ආචාර්ය අතුලසිරි සමරකෝන්
අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සිය කතාවකදී දැක්වූ ආකාරයට වත්මන් ජනාධිපති බලයට පැමිණියේ ව්‍යවස්ථාවේ අකුරක්වත් වෙනස් නොකරමින් එයට අනුව ක්රියාකරමින්ය. එය සත්‍යය. බලයට පැමිණීමට හා බලය යෙදවීමට, බලය ආරක්ෂා කර ගැනීමට ව්‍යවස්ථාව උදව් වෙයි. නමුත් ව්‍යවස්ථාව යනු කුමක්ද? යන පැනයට පිළිතුර ව්‍යවස්ථාව තුළ නොපවතින අතර එය අතීතයේ යම් මොහොතක ශීතනයට frozen භාජනය වී ඇතිවී කිසියම් භාෂාත්මක නිරූපණයක් බවත්, එය පූර්ණ වශයෙන් අනම්‍යව පවතින බවත් සිතීම සාමාන්‍යය තත්වයකි.
මහදැනමුත්තාගෙ පොත හා ව්‍යවස්ථාව අතර සමපාත බවක් දැකීම වැරදි නැත. නමුත් ප්‍රතිඵලය භයානකය.
නමුත් සමාජීය තත්වයන් විසින් මිනිසා හා ඇයගේ වටපිටාව වෙනස් කරයි. ඇයගේ සිතීම, ක්‍රියාකිරීම වෙනස් කරයි. හෙගල් සහ මාක්ස් අඩුවැඩි වශයෙන් එය අපට විස්තර කරදුනි. මේ එළඹ ඇති මොහොත දේශපාලනිකව පරිවර්තනීය එකකි. සමාජීය බලවේග හා තත්ව කොන්දේසිය conditions වෙනස්වූ එකකි.
නිදහසින් පසුව, හොවාඩ් රිගින්ස් මෙරට ප්රජාතන්ත්රවාදය තුළ ඇතිවිය හැකියයි දක්වන ලද පරිවර්තනය දැන් සමහරවිට අද ඇතිවෙමින් තිබේ. අද අපට විශාල සංඛ්‍යාවක හඬවල්, නිරූපණයන්, නියෝජනයන් වර්ධනය වී පවතින බවක් පෙනෙයි. ගතානුගතික ප්රජාතන්ත්රවාදය විසින් එයට අවශ්‍යය කටවල් ඇරීමත් අනවශ්‍ය කටවල් වැසීමත් තවදුරටත් කළ නොහැකි සමාජයක් යනු නව සමාජීය තත්වයයි.
ඒ අනුව සාම්ප්‍රදායිකව රාජ්‍ය බලය හිමිව පැවති පංතිය කිසියම් තර්ජනයකට ලක්වූ මොහොතකට අප පැමිණ ඇත. නමුත් එම බලය තවදුරටත් තම පංතිය වෙතම තබා ගන්නා බවට රනිල් නැමැති අවසන් සාම්ප්‍රදායික ප්රජාතන්ත්රවාදී ධනවාදියා අපට පවසයි. වෙනසට ඔහු කැමති නැත. ඔහු සාම්ප්‍රදායිකව සිතන, අනතුරු ගැන විශාල හුඹස් බියක් සහිත අයෙකි.
නමුත් බලයට ඒමට පෙර රනිල් අරගලයට දරදිය ඇද්දේය. රාජ්‍ය නොවන ආයතන ශක්තිමත් කළේය. ස්වාධිපත්‍යට එරෙහිව ගෝලීය බලයට සහ ප්රවණතාවලට පක්ෂවිය. නමුත් දැන් ඔහු ඒ සියලුම ප්රවණතාවලට එරෙහි වූ සරත් වීරසේකර මහතාගෙන් උපදෙස් ලබා ගනී.
මෙම තත්වය රනිල්ගේ සරල මනස අපට හොදින් කියාපායි. ඔහු සිතන්නේ තමා දැන් බලයට පත්ව ඇතිබවත් රාජ්‍යය ඔහුට අවනතවී ඉඩදිය යුතු බවත්ය. එය මහදැනමුත්තාගෙ නුවණ අනුව යාමකි.
රාජ්‍යයේ සමහර බලවේග ඔහුට සුබපතනු ඇත. නමුත් දැන් ඔහු යුද ප්‍රකාශ කර ඇත්තේ සක්‍රීය සිවිල් සමාජයට එරෙහිවය. එය බරපතල ලෙස තමාගේ අනෙකා පිළිබදව සිදුකළ වැරදි කියවීමකි.
සොක්රටීස් කීවේ අපට ලද හැකි ඉහළම දැනුම නම් අපගේ නොදැනුවත්භාවය පිළිබදව දැනගැනීමට හැකිවීම බවයි. ව්‍යවස්ථාව පිළිබද අපගේ නොදැනුම යනු සමාව දිය හැකි දෙයකි. නමුත් අපට අප පිළිබඳව දත හැකි එක් මගක් වන්නේ අප බලයට දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය කියවා ගැනීමයි. බලය නිසා අප සදාචාරය සහ ආචාරධාර්මිකත්වයට එරෙහිව යනවා නම් එය දර්ශනය සඳහා අපගේ පවතින විරෝධය නැතිනම් අපතුළ පවතින ආගමික මූලධර්මවාදී උමතුව පෙන්වන තත්වයකි. එනම් දර්ශනය වෙනුවට බලය, බලහත්කාරය, ආචාරධාර්මික වීම වෙනුවට ෆැසිස්ට්වාදයට අප දක්වන අවිංඥානික කැමැත්ත හෙළිකර ගැනීමකි.
ඡායාරූප – සොබාවි ලියනවඩුගේ
නිරූපණය – ප්රබුද්ධ දික්වත්ත