නෙතුනි බටදූවආරච්චි
තාත්තා මිදුල මැද පිහිඹියා ගහ යට එයාගේ රතු පාට බජාජ් බයික් එක ගලවන් හදනවා. කහ පාට පිනපෝ එකක් ඇඳගත්තු මම එයාගේ ළඟ ඇන තියන් ඒ දිහා බලන් ඉන්නවා. තාත්තගේ බෙල්ල ගාවින් පටන් ගත්ත දාඩිය බින්දුවක් පිට දිගේ පහළට හයියෙන් බේරිලා එනවා. මම ඇඟිල්ලක් තියලා මැද හරියෙදී ඒක නවත්ත ගන්නවා. තාත්තා දිගටම යතුරු වලින් තද කර කර බයික් එක හදනවා. චූටි චූටී නට් කෑලී මාත් අහුලලා දෙනවා. දැන් බයික් එක හදලා ඉවරයි. එකපාරක් ස්ටාර්ට් කරලා බලලා රවුමක් යන එයා බයික් එක නවත්තලා නාගන්න යනවා. පස්සේ දවසක සබන් පෙණ ගොඩක් ගාන් රැවුල කපන්න හිතන් එයා රේසරේ හංගන තැන බලාගන්න මාත් පස්සෙන් ම යනවා. නාලා ඉවර වෙද්දී අම්මා තේ හදල ඉවරයි. තේ බීලා අම්මා ගේන්න කියපු බඩු ගේන්න තාත්තා කඩේ යන්න පර්ස් එක කලිසමට දාගද්දිම පිටිපස්ස පැත්තෙ තිබ්බ මගේ සෙරෙප්පු දෙක අරන් ඉස්සර පැත්තට එන මම බයික් එක ළඟ හිටගන්නවා. මාව උස්සලා බයික් එකේ ටැංකිය උඩ තියාගන්න තාත්තා, හා කන් දෙකක් එක්ක තිබ්බ තැඹිලි පාට තොප්පිය මට දානවා.
පාර දෙපැත්තේ තියන ගස්, ගෙවල් වේගෙන් වේගෙන් පහු කරන් යන හැටි මන් බලන් ඉන්නවා. මගේ හා කන් තියන තොප්පියේ හාවගේ උඩ ඇහැ යන්තමට කොනිත කොනිත ගලවන්න ට්‍රයි කරද්දි එයා හන්දිය ගාව නන්දලාල් මාමගේ කඩේ අයින්නෙන් බයික් එක නවත්තලා මාවත් උස්සලා පහළින් තියනවා. බඩු අරගෙන එනගමන් සිමෙන්ති වතුර ටැංකියක් පහු කරන් යන චූටී අතුරු පාරකට එයා බයික් එක හරවනවා. ළං වෙද්දී උණු උණු බේකරි සුවඳ නහයට එනවා. පපු පිරෙන්න හුස්මක් ගන්න මම ටී ෆ්‍රැක්ට්‍රි එක ළඟින් යනකොට එන තේ කොළ සුවඳ තරමට ම ඒකට ආස කරනවා. තෙල් පාට දුඹුරු පාටට ගාණට දෙපැත්ත කරවුණු රසම පාන් එහෙ හැදෙනවා. ඉසුරු උයනේ පාන් කියලා කියන ඒ බේකරියේ හැදෙන පාන් ගෙඩිය උඩ කොටු හැඩේ අච්චුවක් වදිනවා. ගෙදර කෑම මේසේ මැද පාන් ගෙඩි දෙක ගෙනත් තිබ්බට පස්සේ සැරින් සැරේට එතනින් එහා මෙහා යන මායි නංගියි පාන් ගෙඩියේ උඩ වැදුනු කොටු හැඩේ සීල් එක ගලවන් කනවා. උණු උණු මාළු හොඳි එක්ක පොල් ගොඩක් දාගෙන අපි රෑට පාන් කනවා. බෝලයක් වගේ පිම්බුණු මගේ බඩ දැකලා යන්තමට හිනා වෙන තාත්තා එයා බෙදාගත්තු මාළු ඔළුවේ මාළු ඇහැ මගේ පිගානට දානවා. අනිත් ඇහැ නංගිගේ පිගානට දානවා.
එකේදියි , දෙකේදියි කෑම පෙට්ටියේ පියන හේත්තු කරගෙන රතු සුදු කොටු වැටුණු සර්වියට් එක එලගෙන කෑම කාපු අපි තුන වසරෙදි එහා පැත්තේ එක්කෙනා එක්ක කෑම මාරු කරගෙන කන්න පුරුදු වෙනවා. එහා පැත්තේ ඉන්න මගේ යාළුවගේ පියන ඉල්ලගන්න මම මාමයිට් එක්ක බටර් තලියක් ගාපු පාන් පෙත්තක් දානවා, මගේ පියන ඉල්ලගන්න එයා මැදට රතු පාට ස්ට්‍රෝබෙරි ජෑම් ගාපු පාන් පෙත්තක් මට දෙනවා. මාමයිට් ගෑවුණු පාන් වාටි යාළුවා එයාගේ පෙට්ටියට දාගද්දි මම රතු පාට ජෑම් ගෑවුණු පාන් වාටි මගේ පෙට්ටියට දාගන්නවා. තව යාළුවෙක් එක්ක බෙදාගෙන කන බව දැනගන්න අම්මා යාළුවටත් එක්ක වැඩිපුර පාන් පෙති දෙකක් කෑම පෙට්ටියේ උඩ තට්ටුවටත් දාලා මට දෙනවා. කාලයක් ම තාත්තා ගෙනාපු මික්ස් ෆෘට් , අන්නාසි, දිවුල් ජෑම්වලට ආස නැතිවෙන මම කොණ්ඩෙකුත් දිගට ගොතන් එන මගේ තුන වසරෙ යාළුවගේ ස්ට්‍රෝබෙරි ජෑම් ගාපු පාන්වලට ආස වෙනවා.
අම්මගේ ස්ටාෆ් එකේ අයගේ ෆැමිලි එක්ක එකතු වෙලා අපි කතරගම යනවා. එක්ස්ප්‍රස් වේ එකත් නැති ඒ කාලේ කතරගම යන්න පාන්දරම ඇහැරෙන මට වෑන් එක ඇතුළේ ලාවට දාපු මලානික එළියක් එන ලයිට් එක දිහා බලන් එහෙමම නින්ද යනවා.. දෙවුන්දර හරියෙ දී හරියටම ඇහැරෙන මට වටේ පිටේ බලන්න අලුත් දේවල් ගොඩක් ඇහැට හම්බෙනවා. මහත බෝල බඩක් එක්ක පත කණ්නාඩි දාන් ඉන්න මගේ ම වයසේ හිටපු මල්කාන්ති ආන්ටිගේ පුතා සද්දෙට බෝඩ් කියවන්න පටන් ගද්දි තව බෝඩ් දෙක තුනක් වෑන් එක පහුකරනවා. මට පාර දිගේ පාස් වෙන බෝර්ඩ් වේගෙන් හිතින් කියවන්න පුළුවන් කියලා එදා මන් දැනගන්නවා.
කතරගමට කිට්ටු වෙනකොට ලොකු සියඹලා ගස් පාර අයිනේ තියෙන පාරක් හම්බෙනවා. එක දිගට පෝළිමට තිබ්බ ඒ සියඹලා ගස් නිසා කෙලින් ම ඉර අවුව වැටෙන්නැති ඒ හරියෙදී හීතල හුළඟක් ඇඟට සනීපෙට ඇවිත් වදිනවා. ඒ එක්කම වගේ උදේට කන්න හිතන් සියඹලා ගස් අයිනකට වෙන්න වෑන් එකත් නවත්තනවා. ගෙදරින් අරන් ආපු පූ බබෙක් මැද ඉන්න මගේ ප්ලාස්ටික් පිඟානට සැරින් සැරේ ලූනු රැලි අතරින් අහුවෙන කුරුඳුපොතු, සියඹලා ඇට දාපු සීනී සම්බෝළ ගොඩක් වැටෙනවා .අපි මඟින් ගත්තු පාන් එක්ක ‘හාස් හූස්’ ගගා සීනි සම්බෝල කන මට ඒක කවදාවත් නැති තරම් රසට දැනෙනවා.
“මේ විදියට කාලා බලන්න හරිම රසයි.”
ඇස්ට්‍රා ගාපු පාන් පෙති පොල්සම්බෝල එක්ක අම්මා මට දෙනවා. ඒකට රස වැටෙන මගේ ප්‍රියතම කෑමක් විදියට ඇස්ට්‍රයි පොල්සම්බෝලයි සදාකලෙටම හිතේ රැඳෙනවා. ගොයම් කපන දවසට කුඹුරට තේ ගෙනිගින් ආව ගමන් ඇලුමිනියම් පිගානට පරිප්පු හොඳි දාගෙන , රතු ප්ලාස්ටික් පිඟානට පාන් පෙති දාගන්න මම ලෝරා ඉන්ගල්ස්ගේ ලිට්ල් හවුස් පොත් සෙට් එකේ වණ අරණක කුඩා නිවස පොත අරන්, ලෝරයි අම්මයි කෑම හදන තැනක් කියවන ගමන් පාන් කනවා. එතකොට මිරිස් කෑලී එක්ක පාවෙන තෙම්පරාදුව එක්ක කහ පාටට තෙල් බේරෙන කිරි දාපු පරිප්පු හොද්ද ඇඟිලි උරන්න හිතෙන තරම් රසට තියෙනවා.
ඉස්කෝලේන් අවුරුද්දක් පසා ගෙනියන ට්‍රිප් එකට ජනවාරි මුල ඉඳන් අපි ලෑස්ති වෙනවා. ජයනාත් සර් ගණන් පීරියඩ් එකට එන්න කලින් “අනේ අපි ට්‍රිප් එක එක්ක යන්න” කියලා කළු ලෑල්ලේ ලොකුවට ලියලා අපි වාඩිවෙනවා. පන්තියට ඇවිත් ඒක කියවන ජයනාත් සර් හිනාවෙලා” ඒවා වැඩක් නෑ කෝ අපි අර ගණන් ටික හදමු” ගාලා පාඩම පටන් ගද්දී අපේ උද්ඝෝෂණේ උච්ච වෙනවා. මේ සද්දෙට කොරිඩෝව පහළ මේසෙක හිටපු ග්‍රේඩ් හෙඩ් හිටිය තිලකා මිසුත් ඇවිත් අපේ එක්සත් හඬට කන් දෙනවා. කොහොම හරි ට්‍රිප් එක ඕකේ වෙලා, පාන්දරම ඉස්කෝලේට ඇවිත් කළුවරේම සතුටින් පොපියන ඇස් එක්ක ඉන්න යාළුවෝ හොයාගෙන කලින් වෙන් කරගත්තු පාට්නර් එක්ක බස් සීට් එකේ වාඩිවුණාම මහින්ද මහත්තයා යුද්දේ දිනපු සතුටට පාර අයින්වල සති ගණන් කිරිබත් කෑවට වඩා සතුටක් හිතට දැනෙනවා. එදා උදේට කෑමට එක එක ජාතියේ පාන් අපි හැමෝම ගේනවා. සැමන් තෙල් දාලා ටෝස්ට් කරපු පාන්, චීස් දාපු පාන්, බටර් ගාපු පාන්, නියුටෙලා ගාපු පාන්, ජෑම් ගාපු පාන් වගේ එක එක රසවල පාන් ඉස්මුරුත්තාව හැදෙන ගානට එපා වෙනකම් හැමෝගෙන්ම හම්බෙනවා. ආයේ ගෙදර ඇවිත් සඳුදා ඉස්කෝලේ යන්න බෑග් එක අස් කරද්දී ට්‍රිප් එක ගෙනියපු කෑම් පෙට්ටියේ තිබිලා පුස් අල්ලපු සැන්ඩ්විච් එකකුත් හම්බෙනවා.
කැම්පස් ගියාම බෝඩිමේ ඉද්දී හවසට එන බඩගින්නට හතරේ විතර ඉඳන් බීතෝවන්ගේ මියුසික් එක දාගෙන කැම්පස් ඒරියා එක වටේම කරණම් ගහලා පහට විතර අපේ බෝඩිමේ පාරෙන් යන චූනා දේව දූතයෙක් වගේ පේනවා. අනේ අපිටත් මොනවා හරි ගන්න, ඔයාලා කන්න දෙයක්ම ගන්න කිය කිය බෝඩිමේ කාමර වල ජනෙල්වලින් චූනාව නවත්තන්න පාරට යන දෙන්නට සල්ලි දෙනවා. සේරම ඕඩර් බාර ගෙන චූනාව නැවැත්තුවාම “පාන් විතරනේ තියෙන්නේ” ලාවට විට කහට බැඳුණු දත් පේන්න හිනා වෙලා චූනා කියනවා. ගෙවල්වලින් ගේන චට්නි, බටු මෝජු, චිලි පේස්ට් එක්ක චූනාගේ පාන් කන අපිට හෙටත් චූනගෙන් මොනවා හරි ගන්න ඕන කියන සද්ධාව හිතට එනවා.
උතුරු අප්‍රිකාවේ ඉඳලා මැදපෙරදිග , අග්නිදිග ආසියාව දක්වා රටවලට තිරිඟු සපයන ප්‍රබල සැපයුම්කරුවෙක් විදියට හඳුන ගන්න යුක්රේනය “යුරෝපයේ පාන් කූඩය” කියල ප්‍රසිද්ධ වෙනවා. ඒක නිසාම රුසියාව යුක්රේනයට එල්ල කරපු මේ ආක්‍රමණය ලෝකේ දස ලක්ෂ ගාණක් මිනිස්සුන්ට එයාලගේ කෑම මේසෙදී දැනෙන බවට බී.බී.සී පුවත් සේවය එයාලගේ ලිපියකින් පෙන්නවනවා.
මේ ආක්‍රමණය එක්ක තුන් වන ලෝක යුද්ධයක් එන බව කියන අනාවැකි බල බල, ආර්ථික අර්බුදයකින් අන්තෙටම වැටිලා ඉන්න රටක කළුවරේ ඉන්න මට කෙනෙක් මතක් වෙනවා. එයා මාරී. මාලිගාවෙන් මෙහා ලෝකේ ගැන කිසි අවබෝධයක් නැති මාරි ඇන්ටොනයිට්ට එයාගේ අම්මාගේ බලකිරීමට මෝඩ දාසයවෙනි ලුවී රජතුමා කසාද බඳින්න වෙනවා. වර්සෙල්ස් මාළිගාවට වෙලා මිලියන ගාණක් වටින සේද ඇඳුම් ඇඳගෙන , රිදී හැඳි ගෑරිප්පුවල කාපු මේ රජ පවුලට ප්‍රංශේ මිනිස්සුන්ගේ බඩවල්වල පත්තු වෙන ගින්නේ රස්නේ යාන්තමටවත් දැනෙන්නේ නැතිව යනවා. ප්‍රංශ විප්ලවේ පටන් ගන්න කලින් මාලිගාවේ දොරටුව ළඟ “අපිට කන්න පාන්වත් නැහැ”, කියලා මිනිස්සු කෑගහද්දි, එයාගේ රන් ආලේපිත සිරි යහන් ගබඩාවේ ඉඳන් ආපු මාරී “පාන් නැත්තම් කේක් කාපල්ලා” කියලා යන්න යනවා… හැබැයි එයා අවසාන මොහොතේ ගිලටීනයට බෙල්ල කැපෙන්න කලින් “මට සමාවෙන්න” කියලා එතන ඉන්න කෙනාට එයා හිමින් කියනවා. ඒක නිසා මම මාරිගේ අවසානෙන් අල්ලගන්නවා. එතන බාගෙට කරවුණු පාන් තරමටම රසයි.