තඩි පිරිමින්ගේ පුරුෂ ලිඟු හිරිවට්ටන යොහානිගේ “කෙල්ල” (කේ.ඩී.දර්ශන)

තඩි පිරිමින්ගේ පුරුෂ ලිඟු හිරිවට්ටන යොහානිගේ “කෙල්ල” (කේ.ඩී.දර්ශන)

කේ.ඩී.දර්ශන

යොහානිගෙ අලුත් සින්දුවේ රැප් කොටසක් නිසා වැඩිහිටි පරම්පරාවෙ පිරිමි සෙට් එකක් ටිපර් වෙලා. මේ පොඩි කෙල්ල ‘ශිෂ්ණය දිග මදිද?’ කියල කෙලින්ම අහනවා. සමහරු කියනව ඕක කෙලින් කියන්නැතුව “උකුල ළැමහස මලවි කරලිය – මුවා කළ ඇගෙ දුහුල් සළුපිළි” වගේ රමණීය භාෂාවෙන් කියන්න කියල.

මහාචාර්ය ජගත් වීරසිංහ නිතර පාවිච්චි කරන වචනයක් ‘තඩි පිරිමි’ කියන වචනෙ. එය අර්ථ පූර්ණ, භාව පූර්ණ වචනයක්. පීතෘ මූලිකත්වය හා එහි අධම ස්වභාවය පිළිබඳ එක මිටට ගෙන කතා කළ හැකි සංඥාවක් විදියට ‘තඩි පිරිමි’ වචනය හඳුන්වන්න පුලුවන්. තඩි පිරිමි හොඳට ම බලාගන්න පුළුවන් අශෝක හඳගමගෙ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයෙ. පහළ ගෙදර මහත කළු මිනිහ මතකද? ඌ ඇඟෙනුත් තඩී, දෘෂ්ටිවාදීවත් තඩී.

අශෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න

යොහානිගෙ කෙල්ල ගීතය මගේ සිත ඇද බැඳ ගන්ත, පරම රමණීය ගීතයක් නෙවේ. (හැබැයි ඇගේ හඬ මා ඇද බැඳ ගන්නා එකක්.) ඇය මේක ගයද්දි පිරිස් කලබල වෙන විදිය දැක්කම ඒකෙ දේශපාලනික යමක් තියනව කියල හිතනෙවා. අන්න ඒ නිසා මේ ගැන සටහනක් ලියන්න හිතුණ.

දීර්ග පද මාලාව මැද තියෙන රැප් කොටසේ ඇය මෙහෙම ගයනවා

රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය

මෙය සෘජුව කීමක් නිසා අවලස්සනයි කියල හිතෙන එක සාමාන්‍යයි. අපේ සාහිත්‍ය ඉතිහාසය පුරාම සෘජුව කීම වෙනුවට වර්ණනාවිෂයාතික්‍රාන්ත යෙදුම් සහ ව්‍යංග්‍යාර්ථ බහුලව යෙදිල තියෙන්නෙ. සාලිරාජ වස්තුවෙත්, සුළු කළිඟුදාවතෙත් හිසේ සිට දෙපතුල දක්වා සෑම අංගයක් ම නම් කරන්නෙ පුරුෂයෙක් විසින් ස්ත්‍රියකගෙ‍යි. සාලිරාජ වස්තුවේ සහ සුළු කලිඟුදාවතේ මේ ස්ත්‍රී ශරීර වැනීම් හරි ප්‍රසිද්ධයි. සංදේශ කාව්‍යවල, මහා කාව්‍යවල එන ස්ත්‍රී ශරීර වර්ණනා හරි ප්‍රසිද්ධයි. අනුරාධපාර යුගයේ ලියවුණ පැරණි අසක්දාකවේ පුරුෂයා සිය අතින් ස්ත්‍රී ලිංගය ස්පර්ෂ කරන’යුරු කියන්නෙ මෙහෙමයි.

රතත දිදි ඉහිල්
වසනතුරෙන් රසන්දම්
කියව කර හලලා
පැහැබර දිගු නුවන්ලා 

මේ වචන පැරණි භාෂාව නිසා අපිට දුරස්. කව්සිළුමිණේ ස්ත්‍රී-පුරුෂ සිපාලිංගනය මෙහෙම ලියවෙනවා.

රතොට රත ඇදියෙම්
කොපුලැ පතලේ බිඳියෙම්
තනහස මුස කළෙම්
………………………

නලිනිකා ජාතකයේ නලිනිකා කුමරිය තාපස තරුණයාගේ පුරුෂ ලිංගය සිය ස්ත්‍රී ලිංගයේ අතුල්ලවාගන්නෙ ඉතා උපක්‍රමශීලි බොරු ගොඩක් කියමිනුයි.

මේක ශෘංගාර සාහිත්‍ය ගැන ලිපියක් නෙවේ. ඒ නිසා මතකෙට එන එන කාරණා කිහිපයක් විතරයි එල්ලුවෙ. නුවර යුගයට එද්දි විශාල ශෘංගාර සාහිත්‍යයක් දකින්න පුළුවං. හැබැයි ඒවා තරමක් ග්‍රාම්‍ය, භාෂාමය වශයෙන් පහළ ස්ථරයක තියලයි කතා කෙරෙන්නෙ. කොළඹ යුගය වෙද්දි මීමන ප්‍රේමතිලක වගේ කවියො අමු රති කාව්‍ය ලිව්ව.

මේ හැම එකක ම වගේ වැඩි පුර ම ස්ත්‍රිය තමයි වර්ණනා කළේ. පිරිමි ශරීරය වර්ණනා වෙලා නැති තරම්. වර්ණනාවිෂයාතික්‍රාන්තව කිව්වත්, ග්‍රාම්‍ය විදියට කිව්වත්, කොහොම කිව්වත් ස්ත්‍රී ශරීරයනෙ. ස්ත්‍රී නිමිත්තනෙ.

‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතයට බොහොමයක් අය කැමතියි. ඒක හරිම සම්භාව්‍ය භාෂාවෙන් ලියවිලා තියෙන්නෙ. ඒ විතරක් ද? පුරුෂ ශරීරය වර්ණනා කෙරෙන දුර්ලභ ගීතයක්.

රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ…

යොහානිගෙ ගීතය පුරුෂ වර්ණනයක් නම් නෙවෙයි. කොහොම නමුත් ඇය ගීතය අතරමැදදි සෝපහාසාත්මකව අහනව “සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය” කියල. මෙන්න මේ වචන පහ පිරිසකට දරා ගන්න අපහසු වෙලා තියෙනවා.

මම කැමති මේ හිරිවැට්ටිල්ලටයි.

පුෂ්පානන්ද ඒකනායක මහත්තය කියල තිබුණ යොහානි නියෝජනය කරන පරම්පරාවෙ පියා අහිමි වෙලා කියල. ‘ශිෂ්ණය’ කියල කෑ ගහන්නෙ පියා අහිමි පරම්පරාවක් කියල. මම ඒ මහත්මයාට ලඝු නොකොට මේ ප්‍රකාශය දේශපාලනිකව ගන්න කැමතියි.

ඇත්තෙන් ම පියා අහිමි පරම්පරාවට පියා අහිමි කළේ කවුද? පියාගේ පැවැත් ම අහෝසි නම් අවුල දරු පරම්පරාවේද? ‘ශිෂ්ණය දිග මදිද’ කියල කෑ ගහල අහද්දි පියවරු මෙතෙක් වන වන හිටපු ශිෂ්ණය ඇකිළෙනවද?

(ඡායාරූප – අන්තර්ජාලයෙන් සහ සමාජ මාධ්‍ය ඇසුරිනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *