සඳුන් ප්‍රියංකර විතානගේ
සායාගේ නවතම වේදිකා නාට්‍ය නිෂ්පාදනය වන “අයියා මළෝ” නැරඹුවෙමු. මේ කෙටි සටහන ලියන්නේ, නාට්‍ය ගැන විචාරයක් වෙනුවෙන් නොවේ. මෙවන් දුබික් සමයක මෙරට කිසිවෙක් සිහිනෙන්වත් නොසිතන ආකාරයේ වැඩක් වන වේදිකා නාට්‍යය කිරීම වෙනුවෙන් ඔහුට ඇති ධෛර්යය පසසනු පිණිස ය. කොවිඩ් සමයේ පවා සායා සිය ප්රකාශනය අත නෑර “ඌරො අතර පෝක්” නාට්‍ය කළේ ය. සමකාලීන මොහොතේ වැඩේ අල්ලාගෙන ඇදගෙන යෑම වෙනුවෙන් වන නොවක් ගෞරවය අසංක සායක්කාර වෙත හිමි විය යුතු ය.
“අයියා මළෝ” වේදිකා නාට්‍යය ප්රහසනයකි. නාට්‍යමය මායාව සහ යථාර්ථ මොහොත අතර සිද්ධි ඡේදනය කරමින් ගෙන යන බ්‍රෙෂ්ට් රංග රීතිය සායා මෙහි යොදාගන්නා අයුරු පෙනෙයි. සුපුරුදු පරිද්දෙන් සායා සිය නිර්මාණයේ ප්‍රකට කරන්නේ සමකාලීන සමාජ මොහොතයි. සමකාලීන සමාජ මොහොත ප්‍රකාශ කරන්නට ප්‍රහසනය තරම් මාර්ගයක් තවත් කොහි ද?
රාජපක්ෂවාදය දෘෂ්ටිමය වශයෙන් යම් ප්‍රමාණයකට ඇද වැටී තිබිය දී පවා වටවංගු ගසා තවමත් එහිම දිගුවක් පැවතීමත්-නව ලිබරල්වාදී යැයි කියාගන්නා වික්‍රමසිංහ ජනාධිපතිවරයා මරණ මංචකයට වැටී යමින් තිබු රාජපක්ෂවාදයේ මිනිය ෆෝමලින් ගසා කෙළින් කටින් තබන්නට ගත් වෑයමත් සායා මෙයින් ගෙන එයි. මෙය සෑම සියලු දෙනාම දන්නා දෙයක් නිසාවෙන් අපි සිනාසෙන්නේ දැනටමත් දන්නා දෙයකට ය. මෙයින් නව දැනුමක් ඥානනය නොවේ. අපිදු අයත් සංසිද්ධියක් දෙස – එහි ම පවතිමින් මොහොතකට නොපවතිමින් බලා හිඳ සිනා නැගීම උත්ප්රාසාත්මක ය.
අනෙක් අතට අයියාගේ මරණය නම් සංකේතය සමස්ත කුණුවුණු සමස්ත ලංකේය පාලක තන්ත්ර දේහය නියෝජනය කරනවාට අමතරව වඩා උත්ප්රාසයක් සපයන්නේ එයින් මහින්ද රාජපක්ෂ සිහියට නැගෙන නිසා ය. කායිකවත් මානසිකවත් අතිශය ජරපත්ව හිඳිමින් බල තෘෂ්ණාවේ ගිලෙන මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චරිතය සිහිපත්ව ය, සදය සිනා නැගෙන්නේ. මෙය මහින්දට පමණක් විශේෂ වූවක් නොවේ. සිරිමා බණ්ඩාරනායක කලෙක අගමැතිකම කළේ රෝද පුටුවක වැතිරගෙන ය. වත්මන් ජනපතිවරයා පවා වයෝවෘද්ධයෙකි.
සායාගේ නාට්‍ය නැරඹිය යුතු ය. මේ නාට්‍ය කලාවේ හෝ සාහිත්‍ය කාලාදියේ ගුණාත්මය ප්‍රශ්න කරනවාට මෙහායින් හිඳ ඒවායේ නියැළෙනවාට හිස නැමිය යුතු කාලයකි. බංකොලොත් කාලයක හිස ඔසවා සිටීමේ ධෛර්ය පැසසීම සියල්ලට ඉහළින් තිබෙන කාලයකි. සායාට ජය පතමි.