සාලිය ඉඳුරුවිතාන
ඒකාකාරී සරළ වෘත්තයක් වටා ගමන් කරන ලාංකේය දෘශ්‍ය කලාව පුපුරවා හැරීමට නම්…
දාර්ශනික පුනරුදයකින් කණ්ඩනය නොවුණු ලාංකේය දෘශ්‍ය කලාවේ ඒකාකාරී සරළ ගමන් මගින් මිදීමට නම් දෘශ්‍ය කලාව ගැන ලියැවුණු පොත පත විධිමත්ව හැදෑරිය යුතුයැයි මා තදින්ම විස්වාස කරනවා. මා දන්නා තරමින් දෘශ්‍ය කලා පීඨවල ඉන්න ගුරුවරුන්ට දෘශ්‍ය කලාව සම්බන්දව දාර්ශනික කියවීමක් නැහැ වගේම, නව චින්තනමය හැදෑරීමක් ද නැහැ.
තමන්ගේ එදිනෙදා පරිභෝජන ජීවන රටාව නඩත්තු කිරීමට මාසේ අන්තිමට තමන්ගේ පඩිපත බැංකු ගිණුමට බැර වෙන තුරු බලා සිටින ගුරුවරුන්ගෙන් ආභාෂය ලබා අවුරුදු හතරකින් පහකින් එළියට එන ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ ඉරණම ගැන අපි හොඳාකාරවම දනිමු. මේ අතාර්කික පීඨවලින් එලියට එන බොහෝ දෙනා අතරින් මොකක් හරි ගේමක් ගහල කොහේ හරි තැනක ප්‍රදර්ශනයක් තියලා තමන්ගේ නම ප්‍රසිද්ධ කරගත්තට පස්සේ, දෘශ්‍ය කලාව ගැන මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු හිතන්නේ එම පුදගලයින් මාර කලාකරුවන් කියාය. මේ ඛේදවාචකයෙන් ගැලවීමට නම් මම එකහෙලා යෝජනා කරන්නේ තමන්ගේ ශිල්පීය දැනුමට අමතරව දෘශ්‍ය කලාව ගැන ලියැවුණු පොත පත පමණක් නොව, සමාජ දේශපාලන කාරණා ගැන ලියැවුණු පොත පතද හැදෑරිය යුතු බවයි.
සිංහලෙන් ලියැවුණු පොතපතවත් පිළිවෙලකට පරිශීලනය කරන්නේ නැති ගුරුවරුන් ඉන්න සමාජයක, ඉංග්‍රීසි භාෂාවෙන් පොත පත කියවනවා කියන්නේ ඝණදුර මැදියමින් දකින නපුරු සිහිනයක් පමණයි. මේ නපුරු සිහිනෙන් අවදි වෙන්නට නම්, ඔබ ගමන් කරන ඒකාකාරී වෘත්තයේ පැල්මක් Crack ඇතිකර මේ වෘත්තයෙන් පිට පනින තුරු ඔබට මේ නපුරු සිහිනයෙන් කිසිම විටෙක අවදි වීමට නොහැක.
ඇත්තටම එය වේදනාකාරී අත්දැකීමකි. මේ වේදනාකාරී අත්දැකීම ඔබ බරපතල ලෙස බාර ගන්නේ නැති බව මේ අහස පොළොව කිසිමදාක එකට හමු නොවෙන තරම් විස්වාසයි. එතෙක් ඔබේ සිහිනය තුළ ඔබ සැපට නිදන්න.
ආමේන්…!