සාලිය ඉඳුරුවිතාන
දෛවයට, කර්මයට සහ ආගමික මිත්‍යාවන්ට අභියෝග කර ජීවිතය හා ලෝකය ජයගත් ධෛර්යවන්ත විශිෂ්ට මිනිසා
“සඳ නැති රැයක නිර්මල අහස් කුස දෙස යමෙකු බැලුවහොත් ඔහුගේ නෙත් හා ගැටෙන දිදුලන වස්තුන් කිහිපය සිකුරු අඟහරු බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්රහයින්ය. අපගේ හිරුට බොහෝ සෙයින් සමාන එහෙත් ඉතා දුරකින් පිහිටි විශාල තරු සංක්‍යාවක්ද, ඒ අයුරින්ම දැකිය හැක. පෘතුවිය සුර්යා වටා ගමන් කිරීමත් සමග අචල Fixed තාරකා සමහරක් ඔවුනොවුනට සාපේක්ෂව තමන්ගේ ස්ථාන ඉතා සුළු වශයෙන් වෙනස්කර ගන්නා සේම, ඒ බවක් පෙනෙන්නට ද තිබේ. එහෙත් මෙම තාරකා කිසිසේත්ම අචල තාරකාවෝ නොවෙති “
මගේ “ආලෝක තරණය” කියන ලිපි මාලාවේ පළමුවැනි ලිපිය ලෙස මා තෝරාගත්තේ විසිඑක්වැනි සියවසේ විසූ විශිෂ්ටතම මිනිසෙකුගේ ජීවිතයෙන් බිඳක් සහ ඔහු ලියූ විශිෂ්ට පොත් අතරින් ලෝකයේ බොහෝ කතාබහට ලක්වී ඇති A Brief History of Time, පොතේ කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය කියන කේ. බී රාජපක්ෂ විසින් සිංහලට පරිවර්තනය කළ කෘතිය ගැනයි.
ලොව විසූ විශිෂ්ට බුද්ධිමතුන් අතරින් සුවිශේෂී බුද්ධිමතෙක්, චින්තකයෙක් හා භෞතික විද්‍යාඥයෙක් වන බ්‍රිතාන්‍ය ජාතික Stephen Hawking කියන්නේ අති සුවිශේෂී පුද්ගලයෙකි. හෝකින් ගැන මම අහල තිබුනට, ඔහු ගැන හොයන්නට මා වඩාත් උනන්දු වූයේ ඔහුගේ ජීවන පසුබිම පදනම් කරගෙන James Marsh විසින් නිර්මාණය කල Theory of Everything කියන සිනමා පටය නැරඹීමෙන් පසුවයි. ඉන්පසු අන්තර්ජාලය හරහා ඔහු ගැන තොරතුරු සහ පොත්පත්, ලිපි ලේඛන රාශියක් පරිශීලනය කළ අතර මේ අති විශිෂ්ට විද්‍යාඥයා ගැන මට දැනුන අති මහත් ගෞරවය, ආදරය කියලා නිම කරන්න බැහැ.
ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී අවුරුදු විසි එකේදී ඔහුට චාලක න්‍යුරෝන කියන Amyotrophic lateral sclerosis රෝගය වැලඳෙනවා. හෝකින්ගේ වෛද්‍ය වාර්තාවලින් කියන්නේ ඔහුගේ ආයු කාලය වසර දෙකකට සීමාවෙන බවත්, ඒ ටික කාලය සතුටින් ඉන්නා ලෙසයි. මේ හේතුව නිසාවෙන් හෝකින් සියළුම සම්බන්ධතා අතහැරලා හුදෙකලාවේ ජීවත්වෙන්න උත්සාහ කලත්, ඔහුගේ පෙම්වතිය “ජෙනී” ඔහුව තදින් වැළඳගෙන ඔහු හා විවාහ වීමට තීරණය කල අතර, හෝකින්ගේ අධ්‍යාපනය කරගෙන යාමට මහත් ධෛර්යක් දුන්නා පමණක් නොව, වසර දෙකකින් මිය යාමට නියමිත යැයි වෛද්‍යවරුන් ස්ථීර ලෙසම පවසා සිටියත්, හෝකින් වසර හැත්තහතරක් පමණ ජීවත් වී, දරුවන් තුන්දෙනෙකූගේ පියෙකු වී ලෝකයේ විශිෂ්ටතම භෞතික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්වී භෞතික විද්‍යාව පිළිබද පොත් ගණනාවක් ලියා පලකල අතර, එයින් A Brief History of Time කියන කෘතිය ලෝකයේ විවිධ භාෂා තිහකට වඩා පරිවර්තනය වී ඇත. කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය, මහා පිපුරුමේ සිට කළු කුහරය දක්වා නමින් කේ. බී රාජපක්ෂ විසින් සිංහලට පරිවර්තනය කල මෙම කෘතිය, භෞතික විද්‍යාව හදාරන විද්‍යාර්තීන් පමණක් නොව, පොදුවේ පොත පත කියවන සියළු දෙනාම මෙම පොත කියවීම ඉතාමත් වටිනා පොතක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.
ආගමික මිත්‍යාවන් පසුපස යමින් තම ජීවිතය දෛවයට හා මිත්‍යා අදහස් වලට බාර දෙමින්, තම ආත්ම ශක්තිය හීනකර ගනිමින් වල්මත් වී සිටින සියළුම දෙනා මෙම කෘතිය අනිවාර්යෙන්ම කියවිය යුතු පොතක් වගේම, ජීවිතය ගැන කලකිරිලා මරණින් මතු වෙනත් ජීවන අපේක්ෂාවෙන් කැලෑවල් අස්සට ගොස් භාවනා යෝගීන් ලෙස ව්‍යාජ ආත්ම විමුක්තියක් සොයා යන මනෝරාජිතයින්ද මෙය අනිවාර්යෙන්ම කියවිය යුතු පොතකි.
මැවුම්වාදය නිශේධනය කරමින්, මහා පිපුරුමේ සිට කළු කුහරය දක්වා මේ විශ්වයේ පැවැත්ම හා එහි ස්වභාවය ඉතාමත්ම මනරම් ලෙස, විද්‍යාත්මකව මේ පොත හරහා පැහැදිලිකර තිබෙන ආකාරය සාමාන්‍ය කියවන්නියකට වුවත් කියවා තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් මෙය සිංහලට පරිවර්තනය කර තිබීම මෙහි පරිවර්තකට අපි ස්තුතිවන්ත විය යුතුය. විශ්වය පිළිබද අපගේ සිතුවම කියන පලවෙනි පරිච්ඡේදයේ සිට පරිච්ඡේද දොළහකින් සමන්විත මෙම පොත පාඨකයින්ගේ චින්තනමය පරාසය පුළුල් කරනවා පමණක් නොව, අපගේ ජීවිත බැඳී ඇති මිත්‍යාදෘෂ්ටික මතිමතාන්තර සුනුවිසුනු වෙනවා පමණක් නොව, අපගේ අලස ජීවිතවලට වෙනත් දිශානිතියකට යන්න මග කියලා දෙනවා.
ආගමික මිත්‍යා මතිමතාන්තර අදහස්වලින් තොරව, එහෙමත් නැතිනම් කාගේ හෝ ව්‍යාජ අදහස් පද්ධතිවල හිර කාරයින් නොවී, ස්වාධීනව තමන්ගේ බුද්ධිය හා ඥානය වර්ධනය කරගනිමින්, විචාරශීලී තර්ක බුද්දියක් සහිත නිර්මාණශීලී මිනිසෙකු වීමට නම්, දර්ශනය, විද්‍යාව හා ගණිතය වැනි විෂයන් පිළිබදව ඔබ උනන්දු විය යුතුයි කියලයි මගේ යෝජනාව.
මගේ ආලෝක තරණය කියන ලිපි මාලාවෙන් මා උත්සාහ කරන්නේ පොතක්, සිනමා පටයක්, ගීතයක්, කවියක් හා චිත්‍රයක් ගැන විචාරයක් කිරීමට නොවෙයි, හොඳ පොතක් හා කලා කෘතියක් ඔබට හඳුන්වා දී ඔබව ආලෝක තරණය කියන පිවිසුම් මගට යන දොර කවුළු විවෘත කිරීමටයි.
අප කවුරුත් දන්නා විද්‍යාත්මක සාධකය වන්නේ තාපය සෑම විටම ගමන් කරන්නේ උණුසුම් වස්තුවල සිට සීතල වස්තු කරා තාපය සංසරණය වෙනවා කියලයි. ඉතිං, අනාගතය අතීතයෙන් වෙනස් කරන මූලික සාධකය වන සීතල වස්තු කරා තාපය සංසරණය වෙනවා මෙන්, අතීතය වෙනස් කර, අනාගතේ ආලෝක තරණයට ඔබත් පිවිසෙන්න, මක්නිසාද යත්, විශ්වයේහි ඉතා දුරස්ව පිහිටි තැන්වලින් නිකුත් වන ආලෝකය දැන් අප වෙත ළඟා වීම ආරම්භ කර ඇති බැවිනි.
සියලු ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගැණිනි.