Not are me නාට්ටාමි

Not are me නාට්ටාමි

නදීරා සායක්කාර

උදේ 6.30 එන්නලු
ප්‍රශ්න පත්‍ර කරවන්න
පොඩි එවුන්ගේ
Phd විභාගෙට

මම ආවේ 6. 20ට
සොයාගෙන යතුරු
ඇරලා ගේට්ටු
ළමයි ගත්තා ඇතුළතට

මුරකාරයගේ වැඩේ හරි

ඊට පස්සේ
Check කළා බෑග්
බෝම්බ ගේනවලු ඉස්කෝලෙට
යුධ හමුදාවේ වැඩෙත් හරි

පන්තියට යනකොට
මීයෙක් මැරිලා ඇතුලේ
ගඳේ ඉවසන්න බෑ
දරුවෝ කෑගහනවා හිරිකිතේ

අරගෙන සාරි පොට හරහට
මීයගේ ආදාහනේට
වැඩ කළා
පන්තිය සෝදලා

සනීපාරක්ෂක කම්කරු වැඩෙත් හරි

වැඩ පටන් ගන්න හිතන කොට
පැටියෙක් කියපි
බඩ රිදෙනවා ටීචර්
කට ගන්න කොටම
බඩ ගියා පන්තියේම

කාට කියන්න ද
පොඩි එකාගේ අසූචී කන්ද
ඇදලා සුද්ද කර
අන්දවා අලුත් ඇඳුම්

අම්මා අප්පගේ වැඩෙත් හරි

සීනුව වැදුණා 7.30
අද බුද්ධ පූජාව
මගේ පන්තියට

සිල් මෑණියෝ කෙනෙක් වුණා ටිකකට

පන්තියට ගිහින්
පාඩම පටන් ගත්තම
ආවා පණු පෙති විටමින් ටික
බෙදුවා පැයක් විතර

දොස්තර වැඩෙත් හරි

ඒක ඉවර වෙන කොට
ළමයින්ගේ තොරතුරු පුරවන්න
කොල 3 ක
කලාපෙන් එවපු

ලිපිකරු වැඩෙත් හරි

ආයේ සැරසෙන කොට
මෙන්න කියනවා දෙන්නලු
දෙමාපියන්ගේ වාර්ෂික ආදායම
පුරවලා කොලවල

ග්‍රාම සේවක වැඩෙත් හරි

හරි බරි ගැහී වාඩි වෙනකොට
ආවා පණිවුඩයක්
ළමා ඉතුරුම් ගිණුමට
මුදල් දාන තොරතුරු

බැංකු නෝනගේ වැඩෙත් හරි

මඟුල් ගෙදරට ලීලගේ දුවගේ
සල්ලි එකතු කරන්නලු
ගුරු හවුල වෙනුවෙන්
ගියා එක එකා ළඟට

හිඟන්නගේ වැඩෙත් හරි

එනකොට පන්තියට
දික්කසාද වුණු දෙමාපියෝ
ළමයගේ ප්‍රශ්නයක් අරගෙන
පන්තිය ළඟ හිටගෙන

පවුල් උපදේශක වැඩෙත් හරි

අම්මෝ ඔළුවේ බර
නාට්ටාමි කෙනෙක් වගේ
දවස පුරා බර ඇද්දා
ගතින් නෙවේ හිතින්

හැබැයි දැනගං බත් බැලයෝ
උඹ ඇපුල්ලුවාට රෙදි
සේදුවාට මහ උන්ගේ පස්ස
ලෙවකෑවට දෙපතුල්

අපි කළේ සදහටම
ශිල්ප බර කරට ගෙන
නාට්ටාමි ගුරුකම
ආණ්ඩුව ණයයි අපිට

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *