කේ.ඩී. දර්ශන
නෝරා දොර වසා ගිය හඬ මුළු යුරෝපයට ම ඇසුණු බව ඉබ්සන්ගේ A Doll’s House ගැන ලියවුණු විචාරවල සඳහන් වෙනවා.
“මට බෑ, මං නන්නාඳුනන මිනිහෙක් එක්ක
එකට එක කාමරේ නිදා ගන්න…” (බෝනික්කිගෙ සෙල්ලංගේ, පරිවර්තනය – ඊ.එම්.ඩී. උපාලි)
එහෙම කියපු නෝරා, නොවෙනස් වන තීරණයකින් යුතුව හෙල්මර්ට ගුඩ්බායි කියල නිවස හැර යනවා.
සුපර්ණකා නාට්‍ය අවසානයේ, සැමියා අත තිබෙන පින්සල අතට ගන්නා ජානකී, නාරි ලාලිත්‍ය ඉස්මතු වන සේ අලේඛ්‍ය සිතුවමට පෙනී ඉන්නා සුපර්ණකාට මෙහෙම කියනවා.
“ඔයාට පහසු විදියට ඉන්න…”
කංචුකා ධර්මසිරිගේ සුපර්ණකා වේදිකා නාට්‍යය, ආරම්භයේ පටන් අවසානය දක්වා ඉතා සූක්ෂමව ගෙත්තම් කළ අපූරු වියමනක්. එහි දෙබස්, රංග වින්‍යාසය හා රංගනය මෙන් ම චින්තනය ද අපූර්වයි.
මා වඩාත් කැමති වුණේ, සුපර්ණකා නරඹා ගෙදර යන අතරතුර ඉබ්සන්ගේ A Doll’s House සමඟ එය සිහි කරන්නයි. එය සිතා මතා කළ දෙයක් නොවේ. සුපර්ණකා අවසන මා සිත නිරායාසයෙන් ම දිව ගියේ නෝරා වෙතටයි.
මෙය නාට්‍ය ගැන විධිමත් විචාර සටහනක් නොවන නිසා, මට සිතුණු දේ තැනින් තැනින් අහුලා ලියන්නට අවසර දෙන්න!
මතක හැටියට නාට්‍යය ගැන සාරාංශයක් ලියන්නම්.
සුපර්ණකා රාවනගෙ නංගි. ඇය හිතුවක්කාර ලෙස දඬුමොනරයේ නැගී එය පදවන අතරතුර, කාල තරණය කර මේ ලෝකයට එනවා. කතාව ඇරඹෙන්නේ නිමල්ගේ චිත්රාගාරයෙන්. නිමල්ට තමයි සුපර්ණකා කොළඹ නිදහස් චතුරස්‍රය අසල ගසක් යට සිටියදී හමු වන්නේ. ඔහු සිත්තරෙක්. නිමල්ගේ බිරිඳ ජානකී. ඇයත් සිත්තරාවියක්. නමුත් විවාහයෙන් පස්සෙ ඒ වැඩ ඇය අතින් අතපසු වී තිබුණා.
සුපර්ණකා වර්තමානයට පැමිණ සිටියදී, රාවණ සිටින කාල පරාසය ද අපට පෙන්වනවා. රාම, රාවණ, ලක්ෂ්මන, මන්දෝදරී චරිත නාට්‍ය තුළ අපට මුණ ගැහෙනවා.
නාට්‍යයේ වැදගත් ම කොටස වර්තමානය. සියල්ල කූඨප්රාප්තියට පැමිණෙන්නේ ඒ කොටසේදීයි. රාවණ පෙනී සිටින කොටසත්, මේ කොටසත් පිටතින් යා වන්නේ සුපර්ණකා හරහා. එය ඇතුළතින් යා කරන්නේ ස්ත්‍රී-පුරුෂ බව පිළිබඳ වන බල කථිකාව ඔස්සේයි.
රාවණ යුගයේ දී පුරුෂ බවේ බලය පුරුෂයාට නිල වශයෙන් ම හිමියි. රාමගෙන් ගේම ඉල්ලී පිණිස රාවණ කරන්නෙ සීතා පැහැර ගැනීම. පුරණා ග්‍රීසියේ ස්පාටාව හා ට්‍රෝජ පුරවරය අතර යුද්දෙදිත් බලයේ සංකේතාත්මක ප්රකාශනයක් ලෙස ස්ත්‍රියක් පැහැර ගැනෙනව.
ඒත් නූතන කථිකාවේ සිතන්නෙකු වන නිමල්ට එය කළ හැකි වන්නේ නැහැ. ඔහුට රාවණට මෙන් දේශපාලන බලය නැති බව ඇත්ත. ඒත් සංකේතීය පුරුෂ භූමිකාව පවත්වා ගැනීමටත් මෙහිදී ඔහු අසමත්.
මොකක්ද මේ සංකේතීය පුරුෂ භූමිකාව. අතීතයේ පටන් සම්ප්රදාය හා සංස්කෘතිය විසින් නම් කර එවන ලද පුරුෂ හැසිරීමෙන් යුතු ආත්මයයි. පුරුෂයෙකු මෙසේ විය යුතුයැයි ලක්ෂණ ගත කර එවූ භූමිකාවයි.
නාට්‍ය නොබලපු කෙනෙකුට මේ කියන්න යන දේ පැටලිලි සහගත ඇති.
මෙහෙමයි… නිමල් ඔහුගෙ චිත්රාගාරෙදි සුපර්ණකාගෙ නිරුවත් ආලේඛ්‍යයක් අඳිනව. ඇයගේ ඇස් අඳින්න ඔහු සෑහෙන කාලයක් ගන්නව. කොටින් ම නිමල් කියන්නෙ සුපර්ණකාගෙ ඇස් අඳින්න ඔහු අසමත් කියායි.
නිමල් සුපර්ණකාට ප්‍රේමය ප්‍රකාශ කරනව. ඇය එය ප්‍රතික්ෂේප කරනව. නිමල් ඒ ප්රතික්ෂේපය පිළිගන්න සූදානම් නෑ. හේතු විදියට දෙදෙනා විවෘත මනසින් ලිංගිකත්වය, ආදරය ගැන කළ කතා බස් මතක් කළත් ඒ හේතු සිනහවෙන් බැහැර කරන්නට සුපර්ණකා සමත් වෙනව. ඇය අහන්නෙ එකී විවෘත අදහස් ප්‍රකාශ කිරීම් ප්‍රේමයට හෝ ලිංගිකත්වයට ඌනනය කරන්නෙ කොහොමද කියලයි.
ඔය අතරෙ තමයි ජානකී ඇවිත් නිමල් අඳිමින් සිටි තීන්ත කූඩුව අරගෙන සුපර්ණකාගෙ ආලේඛ්යයෙ ඉතිරිය අඳින්න “ඔයාට පහසු විදියට ඉන්න…” කියල කියන්නෙ.
මේක නාට්‍යයේ බලගතුම දෙබස. නිමල් අඳිද්දි පැය ගණන් එක ම ඉරියව්වෙන් ඉඳීම නිසා ශරීරය වේදනා දෙන බව සුපර්ණකා නිතර කියනව. ජානකීගෙ මේ ප්‍රකාශය ඇද වැටෙන්නේ අන්න ඒ සන්දර්භය මතටයි.
එක අතකින් මෙය පිරිමි ආශාව වෙනුවෙන් ඉරියව් පවත්වාගෙන යාමේ හිංසනීය කාර්යයට අතුල් පහරක්. තවත් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. පිරිමින්ගේ ආශාව වෙනුවෙන් ඉරියව් පවත්වන ස්ත්‍රිය ඉන් සතුටක් ලබන්නැද්ද? ඇතැම් විට පිරිමින් වසඟ කොට ඔවුන් අපමණ සතුටක් ලබනවා නොවේද කියන ප්රශ්නය අපට ඇසිය හැකියි.
හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය අපට එවැනි ප්‍රීතිමත් ස්ත්‍රියක් අපට මුණගස්වනවා. මතක ද ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව.
ඒත් මේ නාට්‍යයේ සන්ධර්භය වෙනස්. නිමල් නූතන කථිකාවේ ඉන්න පුරුෂයෙක් වුණත් ඔහු ස්ත්‍රියගේ පැවැත්ම තමාගේ අධිකාරී බලයෙන් නිදහස් කරන්න කැමති නැහැ. ඒ නිසා ම විවාහයෙන් පස්සෙ ඇඳීම සඳහා වන ජානකීගේ උත්සහායන් දිනෙන් දින මැකී යනව.
ලියාගෙන යද්දි ගොඩක් දේ ලියන්න මතකෙට එනව. නාට්‍ය ආයෙත් මතක් වෙන්න ගන්නව. ඒත් දිග හෑලි ලියන තරමට කියවන අය අඩු වෙනව. ෆේස්බුක් සඳහා මේ සටහනත් දිග වැඩි වෙන්න පුළුවන්.
ඒත් මම කැමතියි නිමල් ගැන තවත් යමක් ලියන්න.
තමන් ඇඳ ඇඳ හිටපු පින්සල උදුරගෙන “ඔයාට පහසු විදියට ඉන්න” කියල සුපර්ණකාට කිව්වට පස්සෙ ඔහු මුළුමනින්ම වික්ෂිප්ත වෙනව. ඇතැම් විට ඔහු දියවෙන්න ගන්නව වෙන්න පුළුවන්.
ඒත් අර උඩ කියපු අතීතයේ පටන් ගෙන ආ පුරුෂ ලක්ෂණ කිසිවක් ඔහුගෙන් එළියට එන්නෙ නැහැ. කොටින් ම ඒ ලක්ෂණ පුරුෂ ලක්ෂණ විදියට නිමල් භාරගන්නෑ වෙන්න පුළුවන්. ඔහු නූතන කථිකාවේ සිටිමින් ස්ත්රියාගේ නිදහස ගැන වියමන් තනන්නෙක්… මේ සාපේක්ෂ ලක්ෂණය ඔහුගේ චරිතයෙන් පේනව.
නිමල් තැනූ ලෝකය, ඔහු කළ වර්නනා සහ ස්ත්රීන්ගේ පියයුරු ඇඳීම ඔස්සේ ඔහු සෙවූ දෑ සියල්ල ජානකීගේ මේ, “ඔයාට පහසු විදියට ඉන්න” කියන දෙබසින් පල්ලම් බහින්න පටන් ගනීද?
මේ ප්රශ්නය නාට්‍ය නිමවී ගෙදර යන අතරතුර මගේ සිතට වද දෙන්න ගත්ත.
නෝරා එළියට ගිය පසු ඇයට කුමක් වූයේද අසනවා සේම, නිමල්ගේ බලයට අභියෝග කළ පසු ජානකීගේ පැවැත්ම කෙසේ වේද යන ප්‍රශ්නයත් අපට ඇසිය හැකියි.
කෙසේ වෙතත් හෙල්මර් හා නිමල් පිළිබඳ මා සිතේ වර්ණ ගැන්විය නොහැකි ශෝකයක් ඉතිරිව තිබෙනවා.
නාට්‍යයේ ඡායාරූප – හේමන්ත අරුණසිරි
අනෙකුත් ඡායාරූප – අන්තර්ජාලයෙන්