පක්ෂීන්ගෙන් දිස්වන නිල් – තැඹිලි අනුපූරක

පක්ෂීන්ගෙන් දිස්වන නිල් – තැඹිලි අනුපූරක

නීතීඥ ජගත් ගුණවර්ධන

මූලික වර්ණ (primary colours) ලෙස සැලකෙන රතු, නිල් සහ කහ යන වර්ණ තුනෙන් දෙකක මිශ්‍රණය සහ ඉතිරි වර්ණය අනුපූරක වර්ණ (complimentary colours) හෙවත් ප්‍රතිවිරුද්ධ වර්ණ (opposite colours) ලෙස හැඳින්වේ. මේවා අනුපූරක වර්ණ ලෙස හඳුන්වන්නේ මූලික වර්ණවල ඉතිරි වර්ණය​ යන අරුතිනි. එමෙන්ම මේවාට ප්‍රතිවිරුද්ධ වර්ණ ලෙස හඳුන්වන්නේ මෙම වර්ණ, වර්ණ චක්‍රයේ එකිනෙකට මුහුණ ලා හෙවත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්ථාන අත්පත් කර ගන්නා නිසාවෙනි.

ඒ අනුව තැඹිලි සහ නිල් පාටත්, කහ සහ දම් පාටත්, රතු සහ කොල පාටත්, අනුපූරක වර්ණ යුගල් තුන වේ. චිත්‍රවලදී මෙම අනුපූරක වර්ණයන් එකිනෙක සමඟ මිශ්‍ර කිරීමෙන් කලු, අලු හෝ දුඹුරු වැනි දුර්වර්ණයනුත්, මෙම වර්ණ එකිනෙක අසල පිහිටන පරිදි කරන නිර්මානවලදී එම වර්ණ අතුරින් එකක් හෝ දෙකම හෝ වඩාත් තීව්‍ර ලෙස හෝ වඩාත් දීප්තිමත් ලෙස හෝ වඩාත් කැපී පෙනෙන ලෙස ඉස්මතු වීම සිදුවේ. මේ නිසා මෙම වර්ණ යුගල නිසියාකාරව භාවිතයෙන් තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගත හැකි වේ. මෙසේ අනුපූරක වර්ණ එකිනෙකට යාබදව​ තබා ගැනීමෙන් ලබාගන්නා තත්වයන්ට අනුපූරක වෙනස්කම ලෙස හඳුන්වනු ලබයි.

පරිසරයේ හමුවන සතුන් සහ ශාකවල මෙසේ අනුපූරක වර්ණ එකිනෙකට යාබදව පිහිටන අවස්ථා බොහොමයක් හමුවේ. තද කොලපාට ශාකවල හටගන්නා තද රතු මල්, කහපාට මධ්‍යයක් සහිත දම්පාට පුෂ්ප, නිල් සහ තැඹිලි වර්ණ දරන මෙන්ම රතු සහ කොල වර්ණත්, දම් සහ කහ වර්ණත් සහිත සතුන් මීට නිදසුන් වේ.

මෙරට හමුවන පක්ෂීන් විශේෂ කිහිපයකම මෙම නිල් සහ තැඹිලි ප්‍රතිවිරුද්ධ වර්ණ එකිනෙකට යාබදව පිහිටා තිබේ. බොහෝ කලු පාට තුළත් තිබෙන්නේ ඉතාමත් තද නිල් පාටක් බැවින් කලු සහ තැඹිලි වර්ණයන් යාබදව පිහිටීමත් මෙම අනුපූරක වර්ණ පිහිටීමම පෙන්නුම් කරන්නෙකි.

මෙහි පළමුවන ඡායාරූපයෙන් මෙම නිල්-තැඹිලි වර්ණ යාබදව පිහිටන කෝපි කුරුල්ලාත්(Tickell’s Blue Flycatcher / Orange-breasted Blue Flycatcher) දෙවැන්න මෙම වර්ණ සහිත නිල් බට්ටි කුරුල්ලාගේ පිරිමි සතාත් (Indian Blue Robin / Blue Chat) දැක්වේ.

තුන්වන ඡායාරූපයෙන් කලු-තැඹිලි වර්ණ යාබදව පිහිටි ගිනි කුරුල්ලාගේ (Orange Minivet) පිරිමි සතාත්, සිව්වැන්න මෙම වර්ණ සහිත වන පොල්කිච්චාත් (White-rumped Shama) දැක්වේ.

(සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *