ඩිල්ශානි චතුරිකා දාබරේ
ඇතැම් සාහිත්‍ය කෘතියක ආරම්භක වාක්‍යය, සමස්ත කෘතිය කියැවීම සඳහා පාඨකයාට කරනුයේ සුළුපටු බලපෑමක් නොවේ. හුදෙක් නිර්මාණයට පිවිසීමට ම නොව, කෘතියේ සමස්ථාර්ථය නියෝජනය කරන්නක් ලෙස ද, ඉදිරියෙහි එළඹීමට නියමිත දෑ ඉඟිකරන සංඥාවක් වශයෙන් ද කෘතියට පසුබිම් වූ සමාජීය හා පාරිසරික වටපිටාව හුවා දක්වන මූලික අඩිතාලමක් ලෙසින් ද පාඨකයා කෘතිය කෙරෙහි ම ආසක්ත කළ හැකි මෙවලමක් ලෙසින් ද ඇතැම් ආරම්භක වැකි කටයුතු කරයි. එබැවින් කෘතියට තරම් ම වැදගත්කමක් මුල් වැකියට ද හිමි විය යුතුය. මේ, ඒ ‘ආලින්දය’ ගැනයි.
“ඇගේ විසි වැනි උපන් දිනය දවසේදීත් ඈ වෙනදා මෙන් ම මේසය අසළට වී බලා සිටියාය”
ලාංකේය පාඨකයන්ගේ අවධානය දිනූ සුප්‍රකට ජපන් ලේඛක හරුකි මුරකමි ලියූ ‘Birthday Girl’ නම් කෙටිකතාව ’Birthday Stories’ නම් එකතුවේ ඇතුළත් ව පළමුවරට පළකෙරෙන්නේ 2002දී. 2019 දී මුරකමිගේ 70 වැනි උපන්දිනය නිමිත්තෙන් මෙය, කුඩා පුස්තිකාවක් ලෙස මුද්‍රණය වෙනවා.
තමන්ගේ විසි වැනි ජන්ම දිනය දා තෝකියෝවට වැසි වැටෙමින් තිබූ රාත්‍රියක ඉතාලි අවන්හලක අර්ධකාලීනව සේවයේ යෙදෙන තරුණියකට අවන්හලේ හිමිකරු සිටින උඩු මහලට ගොස් ඔහුට ආහාර ඇනවුමක් පිළිගැන්වීමට සිදුවනවා. කිසි දිනක් නොවරදවා වෙනදාට එය ඉටුකරන්නේ කළමනාකරු විසිනුයි. හදිසියේ අසනීප වීම හේතුවෙන් ඔහුට රෝහලට යාමට සිදුවන අතර ඇයට එය ඉටුකරන්නැයි ඔහු පවරනවා. තරුණිය උඩු මහලේ කුටියට ගියායින් පසු සිදුවන සියල්ල මත කතාවේ මූලික තේමාව රඳා පවතිනවා.
මුරකමි මේ කෙටිකතාව ආරම්භ කරන්නේ, කථා නායිකාවගේ වයස ගැන සඳහනක් කරමින්. එක්කෝ කතාව පණගැහෙන සෘතුව, වර්ෂය, චරිතයක වයස හෝ යම් ඉලක්කමක අගයක් සඳහන් කරමින් නිර්මාණයක් ඇරඹීමේ ක්‍රමය ඔහුගේ බොහෝ නවකතාවල මෙන් ම කෙටිකතාවලත් දක්නට ලැබෙන්නක්. එය ඉන්දීය ලේඛකයෙකු වූ චේතන් බගත් සිය කෘතිවලට ඉලක්කම් මුසු මාතෘකා යොදනවා වැනියි. මුරකමිගේ නිර්මාණ කිහිපයක් උදාහරණ වශයෙන් විමසා බලමු.
“මගේ උපන්දිනේ 1951, ජනවාරි මාසේ හතරවෙනිදා” (දකුණු මායිමේ ; පරි – ඉන්දික ගුණවර්ධන)
“විද්‍යාලයේ දෙවන වසර ගෙවමින් සිටි සිසුවකු වූ සුකුරු ටසාකි ඒ වසරේ ජූලි මාසයේ සිට ඊළඟ වසරේ ජනවාරිය තෙක් නිරතුරුව තම සිත මෙහෙයවනු ලබමින් සිටියේ…” (තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක් ; පරි – මැනුවෙල් ජයසේකර)
“මට චීන ජාතිකයෙකු පළමුවෙන් ම මුණගැසුණේ කවදාද?”(චීනයට මන්දගාමී බෝට්ටුවකින් ; පරි – රශ්මික මණ්ඩාවල)
“In the spring of her twenty-second year, Sumire fell in love for the first time in her life” (Sputnik Sweetheart)
“Two men were assigned to drop sarin gas on the Chiyoda Line: Ilko Hayashi and Tomomitsu Niimi”(Underground)
‘Birthday Girl’ කෙටිකතාවේ පළමු වැකියෙන් තවත් අදහසක් පාඨකයාට වැටහෙනවා. එනම්, ඇය මින් පෙරත් එලෙසින් බලාසිට තිබෙන බව, මෙය සුපුරුදු කටයුත්තක් බව, දවස විශේෂ වුණත්, එය ඇයට තවත් දවසක් පමණක් බව. පිළිවෙළට කතාවක් කීමට වඩා කතාව එක්වරම ඇරඹීමට කතුවරයා රුචිකරනවා. කියවන්නා ඇඳ බැඳ තබාගන්නා රහසක් වාක්‍යයේ ගැබ්ව තිබෙනවා. ඇය මෙසේ රැඳී සිටියේ ඇයිදැයි පාඨකයාට දැනගන්න වුවමනා වෙනවා.
කතාවට යොදාගන්නා සිදුවීම සරල, සාමාන්‍ය යමක්. එය විශේෂ වන්නේ, කතුවරයා ඒ සිදුවීම යොදා කතාව ගොතන ආකාරය තුළයි. මේ කරුණ සමන් වික්‍රමාරච්චි, සිය ලිපියකදී මෙලෙසින් මතුකර දක්වනවා.
“සිදුවීම් නොසිදුවීම් බවට පත්කරන මුරකමි, නොසිදුවීම් සිදුවීම් බවට පත්කරයි” (සුළඟේ ගීතයට සවන් දෙනු -නවකතාව පිළිබඳ විමසීමක්)
කාමරයේ සිටින අවන්හල් හිමිකරු ඇගේ උපන්දිනය එදා බව දැන, ඒ ගැන පමණ ඉක්මවූ උද්යෝගයක් දක්වනවා, අසුබදායක යමක් අඟවන්නාක් මෙන් ඇයට අමුතු විදියකට සුබ පතනවා, ඇයට ඕනෑම දෙයක් ඉල්ලා සිටීමට අවසර දෙනවා, ඒ එකම වරය නැවත වෙනස් කරන්න ඉඩක් නොදෙන බව පවසනවා. මේ වරය නැතිනම් උපන්දින ප්‍රාර්ථනය, කතාව අඩංගු වන පොත් පිංචයේ කවරයත් නියෝජනය කරනවා. රාත්‍රී අහසේ කඩා වැටෙන තරුවක් එයින් නිරූපණය වෙනවා. කඩාවැටෙන තරු දෙස බලාකරන ප්‍රාර්ථනා ඉටුවන බවට මතයක් මිනිසුන් තුළ පවතිනවා.
කෙසේවෙතත් අවන්හන් හිමියා තරුණියට දක්වන මේ හදිසි-අමුතු කරුණාව පාඨකයා තුළ අසහනය මතුකරනවා. කතාව ඉදිරියේදී, යම් කලබගෑනියක් විය හැකි යැයි පාඨක මනසේ අනතුරු ඇඟවීමේ සීනු හැඬවෙන්න ගන්නවා.
‘Happy Birthday,’ he said. ‘May you live a rich and fruitful life, and may there be nothing to cast dark shadows on it.’(Birthday Girl)
මුරකමිගේ කතාවල දක්නට ලැබෙන මේ, ගූඪ බව, අහඹු බව, අඟවා හෙළි නොකිරීම, කියවන්නා අසහනයට පත්කිරීම වැනි ලකුණු ඔහුගේ ‘කුෂිරෝවට පිටසක්වල යානයක් ඇවිත්’ (U.F.O. In Kushiro) කෙටිකතාවේ දී ද දක්නට ලැබෙනවා. එහි ප්‍රධාන චරිතය වන කොමුරාට මිතුරා දෙන පෙට්ටියේ ඇත්තේ කුමක්දැයි පාඨකයා නොදැනගන්නා අතර ම, සංවාදවලදී එකම තැන කරකවමින් ඔවුන්ව අතරමං කරන්න මුරකමි සමත් වෙනවා. මෙලෙසින් අහඹු සිදුවීම් කතාවට යොදාගැනීමේ ලක්ෂණය මුරකමි සවිඥානිකව කරන්නක් බව උදිත අලහකෝන්, සඳහන් කරනවා.
“මුරකමිගේ ක්රමයේ අහඹුභාවයට පිටුපසින් බරපතල අභිප්රායක් පවත්නා බව පෙනේ. ඔහුගේ ලිවීමේ ක්‍රියාවලියේ විශිෂ්ටත්වයක් තිබේ නම් එයට හේතුව වන්නේ, ප්‍රකාශිත සවිඥානික පාලනයට ඔබ්බෙන් පවත්නා මග පෙන්වීමේ හා ප්‍රඥාවේ මූලාශ්‍ර වෙතට ප්‍රවේශ සැපයීමයි”(මුරකමි හරුකි නිර්මාණ විමසුම)
මුල – මැද – අග ගැළපුම සහිතව, කිරා මැන, ශිල්පීය ලක්ෂණ එලෙසින් ම ගැබ්කිරීමෙන් වළකින මුරකමි එක එල්ලේ සිදුවීම් කියාගෙන යන්නේ නැහැ. මේ කෙටිකතාවේ තරුණිය අවන්හල් හිමිකරුගෙන් ඉල්ලා සිටින තෑග්ග කුමක්දැයි ඔහු කියන්නේත් නැහැ. තරුණිය තමන්ට වූ ඒ සිදුවීම් සිහිකරමින් පසුකලෙක මවක් වූ දිනයක කරන සඳහනක් කෘතියට එක් කරන මුරකමි එතෙක් වේලාවක් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ගෙනා කතාව, උත්තම පුරුෂ දෘෂ්ටියකට විතැන් කර කාන්තාවගේ ප්රකාශයක්ව ගොතන්නට සලස්වනවා. උඩුමහලේ කුටියට තරුණිය ගියායින් පසු සිදුවන සංවාද කොටස, කතාව උච්චස්ථානයකට ගෙනයාමට අවශ්‍ය පිටුබලය සපයනවා. මුරකමි කතාව අවසන් කරන්නේත්, පාඨකයන්ට තමන්ගේ උපන් දිනයකදි පවා මතක හිටින බලපෑමක් හිතේ කොටමින්, අර කී අවන්හල් හිමිකරු ඇයගෙන් ඇසූවක් යළි අවසානයටත් ගෙනෙමින්.
“You had better think about it very carefully, my lovely young fairy, because I can grant you only one. Just one. You can’t change your mind afterwards and take it back.”
“මේ උපන්දින කතා බහුතරයක්, සම්පූර්ණ නොවන, කුතුහලයක් ඉතිකරන, ගූඪ ලකුණු සහිත, අනතුරු ඇඟවීම් සහිත, අඳුරු බවක් අරක්ගෙන තියෙන්නෙ ඇයි?” ’Birthday Stories’ නම් කතා එකතුව සම්බන්ධයෙන් තමාගෙන් ම පැනයක් අසන මුරකමි මෙසේ පිළිතුරු දෙනවා.
“උපන්දිනයක් කීවගමන් ගොඩක් මිනිස්සු මවාගන්නේ, ඉටිපන්දම්, උපන්දින කේක් ගෙඩියක් එක්ක, උපන්දින ගීයක් ගයනවා වැනි දෙයක්. ඒත් නවකතාකරුවෙක් මවාගන්නේ ඊට වෙනස් දෙයක්. උපන්දිනය කියන වචනය ඇහෙද්දි ඔහු නිසැකයෙන් ම හිතන්න පෙළඹෙන්නේ “හා! ඔවුන්ට (අ)සුබ උපන් දිනයකට කටයුතු සලස්වන්න මට ටිකක් ඉඩදෙන්න”
(ඡායාරූප උපුටාගැනීම – අන්තර්ජාලයෙනි)