“විශ්වවිද්‍යාලය යනු කුමක්ද?” – අපේ විශ්වවිද්‍යාල දෙස බලා කරන ලද සෑබෑ විදර්ශනාවක්!

“විශ්වවිද්‍යාලය යනු කුමක්ද?” – අපේ විශ්වවිද්‍යාල දෙස බලා කරන ලද සෑබෑ  විදර්ශනාවක්!

සුමනා විජේරත්න

“එක වසරේ ගුරුවරු  ඇදේට ලියන අකුරු වලට හරි නොදමා, ඒ පුංචි ළමයින්ට ‘බෝල අකුරු’  ලියන්න බල කරනවාලු. ඇයි එහෙම කරන්නේ කියලා ඇහුවම, ඇද අකුරු වලට හරි දාල තිබුණොත් පරීෂක වරු ඇවිත් ගුරුවරුන්ට දොස් කියනවාලු. ඉතින් මේ විදුහල්පතිනිය අහනවා ‘පහ හය පන්තිවලින් උඩට ගියාම මොන ළමයද බෝල අකුරු ලියන්නෙ? ඇයි මේ පුංචි ළමා හිත්වලට ඔය තරම් වද දෙන්නෙ?”

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද විශ්වවිද්‍යාලය යනු කුමක්ද කියන පොත කියවන්න පටන් ගත්තේ ඒ පොත මගෙ අතට ලැබුණු සැණින්ම; ලංකාවෙන් මිලට ගත්ත පොත් වගේම බුකර් සම්මාන පවා හම්බ වූණු පොතත් පැත්තකට කරලා දාලා.  ඒ පොත කියවලා ඉවර වෙලා ඒ ගැන විචාරයක් ලියන්න ගියාම මට ඒක පාරටම මතක් වුණේ ඔන්න ඔය කතාව. එතෙන්ට අපි පස්සේ එමු, දැං බලමු මොකක්ද මේ පොත කියලා. 

මෙවැනි පර්යේෂණ ග්‍රන්ථ අපේ රටේ දුලබ බවත්, මෙම කෘතිය එම අඩුව පිරවීමට ඉදිරිපත් වීමක් ලෙස මේ පොතේම සඳහන් වෙන අතර, මා දකින්නේ මේ පොත වනාහී  අපේ විශ්වවිද්‍යාල දෙස බලා කරන ලද සෑබෑ  විදර්ශනාවක් ලෙසටයි. අපේ රටේ විදර්ශනා භාවනා මධ්‍යස්ථාන ටොන් ගාණක් තිබුණත්,  විදර්ශනාවට හුරු නොවීමේ ගතියක් අපේ සමස්ත ප්‍රජාවේම ජානවලටම බද්ධ වී තිබෙන්නාවු සංදර්භයක, මේ පටිසෝතගාමී පියවර ප්‍රසංසාත්මක එකක්. 

අපේ රටේ ක්‍රියාත්මක වන ‘නිදහස් අධ්‍යාපනය‘ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් හෙවත් ලිබරල් අධ්‍යාපනයක් ද නොඑසේනම් රාමුගත කොටුවක හිරවුණු අධ්‍යාපන ක්‍රමයක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් එකී විදර්ශනාත්මක කෝණයේ ඇති වැදගත්කම පෙන්වා දීම  මේ පොත සන්නිවේදනය කරන පොදු පණිවුඩය යි. නිදහස් යනු free නම් වූ මූල්‍යමය අර්ථය නොව එය liberal නම් වූ දාර්ශනික අදහස යන්න අධ්‍යයනය ක්ෂේත්‍රයේ  නියැලී සිටින සියලුම ක්ෂේත්‍ර වල උදවිය අවබොධ කර ගතයුතු දෙයක් නිසයි අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම අයට මේ පොත වැදගත් වන්නේ. 

මා මේ පොතේ තදින්ම ආලම්බනය කළ කරුණු අතරින් වැදගත්ම කරුණු කීපයක් පමණක් ගෙන හැර පාන්නම්. ඒවා අතර, මේ පොතේ මුල්ම උද්ධෘතය දක්වා ඇත්තේ මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලී හිමියන්ගේ ප්‍රකාශයයි. උන් වහන්සේ 1960 දී කරුණු ඉදිරිපත් කර ඇත්තේ කාලාම සූත්‍රය ට අනුව වන අතර, මූලික වශයෙන්ම විශ්වවිද්‍යාලය වනාහි අන්ධ විශ්වාසයට හා භක්තිවාදයට පහර ගසන, නොබියව ප්‍රශ්න කරන ප්‍රජාවක් බිහිකරන නිකේතනයක් විය යුතුය යන කරුණයි. අද එය එය ඉටුවී ඇත් ද? මෙම පොතේ පිටු අතර එම විදර්ශනාව මනාව සිදුවී ඇත. 

ලංකාවේ ගුරු පුහුණුවක් සඳහා යම් දායකත්වයක් මගෙන් විමසු අවස්ථාවේ මවිසින් ඔවුන්ට දුන් උපදෙස් මාලාවේ පළමු අංකය ලංකාවේ ගුරුවරු සියලු දෙනාට කාලාම සුත්‍රයේ හරය තම වෘත්තියට අනුගත කරගන්නා අයුරු පුහුණු කළයුතු බවයි. එහෙත් එය අද කෙරෙන්නේ කොහි ද?

ලංකාවට  විශ්වවිද්‍යාලයක් අවශ්‍යය බවට ආයාචනය ඉදිරිපත් කළ මහාචාර්ය අරුනාචලම් රාමනාදන් බලාපොරොත්තු වූ විශ්වවිද්‍යාලය නම් කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ්වල කොපි පිටපත් නොවිය යුතු එකක් මෙන්ම, වෘත්තීය නිපුණත්වය, මුදල් ඉපැයීම සහ සැප පහසු ජීවිතයක් ලබාදීම අරමුණු කරගත් එකක් ද නොවිය යුතුය. ඒ වෙනුවට ඔහු බලාපොරොත්තු වූයේ ශ්‍රී ලාංකික සමාජයට සහ සංස්කෘතික සංදර්භයට  සංවේදී,  ප්‍රඥාවන්ත පුරවැසියෙක් බිහිකිරීම දායක වන ප්‍රඥාව පෝෂණය කරන නිකේතනයක් බව අද  ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනාට අමතකව ගොස් ඇති බවට අමරකීර්ති මහතාගේ විදර්ශනා ඥානයට වැටහී ගොස් ඇත. 

එසේම එකී මූලික සාකච්ඡාවලට සහභාගී වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාද ප්‍රකාශ කර ඇත්තේ, එවකට ඉංග්‍රීසි ජාතිකයන් විසින් ස්ථාපනය කරතිබූ පෙරදිග කාලා ශිල්ප, භාෂා සහ සාහිත්‍ය නොසලකා හරින ලද අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඒවා මතුකර පොහෙණි කරන විශ්වවිද්‍යාල පද්ධතියක් පිහිටු වීමේ අවශ්‍යතාවයයි. එයද මතකයෙන් ගිලිහී ගොස් ඇති බවට මේ පොත දෙස් දෙයි. 

මුල සිටම, මෙවැනි සාකල්‍යවාදී නිදහස්කාරක අරමුණු පදනම් කරගෙන පිහිටවූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙස මෙම පොත සිදුකරන විදර්ශනාව ඉතාමත්ම විශ්ලේෂණාත්මක එකකි.  ලෝකයේ අනෙකුත් රටවල විශ්වවිද්‍යාල එකී  අරමුණු ඒ ඒ සන්දර්භයක් තුළ පොහොණි කරගෙන වඩාත් නිදහස්කාරකව, සාකල්‍යය සන්දර්භ සහිතව  පවත්වාගෙන යන උදාහරණ කීපයක් සවිස්තරාත්මකව  සහ අපේ රටේ විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව විමර්ශනය කරයි. 

සාකල්‍ය යනු ජීවිතය අංශ කොටස්වලට නොබෙදා ඒ  දෙස පරිපූර්ණව බැලීමයි;
( Holistic vs sectoral)   

සාකල්‍ය අධ්‍යාපනික සන්දර්භය පෙරදිගට ආධුනික වූ එකක් නොවේ. අනාදිමත් කාලයක සිට තක්සලාව, නාලන්දාව  ඇතුළු පෙරදිග අධ්‍යාපන ආයතන එහි සිසුන්ට ඉගැන්විය යුතු සියලු කලා ශිල්ප හා විද්‍යා උගන්වන නිකේතනව පැවති අතර, ලංකාවේ පැවති පිරිවෙන් ද ඒ සියල්ලෙන් පරිපූර්ණ මධ්‍යස්ථානව පැවත ඇත. ඒවායේ තිබුණු එකම අඩුව ඒවා ඉගැනීම පුරුෂලිංගිකයන්ට පමණක් සීමා වී තිබීමයි. ක්ෂේත්‍රවලට බෙදීමක් එවායේ  නොවීය.   

එක්තරා  විශ්වවිද්‍යාලයක ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ නාමාවලිය අතරට බුද්ධ දර්ශනය පදනම් කරගත් එකදු ග්‍රන්ථයක්වත් ඇතුළත්ව නැත. මෙයට හේතුව සෙවීම සඳහා අපේ විශ්වවිද්‍යාල පර්යේෂණ කර තිබේද? ඇත්ත වශයෙන්ම මේ සිදුවී ඇති සෝදාපාළුවට වග කිව යුතු කවුද? සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කර ඇති ඔහුගේ න්‍යාය ධර්ම අතික්‍රමණය කරන ධර්ම විග්‍රහ කොතෙක් නම් බෞද්ධ දාර්ශනික හරයේ  තිබේද? ඒවා විශ්ව ලෝකය තුළ ඉදිරියට නොගැනීමට හේතු කවරේද?  

ආචාර්ය ආනන්ද කුමාරස්වාමි හෝ මහාචාර්ය අරුනාචලම් බලාපොරොත්තු අපේ දේ සහමුලින්ම අමතක කර  අපි අපරදිග කරගසාගෙන සිටීම හරිද යන ප්‍රශ්නය ද මෙම විදර්ශනාව තුළ මම දකිනවා.

එහෙත් අපේ විශ්වවිද්‍යාල තුළ ඇති අංශ බෙදීම සහ ඒවායේ තිබූ ආර්ථික සහ තානාන්තර ආදී පටු අරමුණු ගැන කෙරෙන විශ්ලේෂණය තුළින් මනාව විවරණය වන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල තුළින් මෙය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබීමේ ඛේදවාචකයයි. 

මේ ගිලිහී යාම තුළින් බිහිවූ පුරවැසි ප්‍රජාවට මාද ඇතුළත් වන අතර, අපි අද අපව පොහෙණි කරනු ලැබූ බටහිර සංදර්භයයේ පිවිසුම් දොරටුව අසල ඇති ගන්ධබ්බ පාරාදීසයේ සාමාජිකයන්ව අපේ යටගියාව අභිනන්දනය කරමින් සිටිමු. අපෙන් පසු පරම්පරාව පෙරදිග උරුමයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදී, බටහිර වෘත්තීය සහ ලිබරල්වාදී ආර්ථික  සන්දර්භය තුළට ප්‍රාදූර්භුත වී එහි ඇතුළතට වැටී ගෙවන්නේද  සම්පූර්ණයෙන්ම ගන්ධබ්බ දිවි පෙවෙතක් බව ඔවුන් ම නොදැන සිටීම එම ඛේදවාචකයේ බැරෑරුම් ම අවස්ථාවයි. 

අද විශ්වවිද්‍යාලය තුළ ස්වාභාවික විද්‍යා, මානව ශාස්ත්‍ර සහ නිදහස් කලා යන විශ්ව පථයන් එකිනෙකින් දුරස්ථව පවතිනවා පමණක් නොව, ඒවායින් පිටවන පුරවැසියන් ද එකිනෙකාට එදිරිවාදිකම් කරමින්, සමච්චල් සහ උස්පහත් කොට සලකමින් එයම සමාජය තුළ අර්බුදකාරී තත්වයන්ට පත්කිරීමට ද දායකව ඇත.  

අවසානයේ මෙම පොත, නිදහස් කාරක අධ්‍යාපනය විශ්වවිද්‍යාල තුළ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉතාමත් ප්‍රායෝගික නිර්දේශ සහ නිගමන සමූහයක් ඉදිරිපත් කරයි.  එහෙත් මගේ ප්‍රශ්නය ඒ නිගමන සහ නිර්දේශවලට පමණක් මේ විශ්ව විද්‍යාලය නිදහස් කළ හැකි ද? 

විශ්වවිද්‍යාලය තුළ නිදහස් කාරක අධ්‍යාපනයක් පොහොණි කිරීමට එහි බීජ වැපිරිය යුතුයි නේද? එම බීජ වපුරන කෙත පිහිටියේ කොහි ද ? 

දැං අපි යමු මේ රචනාවේ මුලට. අකුරු බෝල කරගත නොහී හඬ හඬා ගෙදර යන දරුවන් සිටින පාසැලේ පැළ කරන බීජ වපුරන ඒ  විදුහල්පතිනියගේ මැසිවිල්ල අප දුටුවා ද? ඒ බීජ වපුරන කෙත පිහිටියේ කොහිද? බීජ කොහිද? ජල සම්පාදනය කොහිද? විදර්ශනාව තව දුරටත් විසරණය කළ යුතු ඒ කෙත පිළිබඳව අවධානය යොමු කළ යුතුයි නේද?

ගුරු අභ්‍යාස විද්‍යාල, අධ්‍යාපන පරිපාලන සේවය ගුරුවරු, පාසැල් පද්ධතිය, මේ සමස්තය නම් ඒ කෙත නොවේද? මෙම බීජ නොහදා පොහොණි කරන්නේ මොනවාද? 

මම පුංචි සන්දර්භ දෙකක් ගන්නම්. කැනඩාවේ විශ්වවිද්‍යාලවලට සුදුසු කම් ලැබීම සඳහා සෑම සිසුවෙක් ම ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළු ස්වාභාවික විද්‍යා, physical education,  සමාජ විද්‍යා, තාක්ෂණ, නිදහස් කලාවලට ගැනෙන විෂයයන් ඇතුළු ‘සාකල්‍ය  විශය ධාරාව‘ ක් Grade 12 දක්වා හදාරා සමත් විය යුතුය. 

එහෙත් ලංකාවේ සාකල්‍ය විෂය ධාරාවේ අවශ්‍යතාවය ඇත්තේ  සාමාන්‍ය පෙළ දක්වා පමණි.  අපි මෙය මතක් කරගමු . 1971 වන තෙක්ම මෙම සාකල්‍ය විෂය ධාරාවේ අවශ්‍යතාවය තිබුනේ අටවැනි පන්තිය දක්වා පමණි. එතැනින් පසු සිසුන් විද්‍යා – කලා – වාණිජ ලෙස බෙදී විෂය ධාරාව පටු වී සාකල්‍යත්වය හීනව යයි. එකල උසස් පෙළ  සඳහා සිසුන් විෂය හතරකට පමණක් සීමා කර තිබුණි. 

1971 උස පිම්මක් පනිමින් එය  සාකල්‍ය විෂය ධාරාව 10 වැනි ශ්‍රේණිය දක්වා දීර්ඝ කළ අතර අවුරුදු 52 ක් ඇතුළතම එහි වී ඇති වෙනස අබැටකි. සමාජ ආර්ථික සන්දර්භය තුළ ඇතිවී ඇති වෙනසට සමාන්තරව මේ වෙනස අබැටකටත් නැති තරම්ය.  මේ ගැන අපි ආඩම්බර වෙමුද? එසේම ආර්ථික සන්දර්භය තුළට ගාල් වී තරගකාරීව විභාගවලට කොටුකර ඇති දරුවන් තුළ පිරිසිදු බීජ වැපිරීමක් නොමැතිව විශ්වවිද්‍යාල තුළ ප්‍රඥාව පොහොණි කරන්නෙ කෙසේද? 

එසේ නම් මේ පොතේ දෙවැනි අදියර යා යුත්තේ සමස්ත අධ්‍යාපන කෙතම, අර බෝල අකුරු ලියන්නත් කලින් මොන්ටිසෝරිය ද ඇතුළත් ‘කෙත’ අස්සැද්දවීම කියන තැන සිට ය  යන්න මගේ අදහසයි. 

එහි පෙරමුණ ගත යුත්තේ ද ඔබ වැනි විශ්වවිද්‍යාලයේ සබුද්ධික ආචාර්ය මහාචාර්යවරුමයි. ඔබලා ඒ කර්තව්‍යයට  උරදෙනු ඇතැයි යන්න මගේ අපේක්ෂාවයි.  

(සුමනා විජේරත්න නගර නිර්මාණ ශිල්පිනියකි. ඇය දැනට ලේඛන කලාවේ නිරතව සිටී.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *