ආණ්ඩුවේ කාබනික ත්‍රස්තවාදය

ආණ්ඩුවේ කාබනික ත්‍රස්තවාදය

මහාචාර්ය මිල්ටන් රාජරත්න

ත්‍රස්තවාදය යනු මිනිසාගේ එදිනෙදා ජන ජීවිතය බිය වද්දමින්, හෙට දවස ගැන අපේක්ෂාවන් බිඳ දමමින්, ජීවත්වීම පිළිබඳ අයිතියට අභියෝග කරමින්, කල්ලියක් ලෙස මානව විරෝධී ක්‍රියාවන්ගේ නිරත වීමය. අපේ රටේ ත්‍රස්ත ඉතිහාසයේ පරිච්ඡේද දෙකකි. ඉන් එකක් ජේවීපී ත්‍රස්තවාදය වන අතර අනෙක එල්ටීටීඊ ත්‍රස්තවාදයයි. එහෙත් අපේ රටේ නව පන්නයේ ත්‍රස්තවාදයක් වර්තමානයේ පැන නැගී තිබේ. ඒ වනාහී කාබනික ත්‍රස්තවාදය යි. මෙය රජය විසින් ක්‍රියාවට නංවා ඇති බැවින් රාජ්‍ය ත්‍රස්තවාදයකි.


කාබනික ත්‍රස්තවාදය ජේවීපිය හා එල්ටීටීඊය මෙන් අවි ආවුද දරන්නේ නැත. එක් එක් පුද්ගලයා ඉලක්ක කොට පහර දෙන්නේ නැත. තනි තනි මංකොල්ල කෑම් කරන්නේ නැත. ස්ත්‍රී දූෂණ හා අපචාර කරන්නේ නැත. එහෙත් එය සාම්ප්‍රදායික ත්‍රස්තවාදයට වඩා භයන්කර ය. කාබනික ත්‍රස්තවාදයෙන් කරනුයේ සුපුරුදු ගොවිතැනට මල්ටි බැරල් හා බර අවිවලින් නිර්දය ලෙස පහර දී ගොවිතැන විනාශ කර දැමීමය. එම බර අවි වන්නේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සහ රසායනික කෘමි හා වල්නාශක වෙනුවට කාබනික විකල්ප යි. මෙම අවි දෙක කෘෂිකර්මාන්තය සහමුලින්ම විනාශ කර දැමීමට සමත්ය. රජය මෙම කාබනික ස්ථාවරයේ සිටීම හේතුවෙන් සිදුවන විනාශය කෘෂිකාර්මික අර්ථයෙන් ගත් කල කාබනික ත්‍රස්තවාදයක් වේ.

කෘෂිකර්මාන්තයට අයත් වන්නේ කුඹුරු, එළවලු, පළතුරු, ධාන්‍ය, කුළුබඩු, මල් හා වාණිජ වැවිලි බෝග ගොවිතැනයි. රටක ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට අමතරව අපනයන ආදායම් උපයාගැනීමට ද ගොවිතැන බෙහෙවින් දායක වේ. එමෙන්ම ගොවිතැනෙන් කාර්මික හා සේවා අංශයට ආහාර හා අමුද්‍රව්‍ය සැපයීමද සිදු කෙරේ. එබැවින් නාගරික කාර්මික හා සේවා අංශයේ පැවැත්මට උපස්තම්භක වන්නේ ද ගොවිතැනයි. අපේ රටේ කෘෂිකාර්මික අංශයේ දායකත්වය 10%ක පමණ අගයක් ඉසිලුවද රැකියා සම්පාදනය අතින් ගත් කල එය 30%ක් පමණ වේ. මෙහි අර්ථය වන්නේ ශ්‍රී ලංකා වාසීන් කෘෂිකර්මය මත බෙහෙවින් යැපෙන බවයි. ඉදින් ගොවිතැනට කාබනික ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ විට සමස්ත කෘෂිකර්මාන්තය පමණක් නොව ආර්ථිකයේ සෙසු අංශය ද බිඳ වැටේ. එමගින් කෘෂිකාර්මික නිෂ්පාදන බිඳ වැටීම පමණක් නොව ශ්‍රී ලංකා ජාතියම බිඳ වැටේ. ඌවේ ජන ජීවිතය විනාශ කිරීම පිණිස ඉංග්‍රීසීන් ඌව වෙල්ලසේ ගොවිතැන ගිනිබත් කිරීම හා ගොවිතැනට ඉඩ නොතැබීමේ ත්‍රස්තවාදී ක්‍රියා මීට හොඳ නිදසුනකි.


ගොවිතැන බිඳ වැටීම යනු ගොවි ජීවිත බිඳ වැටීමයි. ගොවියන් යනු වහල්ලු නොව ආදායම් ඉපයීම හා ජීවත් වීම පිණිස ආර්ථිකමය අරමුණින් ගොවිතැන් කරන පිරිසකි. ඔවුන් උපයන ආදායමෙන් පවුල් ජීවත් කරවීම, ළමයින්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආවාහ විවාහ, ගේ දොර ඉදිකරගැනීම, දියුණු වීම, අවමංගල කටයුතු, ආගමික හා සමාජ කටයුතුවල නිරතව ජීවත් වීම අපේක්ෂා කරයි. රජය සිය ‘වියත් සේනාව’ යොදා කොළඹ සීතල කාමරවල සිට ගොවිතැනට මල්ටි බැරල් ප්‍රහාර එල්ල කොට ගොවිගේ ජන ජීවිතය මුළුමනින්ම විනාශ කර දමයි. එය දරාගත නොහැකි ගොවීන් රසායනික පොහොර හා බෙහෙත් ඉල්ලා පාරට බැස සටන් කරයි. මෙතෙක් ඉතිහාසය තුළ ගොවියා මෙවන් සටන්වලට පිවිස නැත. ඒ මෙවැනි ත්‍රස්තවාදයකට මුහුණ පෑමට සිදු නොවූ බැවිනි.


මෙම ගොවි සටන දිනෙන් දින ව්‍යාප්තව දරුණු අතට හැරෙමින් පවතී. මින් දෙන පණිවිඩය කුමක්ද? එකම පණිවිඩය වන්නේ ගොවියාගේ ජීවිතය ආපසු ඉල්ලා සිටීමයි. ජීවිතය ඉල්ලා සිටින ගොවීන්ට රජය කාබනික ප්‍රහාරයම නැවත නැවත එල්ල කරයි. රජය දස ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිතයට වඩා කාබනික ප්‍රතිපත්තිය උතුම්කොට සලකයි. ජීවිතය ඉල්ලන විට කාබනික පොහොර ගැන කතා කිරීම ප්‍රංශයේ Marie Antoinette රැජින“පාන් නැත්තම් කේක් කාපල්ලා” යැයි කී කතාව සිහි කැඳවයි. රජයට මහජනයාගේ ජීවත්වීමේ ප්‍රශ්නය නොතේරෙන බව එයින් කියැවේ. මහජනයාගේ ජීවත් වීම ගැන හැඟීමක් නොමැති වීම ත්‍රස්තවාදියාගේ මූලික මානසික ලක්ෂණය යි. රජය එම ත්‍රස්තවාදී මානසිකත්වය මේ ගැටලුවේ දී පමණක් නොව අනෙකුත් ගැටලුවල දී ද පෙන්වා තිබේ. වියත්මග නම් ආයතනය විසින් මැතිවරණවලට පෙර සාකච්ඡා කරන ලද්දේ ‘ජනහිතකාමී’ ආර්ථික රාමුවකි. ඉදින් දැන් ඔවුන් ක්‍රියාවට නංවා ඇත්තේ ජනහිතවාදී ආර්ථික ක්‍රමයක් ද? නැතහොත් ත්‍රස්තවාදී ආර්ථික ක්‍රමයක් ද?


ගොවිතැනට කාබනික ත්‍රස්තවාදය එල්ල වූ පසු ගොවියා පමණක් නොව ග්‍රාමීය අංශයම විනාශයට පත්වේ. එනම් ග්‍රාමීය අංශයේ මූලික ආදායම් ප්‍රභවය වන තේ, රබර්, පොල්, මල්, එළවළු, පළතුරු, වී හා ධාන්‍ය අස්වනු බිඳ වැටුණු පසු සමස්ත ග්‍රාමීය අංශයේ ඉල්ලුම ද බිඳ වැටෙන බැවිනි. අපේ රටේ ග්‍රාමීය අංශය 70% පමණ වන බව ඇස්තමේන්තු කොට තිබේ. ඒ අනුව රටේ තුනෙන් දෙකකම ආර්ථිකය මුල් වටයේ දී විනාශ වේ. එය සිදුවන්නේ ග්‍රාමීය අංශයේ ආදායම බිඳ වැටුණු විට ග්‍රාමීය අංශයේ වෙනත් නිෂ්පාදන, නිවාස, ඉදිකිරීම්, වෙළඳාම යනාදිය ද බිඳ වැවීම ඔස්සේය. එමගින් ග්‍රාමීය අංශය හැකිලී යයි. ආහාර හා අනෙකුත් කෘෂි නිෂ්පාදන බිඳ වැටුණු පසු දෙවනි වටයේ දී නාගරික අංශයේ ජන ජීවිතය ද බිඳ වැටේ. නාගරික අංශය බිඳ වැටෙන්නේ කර්මාන්ත හා සේවා අංශයට කෘෂි අංශයෙන් යෙදවුම් ලෙස ලැබිය යුතු ආහාර හා කෘෂි නිෂ්පාදන නොලැබීම, ආහාර මිල ඉහළ යාම හා වැටුප් ඉහළ දැමීමට සිදුවීම යන ප්‍රතිවිපාක ඔස්සේය.


ත්‍රස්තවාදයේ තවත් මුලික ලක්ෂණයක් වන්නේ ත්‍රස්තවාදියා සිය ස්ථාවරය ලිහිල් නොකිරීමය. ඇතැම් විට ලිහිල් කරන බව පෙන්වා, එය තිබුණාටත් වඩා උග්‍ර අතට හරවයි. ත්‍රස්තවාදියාගේ ඉලක්කය වන්නේ ත්‍රස්ත ක්‍රියාව ජයග්‍රහණය කරවීම විනා ජන මතයට කන් දීම නොවේ. ජන මතයට කන් දෙනුයේ ප්‍රජාතන්ත්රවාදියා මිස ත්‍රස්තවාදියා නොවේ. කාබනික ත්‍රස්තවාදය ගැන කතා කිරීමේ දී අතුරු ප්‍රශ්නයක් ද පැන නගී. එනම් මේ ආණ්ඩුවේ ආර්ථික විද්‍යාඥයා කවරෙකුද යන්නයි. ආර්ථික විද්‍යාඥයෙකු පත්කර ගැනීම ආණ්ඩුවක එක් ප්‍රධාන කාර්යයයකි. ඒ මක් නිසාද යත් ආර්ථික සංවර්ධනය පිණිස ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කිරීම ආණ්ඩුවේ මූලික කාර්යයක් වන බැවිනි. මේ ආණ්ඩුවේ ආර්ථික විද්‍යාඥයා කවරෙක්ද? අපට ඔහු හා විවාදයක් තිබේ. ඒ වෙනත් අරමුණක් නිසා නොව කාබනික ත්‍රස්තවාදය ඔස්සේ රට විනාශ කරනුයේ ඔහුගේ උපදෙස් මත ද යන ගැටලුව ගැන වාද කිරීමටය. අස්වනු අඩු වූ ගොවියාට වන්දි දීමට යෝජනා කළේ ඔහුද? එම වන්දි දෙන්නේ මුදල් අච්චු ගැසීමෙන්ද? එසේ වන්දි ගෙවනු ලැබුවද ආහාර සැපයුම වැඩි වේද? රජයේ ආර්ථික විද්‍යාඥයා සොයා දිය හැකි ජගතෙකු වේද?

උපුටා ගැනීම – මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතාගේ ෆේස්බුක් පිටුවෙනි. / පින්තූර – අන්තර්ජාලයෙනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *