීමයි. මේ අනුව සියලුම ධාරාවල බුද්ධිමතුන් අසූව දශකය වන විට දැඩි පරිහානිගත ස්වභාවයකට පත් වී සිටියා. වඩා දියුණු සම්භාව සම්භාව්‍ය සාහිත්‍ය කලා කෘති වෙනුවට ජනතාවාදී අවරසිකත්වයත් ජාතිවාදී ලාමක භාවයත් පේරාදෙණි බුද්ධිමතාගේ මනස ඩැහැ ගත්තා. ඒවාට යට නොවූ සිරි ගුණසිංහ වැනි පිරිස් රටින් බැහැරට පළා ගියා. මෙවැනි තත්ත්වයක් තුළ අසූව දශකය උදා වෙනවා. එය උදා වන විට විවෘත ආර්ථිකයත් සමඟ මුළු රටෙහි ම සියලුම ව්‍යුහයන් වෙනස් වෙමින් පවතිනවා.එහෙත් ඒ වෙනස්වීමට සාපේක්ෂව බුද්ධිමය ව්‍යුහය තුළ දියුණුවක් ඇති වන්නේ නෑ. මෙය බරපතල ඛේදවාචකයක්. පශ්චාත් නූතනවාදයට පසුබිම සකස් වන්නේ මෙවැනි තත්ත්වයක් තුළයි.
(සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි)