‘ගැහැණියක් ගැයූ ගීතයකට නැවතත් ‘ජාතිය’ කලබල වෙලා’ (ධනංජය කරුණාරත්න)

‘ගැහැණියක් ගැයූ ගීතයකට නැවතත් ‘ජාතිය’ කලබල වෙලා’ (ධනංජය කරුණාරත්න)

ධනංජය කරුණාරත්න

ගැහැණියක් ගැයූ ගීතයකට නැවතත් ‘ජාතිය’ කලබල වෙලා. ඊට කලින් අපි අතීතයට පොඩ්ඩක් ගිහින් එමු.

නන්දා මාලනී කියන ගීතයකින් කොටසක් මේ…

රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
එවා නොවික්කොත් අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
කළුගල් වලට විකුණා ගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

ගුණදාස කපුගේ කියන ගීතයකින් කොටසක් මේ…

අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
‍ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුළ ඉකි බිඳ වැලපෙති
දම් දීපයෙ දම් අමාව බත් වෙනුවට කති

දිපාල් සිල්වා කියන ගීතයකින් කොටසක් මේ…

ඔළුව තදින් නරක් වෙච්ච- මිනිසුන් පිරිසක් රැදිච්ච
අරැම පුදුම රටක් තියෙනව ඕයි
මහමුහුදින් වටකෙරිච්ච- අඹගෙඩියක හැඩය වේච්ච
ඒකට මරැ නමක් කියනව ඕයි

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු…

එකෙක් නගිනකොට ඉහලට,
ඇහේ කටු ඇනෙයි අනෙකට,
අඩිය බිමට හෙලයි පහලට ඕයි
පිස්සෝ සුදුස්සෝ යටකොට
පුස්සො වැඩ දෙනවා යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට
බඩට නැතිවුනත් ළුනුකැට
ඇඟට ඕනමයි විල්ලුද
ඒකයි ඉහලම සන්තෝසෙ ඔයි,
නැති බැරි අගහිගකම් මැද
බියසැක ලෙඩදුක් විද විද
පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි

අනගාරික ධර්මපාල වැනි උග්‍ර ජාතිකවාදීන්ගේ සිට කුමාරතුංග මුනිදාස වැනි ලේඛකයින් දක්වා මේ අන්තර්ගතයම විවිධ විදිහට, මීටත් වඩා සැරට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සෑම ප්‍රකාශනයකම විවිධ අයුරින් තියෙන්නේ පටු අවස්ථාවාදීකම, කුහක කම, තමන්ම කයිවාරු ගහන තමන්ගේ හරයන් විකුණාගෙන කෑම, පවා දීම, කුලල් කා ගැනීම, ඉදිරියට යන එකා කපා හෙලා දැමීම, සම්පත් ඇතිමුත් දියුණු වෙන්න නොහැකිවීම, පටු දූපත් මානසිකත්වය… ආදී චරිත ලක්ෂණ වලින් හැදිච්ච ජාතියක් පිළිබඳ කනස්සල්ල සහ විවේචනයයි.

මහගම සේකර පෙන්වා දෙන පරිදි ආනන්ද සමරකෝන් අතින් ජාතික ගීයට පවා මෙම ලක්ෂණ ඇතුළත් වෙලා තියෙනවා. නව ජීවන දෙමින් නිරන්තරයෙන් අපව පුබුදු කරමින් අරගෙන යන ලෙසත්,ප්‍රේම වඩා භේද දුරළලා සමගිවෙලා, ඥාන වීර්ය වඩවමින් රැගෙන යන්න උදව් කරන ලෙසත් ජාතිය ගීතයෙන් ඉල්ලා සිටිනවා. ධාන්‍ය ධනය නෙක මල් පලතුරු වලින් පිරි සශ්‍රීක භූමියක මෙවැනි අර්බුද රැසක් ජයගන්නට නොහැකි වීම නිසා කරන සම්පූර්ණ ‘යාදින්න’ සඳහා මුළු ජාතික ගීතයේම අධ්‍යයනය කරන්න. අවුරුදු හැත්තෑ පහක් තිස්සේ මිලියන වාරින් දිනපතා ගායනා කළද ගීතයෙන් 1949 දී හඳුන ගත්ත අර්බුද ටික ජයගන්නට තාමත් බැරි වෙලා තියෙන බව දැන් පැහැදිලියි.

රට සහ ජාතිය පිළිබඳව මේ කිවූ යථාර්ථය අද වෙන කවරදාටවත් වඩා හොඳින් පැහැදිලි මොහොතක,මේ සියල්ල වෙනස් කරගෙන දූෂිතයින් හඳුනාගෙන අලුත් ලෝකයකට යාමට අවශ්‍ය තීරණාත්මක මොහොතක නව පරපුරේ ගායිකාවක් වු අංජලී හේරත් ගීතයකින් මෙහෙම තියෙනවා.

අපි උපන්න රට විකිණෙනකොට අත යට මිලකට
සිංහයෙක් කඩුව අතකින් ගෙන කොඩියට කුමකට
හැත්තෑ පස් වසරක් අපි රැවටුනු තරමට
කන්න ඕනේ හරි නම් පස් කන බත් වෙනුවට

ඊට එරෙහිව දහස් ගාණක් මේ ගායිකාවට ප්‍රතිචාර දක්වන්නේ පහත සඳහන් ආකාරයේ වචනවලින්: බඩුව, ගොන් වැස්සි, වේසි, හාල් කෑල්ල, තඹුත්තේගම මී හරක් වැස්සි, ගණිකාවක්, ගොං වුත්ති,බැල්ලී…

රසවත් දේ නම් මෙම ගීතයට එරෙහි ප්‍රතිචාර ඉහතින් අප කතා කරපු විවිධ ප්‍රකාශනවල තිබුණු ජාතියේ අර්බුදය මනාවට ප්‍රර්ශනය කිරීමයි.

ජාතික ගීයේ සිට රාජ්‍යය අධ්‍යාපනය දක්වා රජය විසින් හදා ඔළුවට දමන සියල්ල හරි කියා භක්තියෙන් පිළිගන්නා ඉන්පසු ඒ විනාශය රටට ඇති කරපු දේශපාලකයින්ව විවේචනය කරනකොට ඊට එරෙහිව ද කේන්ති ගන්නා මෙවන් ජනතාවක් ලෝකයේ තවත් ඇත්ද?

ගයන්න අංජලී දිගටම ගයන්න, ඉතුරු රෙදි ටිකත් ගැලවෙන්නම ගයන්න!

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)


Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *