ශ්‍රී ලංකා ජනතා ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න: කළ යුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකා ජනතා ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න: කළ යුත්තේ කුමක්ද?

ආචාර්ය මායා ජෝන්, දිල්ලි විශ්ව විද්‍යාලය, ඉන්දියාව

පරිවර්තනය: ප්‍රබුද්ධ ධණුෂ්ක දික්වත්ත

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තේරී පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතා ව්‍යාපාරය දරුණු අවහිරතාවකට සම්මුඛ වී ඇත. ඔහු බලයට පත් වී පැය කිහිපයක් ඇතුළත ගාලුමුවදොර විරෝධතා කඳවුරට මධ්‍යම රාත්‍රියේ මර්දනයක් දියත් කළේය. දහවලෙහි සැඟවීමට බොහෝ දේ ඇති බැවින් බියගුල්ලන් පමණක් රාත්‍රියේදී පහර දෙයි. ම්ලේඡ රාජ්‍ය මර්දනය නොතකා, ජනතා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගැනීම ඔරොත්තු දෙන කැපවීමක් පෙන්නුම් කරයි. මෙම ඔරොත්තු දීමේ හැකියාව පැන නගින්නේ සරල කරුණකිනි: වික්‍රමසිංහගේ පූර්වගාමියාට එරෙහිව මිනිසුන් සටන් කළ හේතුවමයි වික්‍රමසිංහට එරෙහිව ඔවුන් සටන් කරද්දීත් තිබෙන්නේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බලයේ සිටින ජනාධිපතිවරයකු රටින් පැනගිය අතර, පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයකු සඳහා ඡන්දය ප්‍රකාශ කළේය. බල-පිපාසාවේ සිටින කපටි දේශපාලකයන් විසින් දරුණු ලෙස ක්‍රීඩා කරන ලද දේශපාලන උපක්‍රම අඩුවක් නැති මැතිවරණයකදී, වික්‍රමසිංහ 134 ඡන්ද ලබාගන්නා ලදී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විශාලතම සාමාජිකයින් සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( රාජපක්ෂ පවුලේ සංවිධානයක් ) ද ඇතුළත් පාලක සභාගයෙන් ඔහු ගත් සහයෝගයේ ඡන්දවලට ඔහු ණයගැතියි. අනෙක් අපේක්ෂකයන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ විමතික සාමාජික ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක් ලබාගත් අතර, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ඡන්ද තුනක් ලබාගත්හ. විපක්ෂ නායක සහ හතරවන අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මැතිවරණයට පෙර ඔහුගේ නම ඉල්ලා අස්කරගත්තේ නව ආණ්ඩුවේ අගමැති ධූරයට ඔහුව නම් කරන බවට අලහප්පෙරුම විසින් තිරයෙන් පිටුපසදී දුන් සහතිකයේ කොටසක් ලෙස බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වීම විකාරයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් වන වික්‍රමසිංහව 2024 නොවැම්බරය වෙනතෙක් ජනාධිපති ලෙස ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් ගත් තීරණය විසින් සම්පූර්ණයෙන්ම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව නිර්-සුජාතකරණයට ලක් කරයි. බලවිරහිත කරයි. වික්‍රමසිංහගේ මෙම මැතිවරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල නොවන උපක්‍රමයකි. මන්ද එය එක් අතකින් බොහෝ නින්දිත, ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයට නව ජීවයක් ලබාදෙන අතර, අනෙක් පැත්තෙන් රටේ ඊනියා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේ කොන්දේසි නියම කිරීමට අධිරාජ්‍යවාදී, ධනේශ්වර බලවේගවල ගජමිතුරෙකුට ඉඩ දීමකි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේම පක්ෂය වන එජාපය දරුණු ලෙස පරාජයට පත් වී එහි ජාතික සමුච්චිත ඡන්ද ප්‍රතිශතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් ලබාගෙන තිබියදීත්, වික්‍රමසිංහ ආණ්ඩුවේ බලවත් තනතුරුවලට පත් ව ඇත. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර ආසන හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඇතුළත් පාලක සභාගයේ පක්ෂවලින් ලැබෙන සහයෝගය හැර ස්වාධීන සහයෝගයක් නොමැති දේශපාලයකයෙකු ලෙස ජනාධිපති වික්‍රමසිංහගෙන් අපට අපේක්ෂා කළ හැක්කේ  පාලක ප්‍රභූන්ගේ වුවමනාවල සමඟ සමීප සම්බන්ධීකරණයෙන් වැඩකටයුතු කරනු ඇතැයි යන්නයි.

ප්‍රතිඵලය බොහෝදෙනෙකුව අධෛර්යයට පත් කර ඇති අතර අප ආරම්භ කළ තැනටම නැවත අප පැමිණ ඇති බව පෙනේ. පාර්ලිමේන්තුව යුක්තිය වෙනුවෙන් පෙනීසිටිතැයි, භූමියෙන් නැගෙන හඬට අහුම්කන්දෙතැයි කියා ව්‍යාපාරයේ ඇතැම් පිරිස් අපේක්ෂා කළහ. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට ඉල්ලීම් කරමින් සිටින අතරතුර මෙම දේශපාලකයෝ ජනතාවට එරෙහිව කුමන්ත්‍රණයක් කරමින් සිටියහ. මහජනතාවගෙන් විශාල කොටසක් ඒ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සැකසහිතව සිටි බැවින් පාර්ලිමේන්තුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ඉල්ලා අස්විය යුතු බවට බල කළ බව සඳහන් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. ඇත්ත වශයෙන්ම, කෙටි කාලයක් තුළ, අරගලය “ගෝඨා ගෙදර යනු” ජනාධිපතිගේ ඉල්ලා අස්විය යුතු යැයි මුල් ඉල්ලීමේ සිට “225ම ගෙදර යනු” හෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලීම දක්වා පරිවර්තනය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටීම බලා සිටි යල්පැනගිය නියෝජිත ක්‍රමයේ කොටසක් බැවින් ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොමැති බවට බියක් පැවතිය ද, සමහරුන් සිතුවේ නියමිත ක්‍රියාවලියට අවස්ථාවක් ලබා දී නව ජනාධිපතිවරයකු ‘තෝරා ගැනීමට’ පාර්ලිමේන්තුවට ඉඩ දිය යුතු බවයි. දැන් රනිල් වික්‍රමසිංහ තේරී පත් වී ඇති හෙයින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනතාව ‘නියමිත ලෙස තේරීපත්’ ජනපතිට අවස්ථාවක් දිය යුතු බවට ඇතැමුන්ගේ තර්කය වී තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, එකක්, ස්ථාවරත්වයේ සහ සාමයේ පූර්වනිමිත්ත ලෙස ළඟදීම පිහිටුවීමට නියමිත ආණ්ඩුව සහ වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය සමරමින් සිටී. මේ හඬවල් පසෙකලා, මේ වන විටත් අරගල කරනා බහුතර ජනතාවට අනුව, පාර්ලිමේන්තුව මහජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂ නියෝජනය නොකරන අතර, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස ‘තෝරාගැනීමෙන්’ මෙතෙක් තිබූ කුමක් හෝ සුජාතභාවයත් දැන් අහිමි වී ඇත.

වික්‍රමසිංහගේ ‘මැතිවරණය’ ආරම්භයේ සිටම නිසැක පූර්ව නිගමනයකි.  වෙනත් ආකාරයකට එය විශ්වාස කළ අයගෙන්, අපි අසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ‘හෘද සාක්ෂියට’ ඉල්ලීම් කිරීම කෙතරම් නිරර්ථක, නිෂ්ඵල දැයි පැහැදිලිව නොපෙනෙන තරම් ඔවුන් නිදාගෙන ඇවිදමින් සිටියාද? ජනතා අරගලය මෙතෙක් නිර්භීතව පාලක ප්‍රභූන්ගේ මැරයන්ට එරෙහිව සටන් කර ඇති අතර, එයෙට එල්ල වූ සෑම ප්‍රහාරයකටම එදිරිව නිර්භීතව නැගී සිටියේය. මේ වන විටත්, ව්‍යාපාරයේ සහ ජනතා බලයේ මෙම ජයග්‍රහණ අලුතින් පිහිටුවන ලද රජය විසින් අත් අඩංගුවට ගැනීමේ අද්දර පවතී. මෙය දවසේ දැවෙන ප්‍රශ්න වෙත අපව රැගෙන යයි, එයට පිළිතුරු ඉදිරි දිනවලදී ජනතා අරගලයේ ගමන් මඟ තීරණය කරනු ඇත. එබැවින්, අපගේ සමාජය තුළ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට අප සූදානම්ව සිටින ඉතිහාසයේ මෙම තීරණාත්මක සංධිස්ථානය පිළිබඳව අප බැරෑරුම්ව සහ සංයුක්තව සිතා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය කුමක්ද?

රටේ ආර්ථිකය කඩා වැටී ඇත. මෙයින් අදහස් කරන්නේ සියලුම ජනතාව ආර්ථික ගැටලුවලට මුහුණදී සිටින බවද? අධිපති ආර්ථික පන්ති, පාලක ප්‍රභූන්, නිලධර තන්ත්‍රය, සහ සමාජයේ පොහොසත් ස්ථරයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ට කුසගින්නේ සිටීමට සිදුවේද නැතහොත් අපට ලබාදෙන ස්වල්ප ප්‍රමාණයේ සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා නිමක් නැති පෝලිම්වල සිටීමට සිදුවේද? පිළිතුර නැත යන්නයි.

රටේ සම්පත්වලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් හිමි ධනවතුන් සහ ප්‍රභූන් සාමාන්‍ය දුක්ඛිතයන් මධ්‍යයේ සාමකාමීව සිය ජීවිත ගත කරති. 2021 දත්තවලට අනුව , ශ්‍රී ලංකා සමාජයේ ධනවත්ම සියයට 10 ස්ථරයට රටේ මුළු ධනයෙන් සියයට 63.8ක් හිමි වන අතර, සමාජයේ පහළම සියයට 50 ස්ථරයට මුළු ධනයෙන් සියයට 4.3ක් හිමි ව තිබේ. ආදායම් විෂමතාව කැපී පෙනෙන ලෙස තව දුරටත් විකෘති වී ඇත: දුප්පතුන් ආර්ථිකය පවත්වාගැනීමට වෙහෙසෙද්දී, ධනවතුන් ධනය රැස් කරගන්නා අතර දුප්පතුන් දුක්ඛිතය සමුච්ඡනය කරගනී. නව ආණ්ඩුවක් පිහිටුවීමත් සමඟ අපේ ව්‍යාපාරය පාගා දමනු ඇතැයි සිතන්නේ ධනවතුන්ය. ඔවුන් පමණක් බොහෝ කතාබහට ලක් ව තිබෙන ස්ථාවරත්වය සහ සාමය ගෙන ඒමට නව ආණ්ඩුවට හැකි බව ප්‍රක්ෂේපණය කරයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද අනුනාද දෙන්නේ මෙයයි.

විවිධ ක්‍රම හරහා, ‘මූල්‍ය විචක්ෂණභාවය සහ වගකීම්සහගත ආණ්ඩුකරණය’ මත පදනම්ව, අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාට යම් ක්‍රියාකාරී ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය දිය යුතු බවට සහ නැතිනම් ආර්ථික අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇතැයි ජනතාව දැන් විශ්වාස කරති. කෙසේ වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී විධායක ජනාධිපති ක්‍රමයක් තුළින් යළි ආණ්ඩුව ස්ථාපිත කරලීමට අවශ්‍ය වූ එකම කොටස් නම් අධිපති ආර්ථික පන්ති සහ ධනවතුන්ය. නව ආණ්ඩුව සාමාන්‍ය මහජනයාට නපුරු සිහිනයක් සහතික කිරීමට යන අතරතුර මෙම ඉහත කොටස් දැන් ශ්‍රී ලංකාවේ අරගල කරන ජනතාවට ස්ථාවරත්වය පිළිබඳ සිහින විකුණයි. ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයාට කාලය ලබා දුන්නොත් නිසැකවම හොඳ කාලයක් පැමිණෙනු ඇතැයි යන මිත්‍යාව ප්‍රචාරය කිරීමට ධනවතුන් කාර්යබහුල වී සිටී. මෙම අරමුණ ඇතිව, එම එකම මිත්‍යාව විකුණනා ව්‍යාජ ආර්ථික විද්‍යාඥයයන් සහ ඊනියා මූල්‍ය දෝෂ විසදන්නන් විසින් ඔවුන්ට ඉතා හොඳින් සේවය කරයි. කෙසේවෙතත්, ‘මූල්‍ය විචක්ෂණභාවය සහ ස්ථාවරත්වය’ සඳහා වන මේ සියලු කතා අතරෙන් ගිලිහී යන්නේ ඉදිරි දිනවලදී දුක්ඛිත ජන ජීවිතය අපායක් බවට පත් කරනා ආණ්ඩුව විසින් ආරම්භ කිරීමට පටන් ගෙන තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කළ කප්පාදු පියවරයන්ය.

ධනවතුන්ගේ ධනයට අත නොතැබිය යුතු බවට ආණ්ඩුව විවෘතව තම මතය ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ යුතු අතර, ජනතා සාමූහික බලයෙන් ඒවාට විරුද්ධ නොවුණහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කළ කප්පාදු පියවර රටේ කම්කරු ජනතාව සහ සාමාන්‍ය ජනතාව මත පැටවීමට යන බව ප්‍රසිද්ධ රහසකි. අපේක්ෂිත ලෙස, රනිල් වික්‍රමසිංහ රටේ ජනපති වීම ගැන බොහෝ සතුටු වන්නේ ධනවතුන් පමණි. මින් ඉදිරියට, පිහිටුවන ලද ආණ්ඩුවේ අරමුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පැනවීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන අතරම, වෙනසක මුහුණතක් සැපයීම සහ වල්මත් වී සිටින දූෂිත දේශපාලකයන්ට අත්‍යාවශ්‍ය හුස්ම ගැනීමේ අවකාශයක් ලබා දීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊනියා ඇපදීමේ පැකේජය සහ අනුබද්ධ කප්පාදු පියවරවල බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට, ආර්ථික අර්බුදයේ අවකලන බලපෑම ඉදිරියට ගෙන ඒම අත්‍යාවශ්‍ය වේ. ආර්ථික කඩාවැටීම පූර්වයේදී සෑම කෙනෙකුටම බෙහෙවින් වෙනස් ලෙස බලපෑ බව අප මතක තබා ගත යුතුය. සෑම තැනකම විදුලිය විසංධි වූ අතර මිනිසුන් ඉන්ධන සහ ආහාර ලබා ගැනීමට අරගල කළහ. එහෙත් ධනවත් මිනිසුන් ඔවුන්ගේ තත්ත්වය ඉක්මනින් ස්ථාවර වන බව දැක ඇති අතර, අවසානයේ ආහාර සහ ඉන්ධන පෝලිම්වල සිටගෙන සිටින්නේ ඔවුන්ගේ සේවකයින්ය. හිඟයක් තිබී ඇත්තේ ධනවතුන්ට නොව දුප්පතුන්ටය. දුප්පතුන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අරගල කරන අතරේ, ධනවතුන් ඔවුන්ගේ ඉහළ මිලදී ගැනීමේ හැකියාව මත තොග වශයෙන් ගබඩා කර ඇත.

කඩා වැටෙන ආර්ථිකයක ආරම්භක ක්ෂතිය ධනවතුන් සඳහා පහව ගොස් ඇති අතර, දැන් මෙම ප්‍රභූන් සාමය සහ ස්ථාවරත්වය ඉල්ලා සිටින අතර සාමාන්‍ය ජනතාව බිල්ලට දෙන ලෙස ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, පොහොසත්-ධනවතුන් නොව කැපකරන්නේ, එහෙත් වැඩිපුරම කැපකිරීම සිදු කිරීමට සිදුවනු ඇත්තේ දුප්පතුන්ටය. වර්තමාන ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේදී පවා, ධනවතුන් ආහාර හිඟයේ ගැටලුවෙන් පීඩා විඳින්නේ නැත, මන්ද ඔවුන්ගේ වියදමෙන් ආහාර විශාල කොටසක් නොවන හෙයිනි. ඊට හාත්පස වෙනස්ව, ආහාර වියදම් දුප්පතුන්ගේ අල්ප ආදායම සම්පූර්ණයෙන්ම කා දමයි.

වර්තමාන අර්බුදය තුළ ඉන්ධන සහ විදුලිය රැක බලාගැනීම සඳහා වීදි ලාම්පු නිවා දැමූ විට රටේ ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් සුඛෝපභෝගී හෝටල්, විසිතුරු අවන්හල්, උස්මහල් නිවාස, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලාවල සහ ධනවතුන් ජීවත් වන, විනෝද වන වෙනත් විවිධ ස්ථානවල විදුලිය ජනනය සඳහා භාවිත කළ බව සැලකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය වේ. මධ්‍යම පාන්තික සහ සාමාන්‍ය ජනතාව භාවිත කරන බයිසිකල් පරිභෝජනයට වඩා විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රටට වැයවන බව අප සැලකිල්ලට ගත යුතුය.

බොහෝ ශ්‍රී ලාංකිකයන් දිනකට වේල් දෙකක් කන්නට දඟලමින් සිටින අතර, වැඩකරන ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වන දෛනික කුලී වැඩ කරන්නන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොහොතක, ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ ආයතනික සමාගම් සිය මිලියන ගණන් මුදල් ඕෆ්ශෝ බැංකුවල තැන්පත් කර ඇති බව දන්නා කරුණකි. ආර්ථිකය නිර්මාණය වන්නේ ශ්‍රම සූරාකෑම හරහා බව තේරුම් ගැනීම වැදගත්ය. වැඩ කරන ජනතාවගේ ශ්‍රමය ජාතියේ ධනය නිර්මාණය කරන නමුත් ධනවතුන් විසින් එය ම්ලේච්ඡ ලෙස අත්පත් කර ගනී. මෙම සොරකම් කළ ධනය ඇත්ත වශයෙන්ම රටට අයත් වන්නේ එය මුලින්ම නිර්මාණය කර ඇත්තේ සමාජයේ අතිමහත් බහුතරයක් කම්කරුවන් වන බැවිනි. කම්කරු දුප්පතුන් විසින් නිර්මාණය කරන ලද ධනය නැවත අත්පත් කර ගැනීමේ විකල්පයක් බලාත්මක කිරීමට කාලය පැමිණ තිබේ.

රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වීම ගැන ධනවතුන් බෙහෙවින් සතුටු වන්නේ ඔහු පවතින තත්ත්වය හැර අන් කිසිවක් නියෝජනය නොකරන බැවිනි. ආධිපත්‍ය දරන ආර්ථික පන්තීන් විසින් වික්‍රමසිංහගේ ‘පළපුරුදු’ සහ ‘උපයෝගීතාමය’ ආණ්ඩුකරණය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ඝෝෂාකාරී ලෙස ප්‍රචාරය කිරීමට පටන් ගෙන ඇති අතර, එය ඔවුන්ට ආර්ථිකය ස්ථාවර කිරීමේ දිශානතියේ පියවරක් ලෙසින් සමන්විත වන බව අමුතුවෙන් කිව යුතු නැත. කුඩා නිදසුනක් සලකා බලමු, බැංකුවල පොලී අනුපාත වැඩි කිරීමෙන් ලාභ ලබන්නේ තම අතිරික්ත මුදල් බැංකුවල තබා ගැනීමට හැකි ධනවතුන්ට පමණි. ස්වාභාවිකවම, මෙම පියවර විශාල තැන්පතු ඇති අයට ප්‍රයෝජනවත් වනු ඇත. අනෙක් අතට, එය හදිසි ණය අවශ්‍ය දුප්පතුන්ට බරපතල ලෙස බලපානු ඇත. මෙම ප්‍රතිපත්තිමය පියවර හුදෙක් දුප්පතුන් කොල්ලකන අතරම ධනවතුන් තවත් පොහොසත් කරයි. දුප්පතුන්ගේ ජීවිතය අපායක් බවට පත් කරන මෙම ක්‍රියාමාර්ගය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මොහොතක නිර්භීත පියවරක් ලෙස හුවා දැක්වීම පුදුම සහගතය.

ධනවතුන්ගේ ප්‍රමුඛ කොටසක් ඩොලර් වලින් තම ආදායම උපයා ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත, එයින් අදහස් කරන්නේ ආර්ථිකය කඩා වැටීමත් සමඟ ඔවුන්ගේ ආදායම සැබවින්ම වැඩි වන බවයි. බොහෝ කෝටිපතියන් සහ ප්‍රකෝටිපතියන් ශ්‍රී ලංකාව තුළ හුදෙක් කොල්ලකෑම සහ ඔවුන්ගේ අයථා ධනය ඩොලර් වලින් රැස්කරගෙන සිටියහ. විවිධ ක්‍රියාමාර්ග හරහා මෙය සාක්ෂාත් කර ගෙන ඇත. උදාහරණයක් වශයෙන්, අපනයන සමාගම් වැරදි ඉන්වොයිස් කිරීම සහ ස්ථාන මාරු මිලකරණය හරහා තීරුබදු මග හැරීය. ඇත්ත වශයෙන්ම, මෙම සන්දර්භය තුළ කෙනෙකුට තේරුම් ගත හැක්කේ, IMF වෙතින් ඇප දීමේ පැකේජයක් තැරැව් කිරීම, වික්‍රමසිංහ කටයුතුවල පාලනයේ රැඳී සිටීමට කැමති ශ්‍රී ලංකාවේ ධනවත්-පොහොසතුන්ට ඉමහත් උපකාරයක් වනු ඇති බවයි. ලංකාවේ මේ තත්ත්වය හරියට කබලෙන් ලිපට, ගින්නට පනිනවා වගේ. අවසාන වශයෙන්, ආර්ථික අර්බුදයෙන් මිදීමේ නාමයෙන්, IMF ‘ඇප-දීමේ’ පැකේජයක් අවසන් වනු ඇත්තේ අර්බුදය එහි නරකම ආකාරයෙන් ප්‍රතිනිෂ්පාදනය කර තීව්‍ර කිරීමෙනි.

මේ මොහොතේ අවශ්‍ය ජනතා හිතවාදී ආර්ථික ක්‍රියාමාර්ග මොනවාද?

ජාමූඅ සමඟ ගනුදෙනුවක ඇප-ලබාදීම පැකේජය ලබා ගැනීමේ අදහස අබලන් වන ආර්ථික අර්බුදයට ඇති එකම කෝකටත් තෛලය ලෙස විකුණනු ලැබේ. කෙසේ වෙතත්, කලින් සඳහන් කළ පරිදි, මෙම අදහස සැබවින්ම ප්‍රවර්ධනය කරනු ලබන්නේ පාලක ප්‍රභූන් මෙන්ම විපක්ෂයේ අවස්ථාවාදී දේශපාලනඥයන් විසිනි. මේ ආර්ථික අර්බුදය මෑත කාලයේ ඇති වූවක් නොවන බව අප අමතක නොකළ යුතුයි. ඒ වෙනුවට, එය දශක ගණනාවක් තිස්සේ, විශේෂයෙන් 21 වන සියවසේ ආරම්භයේ සිට කැකෑරෙමින් තිබුණි. එය ඇත්ත වශයෙන්ම, රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින 17 වැනි ඇප දීමේ පැකේජයයි.

බොහෝ ප්‍රසිද්ධියට පත් වූ IMF ‘ඇප-දීමේ’ පැකේජයට ප්‍රතිවිරුද්ධව, ධනවත්-පොහොසතුන් ශක්තිමත් කිරීමට වඩා රට බේරා ගැනීම සඳහා ඉල්ලා සිටිය යුතු සහ සටන් කළ යුතු පියවර මාලාවක් තිබේ. රට අර්බුදයෙන් ගොඩ යා හැක්කේ ධනවතුන් දුක් විඳ ඔවුන් විසින්ම ඇති කර ගත් අර්බුදයට වන්දි ගෙවන්නේ නම් පමණි. විකල්ප පියවර වන්නේ:

1.) ඉන්ධන අර්බුදය විසඳීම සඳහා, පෙට්‍රල් විශාල ලෙස යොදාගන්නා මෝටර් රථ වැනි ධනවතුන් භාවිතා කරන වාහන මාර්ගවල තහනම් කළ යුතු අතර, පොදු ප්‍රවාහනයට සහ මධ්‍යම පාන්තික සහ කම්කරු ජනතාව භාවිතා කරන වාහන පමණක් ඉඩ දිය යුතුය. පොදු ප්‍රවාහන ආයතන, මධ්‍යම පාන්තික සහ කම්කරු දුප්පතුන්ට පමණක් අවශ්‍ය ඉන්ධන කෝටා ලබා දිය යුතුය.

2.) ඉහළ ආදායම් ලබන අයගෙන් විදුලිය ඉල්ලන ගෙවීම වැඩි කළ යුතුයි. මෙයින් අදහස් කරන්නේ ධනවතුන්ගේ ඉහළ විදුලි පරිභෝජනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවත්, ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන්ට අඩු වියදමකින් වැඩි විදුලියක් ලබාදීමට ඉඩ සැලසෙන බවත්ය.

3.) රටේ ආහාර නිෂ්පාදනය ස්ථාවර කිරීම සඳහා කුඩා ගොවි ජනතාව භාවිතා කරන යෙදවුම් සඳහා සහනාධාර ලබා දිය යුතුය. මධ්‍ය කාලීනව රටට ප්‍රධාන පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කිරීමට සිදු නොවන බව සහතික කිරීම සඳහා මෙය කළ යුතුය.

4.) ඇත්ත වශයෙන්ම රටේ කම්කරු ජනතාව විසින් නිර්මාණය කර ඇති නමුත් ධනවතුන් විසින් එකතු කරන ලද සොරකම් කළ ධනය සමාජ අංශයට මූල්‍යකරණය කිරීම සඳහා නැවත උපයා ගත යුතුය. ශ්‍රී ලංකාවේ විශාල වතු හා තේ සමාගම් ඇති අතර එහි කම්කරු ජනගහනයෙන් විශාල කොටසක් සේවය කරයි. විශාල කර්මාන්ත ව්‍යවසායන් සමඟ මේවා ජනසතු කළ යුතු අතර, මෙම ව්‍යවසායන්හි අතිවිශාල ධනය සහ ලාභ අත්‍යාවශ්‍ය ආනයන මිලදී ගැනීම සඳහා යෙදවිය යුතුය.

5.) සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ශක්තිමත් කරන ලද පොදු බෙදාහැරීමේ පද්ධතියක් (පීඩීඑස්) හරහා බෙදා හැරිය යුතුය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා මහජන කමිටු මගින් කළමනා කළ යුතු අතර සම්පූර්ණයෙන්ම මහජන මුදල් යෙදවිය යුතුය. ඒ වගේම අනෙකුත් සියලුම කුඩා ආර්ථික කටයුතු සඳහා සමුපකාර පිහිටුවා ප්‍රවර්ධනය කළ යුතුය.

6.) සියලු පෞද්ගලික බැංකු ජනසතු කිරීම, සියලු විදේශ ණය ප්‍රතික්ෂේප කිරීම සහ එක්සත් ජනපද ඩොලරයේ වෙළඳාම නැවැත්විය යුතුය, එය අධිරාජ්‍යවාදී ඇමරිකාවට පමණක්  ප්‍රතිලාභ ලබා දෙන අතර එය අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයට අහිතකර ලෙස බලපායි. මුදල් හුවමාරු ප්‍රතිපත්තිය යනු ශ්‍රී ලංකාවේ කාලීන අවශ්‍යතාවයක් පමණක් නොව, ණය බරින් මිරිකී සිටින බොහෝ රටවල සහ ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනතාවගේ අනාගතය වනු ඇති දෙයකි.*

[*ලෝකය පුරාවටම තෙල් වෙළදාම් සියල්ලම සිදු කරනු ලබන්නේ ඇමෙරිකානු ඩොලරවලින් වන අතර එමඟින් USD වඩාත්ම ප්‍රමුඛ සංචිත මුදල් බවට පත් කරයි, එය ජාත්‍යන්තර මුදලක ස්වරූපය තත්‍යානුකූලව ලබා ගැනීමට ඉඩ සලසයි. 1970 ගණන්වල සිට මිලිටරි ආරක්ෂාව සඳහා ප්‍රතිඋපකාර ලෙස ඉන්ධන වෙළදාම ඇමෙරිකානු ඩොලරයෙන් සිදු කිරීමට තෙල්වලින් ධනවත් සෞදි අරාබිය සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇත. 1975 වන විට ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ (OPEC) කොටස්කරුවන් වූ සියලුම රටවල් තෙල් මිල ඇමෙරිකානු ඩොලරයෙන් පවත්වාගැණීමට සහ අතිරික්ත තෙල් වලින් ලැබෙන ආදායම ඇමරිකානු රජයේ ණය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට සමාන එකඟතාවයකට පැමිණ ඇත. ඒ වෙනුවෙන්, ඇමෙරිකාව එම ඔපෙක් දේශයන්ට මිලිටරිමය ආරක්ෂාව ලබා දීම පුළුල් කළා. එවැනි සංවර්ධනයන් ඇමෙරිකාවේ ආර්ථික සෞඛ්‍ය නොතකමින් ඇමෙරිකානු ඩොලරය සඳහා ස්ථීර ජාත්‍යන්තර ඉල්ලුම අපේක්ෂා කළ ලෙස අවසන් කඩ ඉමට පැමිණ ඇත. ඇමෙරිකානු ආණ්ඩුව අය කළ වන්දිය (seigniorage) හරහා අතිවිශාල ආදායමක් ලබා ගනී. අඩු මිල මට්ටමකින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ඇමෙරිකානු ආණ්ඩුවට ඉහළ අයවැය හිඟයක්(higher budgetary deficit) පවත්වා ගැනීමට අවකාශය සකසයි. තවද, සවිමත් ඇමෙරිකානු ඩොලරය යන්නෙන් ඇමෙරිකාවට ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ සාපේක්ෂව මිලෙන් පහත් අතර, ඇමෙරිකාවෙන් අපනයනය කරන ඒවා මිලදී ගන්නා රටවල් සඳහා මිල අධික වීම අදහස් වේ. එකට ගත් විට, ඩොලරය-භාණ්ඩාගාර බන්ධිත අධිකාරිත්වය ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපයක ඇමෙරිකාවේ ආධිපත්‍ය සඳහා මුඛ්‍ය ආකාරයකින් දායක වී ඇත. මේ සම්බන්ධව ගත් කල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බටහිර අධිරාජ්‍යවාදී රටවලට ශ්‍රී ලංකාවේ ණය බරට සියයට 80කට වඩා වැඩි වන අතර, චීනයට ඇත්තේ සියයට 10ක් පමණක් බව කල්පනාකාරී වීම වැදගත්ය. මෙම කරුණට පරස්පරව, බටහිර අධිරාජ්‍යවාදී රටවල් චීනය සමඟ ආධිපත්ය සඳහා ඔවුන්ගේ ගෝලීය සටනේ යෙදී සිටින අතර, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට චීනය විසින් පිළිපදින රාජ්‍යතාන්ත්‍රික ණය උගුල් නිසා ඇති වූවක් බවට මිත්‍යාමතික ප්‍රචාරනය කරයි.]

මෙම මොහොතේ ගත යුතු තෝරාගැනීම ඉතා සරලය. ජනතාව විසින් නිර්මාණය කළ ධනය නැවත ජනයා විසින් අය කරගත යුතුය නැතිනම් දුප්පතුන්ව ආර්ථිකව සූරාකෑම තවදුරටත් අධිකතර වූ ආර්ථික පද්ධතියක් යටතේ අඛණ්ඩව ජීවත් විය යුතුය. ධනවතුන්ට පක්ෂපාතී, දුප්පතුන්ට එරෙහි කප්පාදු පියවරයන් සඳහා පාලක සංස්ථාපිතය සිය තෝරාගැනීම පැහැදිලිව ගෙන ඇත. මෙම මොහොතේ මිනිසුන්ට සිය ස්ථාවර තෝරාගැනීමට සංඥා කරයි. ජනතාව ප්‍රපාතයක සිටගෙන සිටී. අසාමාන්‍ය ප්‍රති-ධනවාදී, ප්‍රති-අධිරාජ්‍යවාදී ක්‍රියාමාර්ගවලට පමණක් අපව මෙම තත්ත්වයෙන් මුදාගත හැක. එසේ නොවේ නම්, මහජන පිබිදීමෙන් මාස ත්‍රිත්වයකට පසු අත්පත් කරගත් ඕනෑම දෙයක් අවසානයේ මහා ඛේදවාචකයක් තෙක් ගමන් ගෙන අවසන් විය හැක. ඓතිහාසිගත නිමේෂය එවිට අහිමි වූ අවස්ථාවක් බවට පත් වනු ඇත, මන්ද රජයේ නිලධරයන්ගේ වෙනස්වීම හැරුණුකොට, ජනතාව එපමණ තරම් නිර්භයව සටන් කළ සැබෑ වෙනසක් සිදු නොවනු ඇත. ‘වැඩිපුරම දේවල් වෙනස් වන තරමට ඒවා එලෙසම පවතී’ කියන සම්භාව්‍ය ප්‍රස්තූතයක් බවට පත් වනු ඇත.

වෙනසක් ගොඩනැගීම යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද?

මහජනතාවගේ ස්වයං-පාලනයක් පාර්ලිමේන්තුවෙන් පැමිණෙන්නේ නොමැත. පාර්ලිමේන්තුව මහජන කවුන්සිලයක් පිහිටුවනු ඇතැයි බලාපොරොත්තු වීම ද ඒ හා සමානව මුග්ධකමකි. බලයේ සැබෑ අවයව වන්නේ මහජනතාවයි. රටේ දෛවය ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුතු ඔවුන්ගේම රැස්වීම් පිහිටුවීම සඳහා ඔවුන්ට කාලය එලඹ ඇත. වර්තමාන පාලන තන්ත්‍රය ස්ථාවර වී කම්කරු ජනතාවට එරෙහිව ධනවතුන්ගේ  සහ බලවන්තයන්ගේ ප්‍රති-ප්‍රහාරයක් දියත් කරන තුරු බලා සිටිය යුතු නැත. ලාභ පද්ධතියේ ගිජුකම සහ මහජනතාවගේ අවශ්‍යතා අතර සමඟි කළ නොහැකි ඝට්ටනයක් පවතින බව ඔවුන් වටහා ගත යුතුය. නීත්‍යානුකූල නොවන පාර්ලිමේන්තුව සහ ජනාධිපති හා පාරේ යන මහජනතාව අතර තිබෙන්නේ ද සමඟි කළ නොහැකි ඝට්ටනයකි. වර්තමාන ද්විත්ව බලයේ කොන්දේසියක් පවතින අතර, ව්‍යාපාරය විසින් මහජන රැස්වීම් සහ මහජන කවුන්සිල හරහා මහජන බලය පිහිටුවීමට අරමුණු කරගත යුතුය. ස්වාධිපත්‍ය අහිමි කළ නොහැකි විය යුතු අතර, සාරය වශයෙන් එය මහජනතාවටම පැවරිය යුතුය.

අරගලයේදී ජනතාවගේ වඩාත් පැහැදිලිව ප්‍රකාශිත අභිලාෂය වූයේ පැහැදිලි, සංයුක්ත වෙනසක් ගෙන ඒමයි.  වර්තමාන අවසාන අවහිරතාව විසඳාගත හැකි එකම මාර්ගය වන්නේ පවතින ක්‍රමය දිය කර හැර ඒ වෙනුවට නව දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමයි. කෙසේ වෙතත්, ක්‍රමය වෙනස් කිරීමට නම්, අප සිතන ආකාරය සහ දේවල් තේරුම් ගන්නා ආකාරය ද වෙනස් කළ යුතුය. ඉතිහාසයේ අසාමාන්‍ය තත්ත්වයන් තුළ අසාමාන්‍ය සවිඥානිකත්වයක් මතුවීමේ වියහැකියාව පවතී. සියලුම ආකාරයේ ප්‍රභූ තන්ත්‍රය විසින් ප්‍රවර්ධනය කරන සහ ප්‍රචාරය කරන ලද අධිපති දෘෂ්ටිවාදයේ ඛණ්ඩාංක තුළට කොටු වී සිටීම එනම් අප සිතීමට සලස්වා ඇති ආකාරයෙන් ඔබ්බට ගෙන යන ජනතාවාදී සිතීමක පුනරුදයක් අපට අවශ්‍ය වේ. පද්ධතිය තුළ ඇති වියහැකියාවන් ගැන පමණක් සිතීමට අප ඇබ්බැහි නොවිය යුතු අතර, එහෙත් සංයුක්ත ගතව ඇති සහ අඩංගුවී ඇති වියහැකියාවන් හරහා සියලු පරාමිතීන් වෙනස් කළ යුතුය.

මීට මාස කීපයකට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම කළ නොහැක්කක් ලෙස සැලකූ බව මතක තබා ගත යුතුය. ප්‍රවාහනයේ කෙතරම් දුෂ්කරතා මැද වුවද, ඇඳිරි නීතිය නොතකමින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් අගනුවරට පැමිණි බව මතක තබා ගන්න. අගනුවරට පැමිණීමට නොහැකි වූ ජනතාව රටේ විවිධ ප්‍රදේශවල සිය විරෝධතා පැවැත්විය. පොලිස් බාධක හරියට ගිනිකූරු වගේ පසෙකට වී සිටි අතර මිනිසුන් ඉදිරියට ඇදෙන්නට විය.

බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගත් බව, තුවාල ලැබූ බව, ඝාතනය කළ බව සිහි තබා ගන්න, නමුත් එසේ තිබියදී ද ජනතාව ඔවුන්ගේ සාමූහික බලය කෙරෙහි විශ්වාසය තැබූ අතර, ඔවුන්ගේ බිය අතුරුදහන් විය. එය බලවන්තයන් බියෙන් පලා යාම සඳහා කාලය උදා කළේය. අපි ගෝඨාභය රාජපක්ෂට පලා යාමට තත්ත්වය ගොඩනැගුවා. එහෙත් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයට සහ රාජපක්ෂ වංශයට ආවරණයක් බව අමතක කරන්නේ කොහොමද? වෙනස් මුහුණුවරක් යටතේ පාලනය හොබවන්නේ එකම කල්ලියයි. එපමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සියල්ල නියම කිරීමට යන හෙයින් මුහුණු වෙනස් කිරීම වංචාවකි.

දැන්, ව්‍යාපාරයේ කිහිප දෙනෙක් ආණ්ඩුව සමඟ සටන් විරාමයක් ගැන සලකා බලමින් සිටින අතර, විශාල බහුතරයකට අවශ්‍ය වන්නේ වඩාත් දැඩි ලෙස ස්ථීර දිශානතියක් සමඟ ව්‍යාපාරය යළි-සංයුති ගත කිරීමයි. වික්‍රමසිංහ නීත්‍යානුකූල ජනපති කෙනෙකු ලෙස මහජන ව්‍යාපාරය විසින් පිළිගෙන නොමැති බවත්, ඔහු ඉල්ලා අස්වන තුරු ව්‍යාපාරය තීව්‍ර කිරීමට මෙන්ම ආණ්ඩුකරණ ක්‍රමයම වෙනස් කිරීමට ජනතාව තීරණය කර ඇති බවත් සිහිතබා ගන්න.

මහජනතාව පසුගිය මාස කිහිපයක තුළ ඔවුන්ගේ සාමූහික බලය ප්රකාශ කළා. මාස කිහිපයකට පෙර සිතාගත නොහැකි වූ දෙය සිදුවිය. මහජනතාව ඔවුන්ගේ සාමූහික අරගලයෙන් ජනතා අරගල මගින් රාජපක්ෂලා බලයෙන් පහකර ඇත. කෙසේවෙතත්, කෛරාටික දේශපාලකයන්ගෙන් බහුතරයක් තවමත් බලයේ රැඳී සිටින අතර වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමති ධූර සඳහා ගනුදෙනු තැරැව්කම් කරමින් සිටී. ව්‍යාපාරයේ පීඩනය හේතුවෙන් ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ වැල්බයිලා ගැසූ විරුද්ධ පක්ෂවල දේශපාලකයන් පවා මූලිකවම උනන්දු වන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට සහ ජනතා අභිලාෂ සිරගත කිරීමටය.

මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තනි තනිව ක්‍රමයට අභියෝග කර නැත, ජනතා අයිතීන් අනුකම්පා විරහිත ලෙස මර්දනය කිරීමට විධායක බලතල භාවිතා කිරීමට ජනාධිපතිවරයාගෙන් පසුව ජනාධිපතිවරයාට සරලව ඉඩ සලසා දී ඇති පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම රාජපක්ෂපාතීත්වය සපථ කර ඇත. මහජනයාගේ බලපෑම මත රැඩිකල් වාක්‍ය ඛණ්ඩ භාවිත කරන දේශපාලකයන් කිසිදු සංයුක්ත, නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොගෙන, අරගල කරන ජනතාවට සහය පළ කරමින් සෞම්‍ය වදන් පාර්ලිමේන්තුවේදී කියමින් සිටී. මෙම දේශපාලකයන්ගේ පක්ෂවල කාඩරය විරෝධතා ස්ථානවල මහජනයා සමඟ මුසු වන නමුත් පුහු කයිවාරු හැරෙන්නට ලබා දීමට හැක්කේ ස්වල්ප දේවල් ටිකකි. වචනවල රැඩිකල්වාදය සහ ක්‍රියාවන්ගේ අවස්ථාවාදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයන්ගේ කූට ස්වභාවය හෙළිදරව් කර ඇත. ඔවුන් අවසානයේදී ජනතා කැමැත්තට පරස්පරව වික්‍රමසිංහ නැවතවරක් අධිකාරී තනතුරකට ගෙන ඒමට සහය දුන් පවතින නියෝජිත ක්‍රමය නීත්‍යානුකූල කිරීමෙහිලා විශාල කාර්යයභාරයක් ඉටු කළේය.

අරගල කරනා මහජනතාව සැබෑ වෙනසක් සඳහා අරමුණු කරගත යුතුය. අසාමාන්‍ය කාලයක් ඉල්ලන්නේ ජනතාව විසින්ම අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. අද ලෝකයේ බොහෝ රටවල පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටත්විජිතවාදී ගොඩනැංවීමකි. යටත්විජිතවාදී සංදර්භය තුළ එය ස්වදේශික ප්‍රභූන්ව යටත්විජිත නිලධාරීන් සමඟ බල ගනුදෙනු කරනා තනතුරුවලට තල්ලු කිරීමට සේවය කළේය. එබැවින්, දීර්ඝ කාලයක පටන්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රාසාදය දේපල පදනම් වූ ඡන්ද බලය, මිල අධික මැතිවරණ සහ මැතිවරණ කොට්ඨාශවල අසමාන තොරොම්බල් කිරීම් මත ගොඩනගා ඇති අතර එමඟින් ධනවතුන්ට ව්‍යවස්ථාදායක රැස්වීම් සහ ව්‍යවස්ථාදායක සභා වැනි ‘නියෝජිත’ ආයතන පිහිටුවීමේ ආධිකාරීත්වය දැරීමට හැකි විය. වෙනත් ලෙස කිවහොත්, අධිපති කොටස්වල සහ යටත් විජිතවාදී බලයේ දේපල සහ වරප්‍රසාද වටා බලපෑම්කාරී අගල් ලෙස දේශපාලනයේ පැහැදිලි නීති රීති සහ ආයතනික සැකැස්ම ගොඩනගා ඇත. යටත් විජිත ප්‍රභූ පැලැන්තියේ සිට ස්වදේශික ප්‍රභූ පැලැන්තියට බලය පැවරීමෙන් පසුවද, මූලික ව්‍යුහය, යම් යම් බාහිර වෙනස්කම් සහිතව, නොනැසී අඛණ්ඩව පවතී. මෙලෙස ගතහොත්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අභ්‍යන්තර අරටුව, ජනතා බලය පරාරෝපණය කිරීම සහ එය ජනාධිපති, පාර්ලිමේන්තු සහ කැබිනට් වැනි දේශපාලන ආයතන වෙත එය මාරුකිරීම සම්බන්ධයෙන් ස්ථාවරව අඛණ්ඩව පවතී.

මෙම ආණ්ඩුකරණ ආකෘතිය නැවත නැවතත් ප්‍රතිනිෂ්පාදනය කිරීම නිසා පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පාරිශුද්ධ, නොකෙළෙසිය යුතු සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන ස්වරූපය ලෙස ගැනීමට මිනිසුන්ව ඇබ්බැහි කර ඇත. සිතීමේ මෙම අංශභාග බව වඩාත් යහපත් නියෝජිතයින් සෙවීම සඳහා ඔවුන්ගේ මැදිහත් වීම අඩු කිරීමට මිනිසුන්ට බල කරයි. ‘වඩාත් යහපත්’ නියෝජිතයන් සඳහා වූ සෙවීම විකාරරූපී ලෙස අඛණ්ඩව පවතී. මෙම ආකෘතිය හරහා, මිනිසුන් තමන්ව පාලනය කිරීමට ඇති අයිතිය පරාරෝපණය කර ඇත, මෙම අයිතිය ඡන්දයෙන් තේරුණු නියෝජිතයින්ට මාරු කරයි.  තමන්ට රිසි සේ අඩු වැඩි ලෙස සිය ඡන්දදායකයන්ව නියෝජනය කරනා මෙම නියෝජිතයන්ම බලයක් බවට පත් කරගනී. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් ඡන්දදායකයන්ගේ අදහස් අනුව බලයලත් නියෝජිතයින් නොවේ. පාලකයන් සහ පාලිතයන් අතර බලධූරාවලිය තවම පවතී. සහ පාවා දීමේ හැකියාව ද එසේමය. මේ අනුව, ප්‍රජාතන්ත්‍රවාදය යටත්විජිතහරණය කිරීම (decolonize democracy) වැදගත් වන අතර, නව, විප්ලවීය වීදි තුළින් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තුවෙන් ජනතා ව්‍යාපාරය සූදානම් වීම වැදගත්ය. මහජන රැස්වීම් යනු මිනිසුන්ට තමන්ම පාලනය කිරීමට සහභාගී වීමට හැකි ආයතන දේහ විය හැකිය. මහජන රැස්වීම්වල අනුමැතියකින් තොරව නීති සම්පාදනය කළ නොහැකි දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමට අප උත්සාහ කළ යුතු අතර, පාර්ලිමේන්තුව නියොජිත ආයතන දේහයක් ලෙස ජනතා රැස්වීම් හරහා තීරණ ගැනීමේ කියාවලිය සිදුවෙන බව සැබෑ මහජන පැවැත්ම මඟින් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කළ යුතුය.

මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සත්‍ය වෙනසක් කළ හැක්කේ යම් යම් වහාම ගත යුතු දේශපාලන අභිලාෂයන් මත සාමූහික අරගලයක් සිදු කිරීමෙන් පමණි. ඊට අයත් වන්නේ:

1.) වර්තමාන සංධිස්ථානයට අනිවාර්යය වන්නේ සාමාන්‍ය ජනතාව, කම්කරු ජනතාව නිහඬ කර තබා ගැනීම සඳහා වන පවතින දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරන විකල්පයකි. විකල්පය, අනිවාර්යයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පරිණාමනය වීම සහ රට පුරා මහජන රැස්වීම් පිහිටුවීම හරහා ජනතා කැමැත්ත ආයතනගත කිරීම තුලින් ප්‍රකාශ වේ. බලාපොරොත්තු වන ලෙසම, ප්‍රථමයෙන් සමහර ස්ථානවල එනම් අරගලය ශක්තිමත්ම තැන මහජන රැස්වීම් ස්ථාපිත කිරීමට හැකි වනු ඇත. එසේ වුවද, මෙම රැස්වීම් රට පුරා ප්‍රතිනිර්මාණය කළ හැකි ආයතනික මහජන බලයේ ආකෘතික ආදර්ශයක් ලෙස සේවය කරනු ඇත.

2.) රට තුළ වඩාත්ම දැවෙන, බලවත් ප්‍රශ්න පිළිබඳ තීරණය කිරීම සඳහා නගරවල, නුවරවල, ගම්වල මහජන රැස්වීම්වලට බලය දිය යුතුය.

– මහජන රැස්වීම්වල බලය උත්තරීතර විය යුතු අතර, පාර්ලිමේන්තුව රටේ මහජන රැස්වීම් සමඟ උපදෙස් විමසා රටේ කටයුතු කළමනාකරණය කිරීමේ නියෝජිත ආයතනයක් පමණක් බවට පත් විය යුතුය.

– තවද, එක් එක් මහජන රැස්වීමක් විසින් මහජන කවුන්සිලයක් ඡන්දයකින් තෝරාගනු ඇත. ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් කඩඉම් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා මහජන කවුන්සිලය සඳහා වන මැතිවරණයේ සියලුම අපේක්ෂකයින් තේරී පත් වූ නියෝජිතයන් ලෙස සලකනු ලැබේ. තීරණාත්මක ප්‍රතිපත්තිමය කාරණා/ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහජන රැස්වීම් පුරුද්දක් ලෙස රැස්වන අතර මහජන කවුන්සිල ස්ථීර සාකච්ඡා සිදු කරන ආයතන දේහයක් වනු ඇත. එවැනි දේශපාලනික සමාජයන්ගෙන් මතුවන ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්තිත ස්වභාවය තවදුරටත් සහතික වනුයේ කිසියම් පුද්ගල කණ්ඩායමකට හෝ දේශපාලන සංවිධානයකට ප්‍රශ්නයක් සාකච්ඡාව සඳහා මහජන කවුන්සිලයට සැළකිය යුතු සහයක් සමඟ කැඳවීමට සහ මහජන රැස්වීමේ සුදුසු කාලයක කැඳවන හමුවේදී ජනමත විචාරණයක් ඉල්ලා සිටීමේ අයිතිය දීර්ඝ කිරීමෙනි. මෙතැන් පටන් එලැඹෙන තීරණ පාර්ලිමේන්තුව වෙත ගෙන යන අතර, ඒවා සාකච්ඡා කිරීම සහ අනුමත කිරීම සඳහා අනෙකුත් මහජන කවුන්සිල සහ රැස්වීම් වෙත ඉදිරිපත් කරනු ඇත. මේ ස්වරූපයේදී, මහජන කවුන්සිල සහ රැස්වීම් හරහා ජනතාවට එවැනි ආයතනවලින් බහුතරයක් එසේ කිරීමට තීරණය කරන නිර්ණායක අනුව රට සඳහා නීති සම්පාදනයට හෝ අවලංගු කිරීමට ව්‍යවස්ථානුකූල බලය හිමි වනු ඇත.

– ඒ ආකාරයේ ප්‍රතිව්‍යුහගත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් විසින් පාර්ලිමේන්තුවේ සහ මහජන කවුන්සිලයේ සිය නියෝජිතයින්ව කැඳවීමට සහ ආපසු කැඳවීමට මහජන රැස්වීම්වලට බලය හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පවතින පාලක ප්‍රභූන්ගේ විශාලතම කොටස්වලින් සමන්විත වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ කළ නොහැක. ආර්ථිකය පරිවර්තනය කිරීමකින් තොරව මහජනයාගේ අයිතීන් සංයුක්ත කළ නොහැක; ප්‍රතිපත්ති ගොඩනැංවීමේදී පොදු මහජනතාවගේ සක්‍රීය සහභාගීත්වය ඉල්ලා සිටින ක්‍රියාවලියකි. වත්මන් තත්වයේදී, බල තුලනය, පද්ධතිය විප්ලවීය දිශානතියකට පරිවර්තනය කිරීම සඳහා වර්තමාන සංධිස්ථාන උපායමාර්ගික භාවිතය සඳහා හිතකර වේ, එබැවින් මිනිසුන්ගේ ජීවිතයේ යම් මට්ටමක වෙනසක් නොවුනත් එය යම් ආකාරයක හෝ වෙනසකි.

මෙම සංධිස්ථානයේදී, අරගල කරනා මහජනතාවගේ සියලුම දියුණු කොටස් කොටස්, විපක්ෂයේ සංවිධානවල කාඩර්වරු ඔවුන්ගේ කඳවුරුවල සහ වාඩිලාගැනීම් අඛණ්ඩව සිදු කරන අතරම ඒකාබද්ධ සම්බන්ධීකරණ සහ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය. අනීතික වික්‍රමසිංහ ආණ්ඩුව මහජනතාවගේ ව්‍යාපාරය සහ අපගේ වාඩිලාගැනීම් නීති විරෝධී කරලීමට හමුදාව යොදාගනිමින් උත්සාහ කරනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක. මෙම ආණ්ඩුව හමුදාව සහ පොලීසිය මුදාහරිනා තරමට අරගලය විසින් ව්‍යාපාරය ආරාක්ෂා කිරීම සඳහා බිමට එක්වන ලෙස මහජනයාට, සාමාන්‍ය ජනතාවට ඉල්ලා සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය ස්නායු පරීක්ෂාවකි, පරීක්ෂා සංඛ්‍යාවකි අරගලයේ ඒ ද්විත්වයම සෑහෙන තරම් ඇත.

ජූලි 21 මධ්‍යම රාත්‍රියේ මර්දනයෙන් පසු සමහර ක්‍රියාකාරික පාර්ශවයන් අතර තිබුණු අඳුරු කණස්සලුසහගත මනෝභාවය ජයගනිමින් ව්‍යාපාරය ප්‍රත්‍යස්ථ ලෙස නොනැවතී අඛණ්ඩව පැවතුනි. තුවාලවලට සාත්තු කර ඇතත්, එය යළි ශක්තිසම්පන්න ව ඇත, එය අළු මතින් ෆීනික්ස් පක්ෂියෙකු ලෙස නැගී සිටින්නේ ලෝකය පුරා අරගල කරනා ජනයාව ප්‍රබෝධමත් කිරීම සඳහාය. විප්ලවවාදී වියහැකියාවන්ගේ දිශානතියේ මහජන ව්‍යාපාරයෙහි ගම්‍යතාව තීව්‍ර කිරීම සඳහා මෙම මොහොත ජනතාව-වෙත-යාමේ ව්‍යාපාරයක් ඉල්ලා සිටී. වර්තමානයේ, පාර්ලිමේන්තුව දක්වා පාගමනක් සඳහා කොළඹට පැමිණීම සඳහා පොදු මහජනයාව ඒකරාශී කිරීම ව්‍යාපාරය සඳහා තීරණාත්මකය. මහජන පාගමන කැඳවීම සිදුවිය යුත්තේ උද්ඝෝෂණ කරනා ජනතාවට විරුද්ධව හමුදාව සහ පොලිස් බලයන් යොදාගැනීම තහනම් කිරීම සඳහා යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් වහාම කැඳවීමට බලකරමිනි. මෙම විශේෂ සැසිය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පාර්ලිමේන්තුව තුළ මේ මොහොතේ පවතින යුද්ධය සඳහා ලිට්මස් පරීක්ෂාවක් ලෙස කටයුතු කරනු ඇත, පාර්ලිමේන්තුව එය ඉදිරිපත් කිරීමට නොහැකි වීම ඔස්සේ නවීන පරිවර්තනීය දේශපාලනයක් වෙනුවෙන් තවදුරටත් මහජන ක්‍රියාමාර්ග සඳහා උත්ප්‍රේරකයක් වනු ඇත.

(මෙම ලිපිය ශ්‍රී ලංකාවේ මහජන ව්‍යාපාරය සමඟ ජාත්‍යන්තර සහයෝගිතාව සංවිධානය විසින් 2022.07.23 දින මාර්ගගතව සිදු කළ දේශනයක් මත පදනම් වූවකි.)

ආචාර්ය මායා ජෝන්: ඇය ඉන්දියාවේ, දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් සිදු කරන අතර, දශක දෙකකට ආසන්න කාලයක පටන් ඇය වාමාංශික ව්‍යාපාරයේ සිටින්නියකි. Email: [email protected]

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *