චම්මින්ද වෙලගෙදර
අපි චිත්‍ර දිහා බලනවා. අපිට එක එක දේවල් හිතෙනවා .ඒ දේවල් එක් එක් කෙනාට අනුව වෙනස්. සමහරු වර්ණය ගැන කියනවා. වර්ණ අනුව සිත්තරාගේ මනෝභාවයන්, පංති පදනම, අධ්‍යාපනය , අවබෝධය හා දැක්ම ගැන කියනවා. තවත් කෙනෙක් එහි ඇති අඳුර හෝ ආලෝකය අනුව විග්රහ කරනවා.තවත් අයෙක් එහි තේමාව දේශපාලනික ද,ආගමිකද, ආචීර්ණකල්පිත ද ,නූතනවාදීද නැත්නම් නව්‍ය තාක්ෂණික ද කියලා විග්රහ කරනවා.
මේ අනුව අපි ගීත විචාරයේදී රචකයා තුන් හිතකින්වත් නොහිතපු අර්ථකථන දෙනවා වාගේ සිත්තරා නොහිතපු,නොදන්නා දේවල් වලින් ඒ වෑයම අගය කරනවා. නැත්නම් හෙළා දකිනවා. එහෙමත් නැත්නම් විචාරය කරනවා. මේ හැම එකකින්ම අපිට නොදැනෙන දෙයක් එළියට එනවා. ඒ අපේ මනෝභාවයන් . සමහරවිට ඒවා කළුයි. නැත්නම් අඳුරු යි. තවත් විටෙක සුදුයි.
ඒවායින් තවත් කෙනෙක් යමක් ඉගෙන ගන්නවා. ඒ සිත්තම වගේම සිත්තම ගැන වචනවලින් ගෙත්තමක් වියන දකින්නාගේ සිතුවිලි ගැනත් ඔහු එහිදී යමක් කියවනවා. බොහෝවිට අද සිදුවෙන්නේ සිත්තම අමතක කරලා සිත්තරා ගැනයි විචාරකයාගේ කියුම් ගැනයි කතාවක් ඉතිරි වීමයි. එහිදී පියාපත් ලබන්නේ සිත්තරා තමන්ට විඳින්නට දුන් දේ නොවෙයි. ඔහුට සිදු වූ වැරදියි. ඒ දේවල් වැරදි යැයි තීරණය කරන්නේත් එය බලන්නාමයි.
මෙහිදී සිහිවෙන්නේ සයිමන් නවගත්තේගම ‘සමාජ සත්ථාව’ ගැන ලියූ පොතේ ඔහුගේ පෙරවදනේ කරන සඳහන.
“පාට පැන්සල් නැතුව ණයට දුන් රතු පාටින් ඇඳි සිතුවම.”
මෙවන් ඇරඹුමක් ගත්තේ අවසන් වු ජීවිත මෙහෙවරකින් අද අපෙන් සමුගෙන යන අපේ කාලයේ තීර්ථයාත්රිකයෙකු වෙනුවෙන් සමාජ මාධ්‍යය හරහා කෙරෙන බොහෝ අදහස් කියවීමෙන්. ඒ ඇතැම් අදහස්වලට අනුව ජැක්සන් යනු මේ දේශපාලන නරාවළ අරා සිටියකි. එයට වගකිව යුත්තෙකි. එය විකුණාගෙන කෑවෙකි. තවත් කියමන් වලින් ඔහු සිය සිත්තමට ඕණෑවට වඩා වර්ණ ගැල්වූවෙකි. ආලෝකය යෙදූවෙකි. ඒ කියන්නේ අධිරංගනයක යෙදුණෙකි.
තවත් කියමනකින් කියන්නේ සිය බලයට අන් අය නතු කරගෙන පවුල පෙරට ගත්තෙකි. තවත් කියමන්වලින් කියවෙන්නේ, ඔහු බුදුදහමට මුවා වී කතෝලික දහම ප්‍රචාරය කළ වංචාකාරයෙකි. ඔහු උපතින් කතෝලික වූ නිසා ඔහුගේ දෙන සරසා තිබෙන්නේත් පල්ලිය සනිටුහන් කරමින් යැ කියමින්ම ඔහු තවත් කුරුසියේ තබා ඇණ ගසයි.
මෙසේ ලියා ඇත්තේ මතවාදී අරගලයේ හිමිකාරත්වය තමන්යැ කියා සිතන්නෝ සේම මත තැනීමේ කිසියම් සම්මාදමක යෙදුණු අයයි.
ඒ අතරම තමන් මැදහත්යැ දනවමින්,’ ජැකා හැකියාව අතින්නම් ඉහළයි ඒත් දේශපාලනික වශයෙන් පහළයි’ කියමින් සිටී. එයම තවත් අයෙකු කියන්නේ ,’මුද්දකින් ගිළිහුණු මැණිකක් මඩ වළකට වැටුණත් මැණිකේ අගය අඩු නොවෙ’න බවයි.එය කියමන තවදුරටත් ඔහු තමන්නේ කරගැනීමට යාමෙන් අතරමං වෙයි.
තවත් අයෙකු කෝපය මතුකරගෙන’ දැන් ඔහු සිටි ඇඳ ගනිව් ‘කියයි. එහෙත් බහුතරයක් කියා සිටියේ, ‘ඔහුගේ හැකියාවන් ඉතා ඉහළ බවත්, ඔහු නැති රික්තය පිරවීමට යමෙකු නැත’ යන්නයි. මේ මතවාද බොහොමයකින් මතු වුයේ ජැකා නොව ඒවා කියනා අයගේ මානසිකත්වය ,අවබෝධය හා ඔවුන්ගේ දේශපාලනය බවයි වඩාත් පැහැදිළි වෙන්නේ.
අපි මැදහත් සිතින් බැලුවොත් ජැකාගේ හැකියාව ඉතා විශිෂ්ටතම මතුවීමකි. ඔහු ඉතා දැඩිලෙස හුරුකරගත් සිය සතත්භ්යාස මගින් ලබා ගත් විදුහුරුව සිය හැකියාව මගින් මනාලෙස ප්‍රදර්ශනය කළේය. ඔහු එයට ඉල්ලුමක් ඇති කළේය. එහෙත් පවතින ඉල්ලුමට සැපයීමක් කිරීමට ගිය බවක් කෙනෙකුට අවංකවම කිවහැකි යැයි ද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.
ජැකාට මෙවන් විරෝධයක් ඇතෑම් අයගෙන් එල්ල වෙන්නේ ඇයි…..? මෙහිදී විජය කුමාරණතුංග මකා දැමීමේ මතවාදී නිහීනතා මතුවීම වළකාළිය නොහේ.
බටහිර හා අප්‍රිකානු රටවල වෙනස් වූ සිතුවිලි ඇතියවුන් ඝාතනය වූයේ ධනවාදී දේශපාලනික බලලෝභය විසිනි. එහෙත් ආසියාතික රටවල එය සිදුවෙන්නේ ඔවුන්ගේම පංතිය සතු දේශපාලනික හෝ වෙනත් පාර්ශවයක ආයෝජනය මතය.
ජැකාගේ නිර්මාණශීලි දායකත්වය ඇතැමෙකු අමතක කරන්නේ ඔහුගේ දේශපාලනික මැදිහත්වීම සහ ආගමික සැකය නිසාය. එහිදී ඔහු නිර්මාණකරුවෙකි,නිවේදකයෙකි හා ඉදිරිපත් කරන්නෙකුය යන ඔහුගේ භූමිකාව අපි අමතක කරන්නේ අපිට ඇවැසි දේ කීමටය. අපි අනු දක්නා නොලබන දේශපාලනයේ යෙදුණේ ඔහු පමණක් ද? ඔහු සිහිසන් වූ විට, මියගිය විට ඔහුට එරෙහිව අවි අමෝරන අයට ඔහු දේශපාලනික වශයෙන් කිසියම් බලපෑමක් ,තර්ජනයක් කළේද….? ඔහුගේ ආගමික ප්‍රචාරණය මගින් කිසිවෙකුට සිය දහම කෙරෙහි වූ සැදැහැව ඔහු නැති කළා ද…….?
ඔහු කිසිවිටෙක මේ දිනවල විවිධ මත ලියන්නන් සේම ඒවා අරගෙන දුවන අයගේ කිසියම් අයිතියක් ඔහු පැහැර ගත්තා ……ද? නැත්නම් ඔහු මේ කීමට උත්සාහ ගන්නා තරමේ දුෂ්ඨයෙකු ද…….? මෙවැනි ගැටලු රාශියක් ඔහු අනතුරට පත්වූදා සිට අපි අසමින් සිටිමු. මෙය ගැටලුවක් නම් එය මතුවෙන්නේ කෙසේ ද?
- ඔහු දෙස මැදහත් සිතින් නොබැලීමද?
- නැත්නම් තමන් අනුදත් දේශපාලනයේ කොටස් කරුවෙකු නොවීමද?
- එසේ නොමැතිනම් ඔහුගේ ප්‍රතිභාව ඉවසීමට නොහැකි වීමද?
- නැතිනම් ඔහුට ඇවැසි දේශපාලනයේ යෙදීමට ඔහුට අවසර නැතිවීමද?
- එසේත් නැත්නම් එම දේශපාලනයේ යෙදුණු එකම සංස්කෘතික සත්ත්වයා ඔහු පමණක් වීමද?
- එසේත් නොමැති නම් මියගිය අයෙකුගෙන් හෝ එතෙක් නොපිය වී තිබූ තමන්ගේ මජර ඌණතා පියවා ගැනීමද?
මට දැනෙන්නේ එකම දෙයකි. අපි කොතරම් උසස් මනසකින් සිටිනවා යැයි පෙන්වූවත් අපි තවමත් අනිකා අවංකවම අගැයීමට මැළිකම් දක්වන්නෝ නොවෙමුද. මියගිය එකෙකුට අපහාස කිරීමෙන් හෝ විවේචනය කිරීමෙන් ඔහුට වරදක් තිබුණත් ඔහුට එය නිවරද කරගත නොහැකිබව නොසිතීමය. එහෙත් ඔහුගේ හෝ ඇයගේ අනුගාමිකයන් ට හෝ පවුලේ අයට එයින් රිදවිය හැකි බව නොදන්නො නොවන බවත්. අවසන් වශයෙන් එක දෙයක් දැනේ.
ජැක්සන් ඇන්තනී යනු බලන්නාගේ සිතට බලපෑම කළහැකි සිතුවමකි. ඔහු බොහෝ දෙනෙකුට වඩා හැකියාවන් සපුරාගත් මිනිස් ප්රපංචයකි. ඔහු ඵලපිරුණු ගසකි. එනිසා මේ මොහොතේ ඔහුට අපහාස කිරීම හෝ ද්වේෂ සහගතවීම ඔහු සිටියදී අපි ඔහුට එරෙහි නොවී සිටීමේ වරදට අපිම බුද්ධිමත්ස මාජය ඉදිරියේ ගැරහුම් ලැබීමකි. ඉතින් අපි නැත ප්‍රමාද. දැන්වත් අපි ඔහුට සුබ ගමනක් පතමු.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)