තෝල්ස්තෝයි, පුෂ්කින්, නවගත්තේගම; සමානව ලියූ මුල් වැකි

තෝල්ස්තෝයි, පුෂ්කින්, නවගත්තේගම; සමානව ලියූ මුල් වැකි

ඩිල්ශානි චතුරිකා දාබරේ

ඇතැම් සාහිත්‍ය කෘතිවල ආරම්භක වාක්‍යය, සමස්ත කෘතිය කියැවීම සඳහා පාඨකයාට කරනුයේ සුළුපටු බලපෑමක් නොවේ. හුදෙක් නිර්මාණයට පිවිසීමට ම නොව, කෘතියේ සමස්ථාර්ථය නියෝජනය කරන්නක් ලෙස ද, ඉදිරියෙහි එළඹීමට නියමිත දෑ ඉඟිකරන සංඥාවක් වශයෙන් ද කෘතියට පසුබිම් වූ සමාජීය හා පාරිසරික වටපිටාව හුවා දක්වන මූලික අඩිතාලමක් ලෙසින් ද පාඨකයා කෘතිය කෙරෙහි ම ආසක්ත කළ හැකි මෙවලමක් ලෙසින් ද ඇතැම් ආරම්භක වැකි කටයුතු කරයි.  එබැවින් කෘතියට තරම් ම වැදගත්කමක් මුල් වැකියට ද හිමි විය යුතුය. මේ, ඒ ‘ආලින්දය’ ගැනයි.

ප්‍රීතිමත් පවුල් සියල්ල එකිනෙකට සමාන වන නමුත් දුක්මුසු පවුල්වලට අයත් අය උනුනට ආවේණික අයුරින් දුකින් කල් ගත කෙරෙති (අනුවාදය – මුනිදාස සෙනරත් යාපා)

මේ, රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ලියූ ඇනා කැරනිනා නම් නවකතාවේ  ආරම්භක වාක්‍යය යි. කතුවරයාගේ සෙසු නවකතාවල මුල් වැකි මෙන්, මෙහිදී ද කියවන්නා රඳවා තබාගන්නා ආකාරයේ ආඛ්‍යාන රටාවක් අනුගමනය කර ඇති අතර, ඉදිරියෙහි විකාශනය වීමට නියමිත ප්‍රධාන කථා වින්‍යාස දෙක පිළිබඳව ද ඉඟි පළකරයි. ඒ,  ඇනා, සැමියා වූ කැරනින් සහ පෙම්වතා වන රොන්ස්කිත් එක් පසෙකත්, ලෙවින් සහ කිටී අනෙක් පසෙකත් ලෙසින් ගොඩනැගී ඇති කථා වින්‍යාස වශයෙනි. ඇනා-කැරනින් යුවළ හා ඇනා-රොන්ස්කි යුවළ කථා තේමාව හා බලපවත්නා නාට්‍යමය ගැටුමට දායක වේ. කිටී-ලෙවින් යුවළ නවකථාවේ තුලනාත්මක හා ආදර්ශවත් පක්ෂය ගොඩනගයි.

මෙකී ද්විත්ව නොඑසේ නම් සමාන්තර කථාවින්‍යාස නවකතාව ආරම්භයේ දී ම කෘතියට කරන බලපෑම සම්බන්ධයෙන් ජෝජ් ස්ටෙයිනර් නම් කතුවරයා(Tolstoy Or Dostoevsky කෘතියේදී) මෙසේ සඳහන් කරයි.

ආරම්භයේදී ම තෝල්ස්තෝයි බලාපොරොත්තු වූයේ සමස්ත නවකථාවේ බර කථාවින්‍යාස දෙකක් අතර විසුරුවාලීමටයි.

කෙසේවෙතත්, තෝල්ස්තෝයි සිය කෘතියට ආරම්භය ගැනීමට හා කථා නායිකාව වන ඇනාගේ පැමිණීමට උචිත පසුබිම සැකසීම සඳහා මූලිකව ම ඔබ්ලොවුන්ස්කිගේ පවුල් ආරවුල යොදාගනී. කථාවේ තේමාව සඳහා අනියමාකාරයෙන් ඩොලී-ස්ටීවා දෙපළගේ දායකත්වය අවැසිවීම ද තවත් හේතුවකි. 

ඊසොප්ගේ උපමා කථා, පංචතන්ත්‍රය වැනි කෘතිවල කථාවක් අවසානයේ එහි පාඩම කියන්නා සේ, කතුවරයා කෘතියේ සංක්ෂිප්ත හරය පළමු වැකියට ගොනු කර තිබේ. සද්ධර්මරත්නාවලියේ සෑම කතාවකදී ම, එය කීමේ අරමුණ ධර්මසේන හිමි පළමුව දක්වන්නාක් මෙනි. මෙවැනි අදහසක් කේ. ජයතිලක සිය ලිපියකින් ගෙන එයි.

ධම්මපදට්ඨ කථාවේ නැතහොත් ජාතකට්ඨ කථාවේ කථා වස්තූන් ආරම්භ වන්නේ ඒවාට පදනම් වූ ධම්මපද පාලියේ නැතහොත් ජාතක පාලියේ ගාථා පදයක් ගෙනහැර දැක්වීමෙනි. නොයෙක්විට මෙම තනි පදයෙහි කතාවෙහි දක්නට ලැබෙන සමස්ත සාරය ගැබ් වෙයි. එසේ ම ඇනා කැරනිනා ආරම්භ වන්නේ ද එම නවකථාවේ සමස්ත සාරය ගැප් කරගෙන ඇතැයි සිතෙන පහත සඳහන් ජේදයෙනි.

සියලු වාසනාවන්ත පවුල් එකිනෙකට සමාන වේ. සියලු අවාසනාවන්ත පවුල් ඒවාට ම විශේෂ වූ අවාසනාවන්ත භාවයකින් යුක්තය.  (කේ.ජයතිලක, ‘ලියෝ තෝල්ස්තෝයි හා ඇනා කැරනිනා’, නවකතාව හා සමාජය)

මෙලෙසින් ඇනා කැරනිනා ලිවීම සඳහා තෝල්ස්තෝයි උපයෝගී කරගෙන ඇත්තේ ඇලෙක්සැන්දර් පුෂ්කින්ගේ කථාවක ආරම්භක වාක්‍ය බව රෙජී වීරමන් පවසයි. තෝල්ස්තෝයිගේ කෙටිකථා කිහිපයක් ‘විරාග රාගය’ නමින් අනුවාද කරමින් එහි පෙරවැකියෙහි ඔහු මේ පිළිබඳව සඳහන් කරන විවරණය මතු දැක්වේ.

සිවු පනස් වැනි වියට පත් ටෝල්ස්ටෝයි වෙසෙසි සූදානමක් නැතිව තමාගේ දෙවැනි ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධය වූ ඇනා කැරනිනා නමැති ග්‍රන්ථය ලියන්නට පටන් ගත්තේ ය. දිනක් පුෂ්කින් විසින් ලියන ලද කතාවක් ඔහුට දක්නට ලැබිණ. ඒ කතාව ආරම්භකොට තුබුණේ මෙසේ ය. ‘ප්‍රත්‍යන්ත දේශයේ පිහිටි නිවසට ආගන්තුකයෝ පැමිණියහ’ යනුවෙනි. ‘මෙන්න මෙහෙම තමයි කතාවක් පටන් ගත යුත්තේ. එක්වරම කතාව කීම පටන් ගත යුතු යැ’ යි ටෝල්ස්ටෝයි කීය. ‘ඔබත් එසේ නවකතාවක් ලියන්නැ’ යි ළඟ සිටියෙක් සිනාමුසු මුහුණින් කීයේ ය. ටෝල්ස්ටෝයි ඒ ක්‍රමය අනුගමනය කරමින් ඇනා කැරනිනා පටන් ගත්තේ ය.  (විරාග රාගය – ලියෝ තෝල්ස්තෝයිගේ කෙටි කථා) 

කෙසේ නමුත්, පුෂ්කින්ගේ වැකියට අනුව යමින් තෝල්ස්තෝයි රචනා කරන ලද වැකිය ඇනා කැරනිනා කෘතියෙහි දක්නට ලැබෙන්නේ (රෙජී වීරමන්ගේ සටහනෙන් හැඟවෙන පරිදි) එහි පළමු වාක්‍යයේ නොව, එහි සවැනි පරිච්ජේදයේ දෙවන කොටසෙහි ආරම්භයේදී ය. කතුවරයා නවකතාව ලිවීම ඇරඹීමේදී ලියූ පළමු දළ සටහන ආරම්භ වී ඇත්තේ, (ප්‍රීතිමත් පවුල් නම් වැකියෙන් නොව) පුෂ්කින්ගේ එම වැකිය අනුව යමින් ලියූ පහත වැකියෙනි.  

කාන්තාවෝ සියලු දෙන අංගනයේ රැස්ව සිටියහ (පරිවර්තනය – ස්වර්ණකාන්ති රාජපක්ෂ)

තෝල්ස්තෝයි උත්ප්‍රේරණය ලද කෘතිය ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ‘බෙල්කින්ගේ කථා’ (The Stories of Belkin)  නම් වූවකැයි ඔහුගේ බිරිඳ සොෆියා සිය දිනසටහන් සහිත කෘතියක සඳහන් කර තිබේ. එය සිය පුතුට කියවමින් තිබියදී ඔහුගේ නෙත ගැටී තිබේ. තෝල්ස්තෝයි චරිතාපදානය ලියූ හෙන්රි ට්‍රෝෂාට් පවසන්නේ එම කෘතියෙහි Loose Leaves නමැති කථාව මීට ඉවහල් වූ බව යි. එයින් නවකථාව ආරම්භ කරන ස්වරූපය පිළිබඳව පමණක් නොව, පීටර් රාජ්‍ය කාලයෙහි ඉඩම් හිමියන් ජීවත් වූ ආකාරය පිළිබඳව ද අවබෝධයක්  ලැබූ ඔහු ඒ බව සිය බිරිඳට ද පවසමින් තෘප්තියට පත් වී ඇනා කැරනිනා රචනා කිරීමට පටන් ගෙන ඇත. මෙය සැබෑවක් විය හැකිය. ඇනා කැරනිනා ලිවීමට පෙර මහා පීටර් රජු පිළිබඳව යමක් ලිවීමට තෝල්ස්තෝයි කැසකවමින් සිටි බවට ඉහත කී කෘතිවල දැක්වෙන අතර ම, පුෂ්කින්ගේ කෘති නිතර පරිහරණය කළ බවට ද තතු පවතී.

ඇනා කැරනිනාහි වැකිය හා සමඟ ම ලාංකේය සාහිත්‍යයෙහි සිහිකැඳවෙන තවත් ආරම්භක වැකියක් වෙයි. එය සයිමන් නවගත්තේගමගේ ‘සාපේක්ෂණී’හි දැක්වේ. තෝල්ස්තෝයි අනුගමනය කරන ආඛ්‍යාන රටාව හා සමීප රටාවක් එම වැකියේ ද දිස් වීම ඊට හේතුවයි. මේ එම වැකිය යි.

සියලු ප්‍රාර්ථනා සඵල වූ දිනයක් විය. සියලු ප්‍රාර්ථනා නිශ්ඵල වේදැයි සැකයක් පහළ වූ දිනයක් ද විය (සාපේක්ෂණී)

(ඡායාරූප උපුටාගැනීම – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *